එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන කල්හි දිනක් භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක:
“මහණෙනි, දොරවල් දෙකක් ඇති ගෙවල් දෙකක් මැද සිටින පුරුෂයෙක් ඒ මැද සිටිනා කල ගෙවල් දෙකට ඇතුළු වන පිට වන අය දකින්නේ යම් සේ ද මම ද සුගතියට හා දුගතියට යන එන එහි උපදින චුත වන සියල්ලන් දිවැසින් දකිමි. පිරිසිදු කාය වාක් හා මනෝ යන තිදොරින් සුචරිතයෙහි යෙදී මරණින් මතු දිව්‍ය ලෝකයෙහි හා මනුෂ්‍ය ලෝකයෙහි උපදින සත්ත්වයෝ ඇත. අපිරිසිදු කාය, වාක් හා මනෝ යන තිදොරින් දුශ්චරිතයෙහි යෙදී මිථ්‍යාදෘෂ්ටි ගත් සත්ත්වයෝ නරකයෙහි උපදිති.” (මජ්ඣිම නිකාය, දේවදූත සූත්‍රය)
පසුගිය කලාපයකදී අපි අටමහා නිරයන් පිළිබඳවත් ඒවායේ ආයු කාලය පිළිබඳවත් විමසා බැලුවමු. අද අපි දේවදූත සූත්‍රයට අනුව මේ නරකයන්හි ස්වභාවය හා යම රජු පිළිබඳවත් දේවදූතයන් පස්දෙනා පිළිබඳවත් විමසා බලමු.
දේවදූත සූත්‍රයට අනුව මේ මහා අපායන් හැඩයෙන් හතරැස් වන්නේ ය. වටේට අයෝමය බිත්තියකින් සමන්විත වන අතර, අයෝමය පියස්සකින් ද යුක්ත වන්නේ ය. එහි පොළොව ගිනි ගෙන දිලියෙන, යොදුන් සියයක් පමණ විශාල අයෝමය එකක් වන්නේ ය. එහි සතර දිගින් විශාල ගේට්ටු හතරක් ඇත්තේ ය. ඒ හැම ගේට්ටුවක් අසල ම උස්සද නිරයන් ලෙස හැඳින්වෙන කුඩා නිරය පහක් පිහිටා ඇත්තේ ය. මේ කුඩා නිරය පහ මෙසේ දැක්විය හැකි ය:
01. ගුථ නිරය
02. කුක්කුල නිරය
03. සම්පලීවන නිරය
04. අසිපත්තවන නිරය
05. වේතරණී නිරය
මේ අනුව එක් මහා නිරයකට කුඩා නිරය විස්ස බැගින් පිහිටන බවත් මහා නරකයන් අට සඳහා ම එලෙස පිහිටි විට සියලු නිරයන් ගණනින් 168ක් වන බවත් (20 ය 8 = 160 + 8 = 168) බෞද්ධ පොතපතෙහි සඳහන් වේ.
මේ මහා නිරයන් පාලනය කරන්නා ‘යම’ නම් වේ. යම යනු ‘තීරණය කරන්නා’ යන අරුත් දේ. එක් මහා නිරයකට යම රජවරුන් සිව් දෙනා බැගින් මහා නිරය අටට යම රජවරු තිස් දෙදෙනෙක් සිටිති. ඔවුහු එම නිරයන්හි සිව් දිග දොරටු පාලනය කරති. මේ යම රජවරුන් හැර ‘නිරය පාල’ නමින් හැඳින්වෙන විශාල පිරිසක් ද මෙහි සිටිති. යම රජවරුන්ගේ ප්‍රධාන රාජකාරිය වන්නේ අපාගත සත්ත්වයන්ට දිය යුතු දඬුවම් තීරණය කොට, ඒවා ක්‍රියාත්මක කිරීමට අණදීම යි. නිරයපාලයන්ගේ රාජකාරිය වන්නේ හැම නිරයක ම උපන් පුද්ගලයන්ට නියම කළ දඬුවම් පැමිණවීම යි.
බොහෝ බෞද්ධයෝ පවා මෙබඳු කතා හුදු ප්‍රබන්ධ ලෙස සලකති. රාජ්‍ය පාලනයේ පහසුව සඳහා පුද්ගලයා දුසිරිතෙන් ඈත් කොට තැබීමට නිර්මාණය කරන ලද සංකල්පයක් ලෙස ඔවුහු අපාය හඳුන්වති. එසේ ම මෙම කතා සත්‍ය නම් වඩාත් ම දරුණු දුක විඳින්නේ නිරයට පැමිණෙන අප්‍රමාණ සත්ත්වයන්ට දඬුවම් පමුණුවමින්, නිරයේ ම කල් ගෙවන යම රජු නො වේ දැ යි ඔවුහු ප්‍රශ්න කරති. එහෙත් යම රජවරු ද, නිරයපාලයෝ ද සැබැවින් ම අපාගත පුද්ගලයෝ නො වෙති. ඔවුහු චාතුම්මහාරාජික දිව්‍යලෝකයට අයත් වූවෝ වෙති. ඔවුන් හැඳින්වෙන්නේ ‘වේමානික පේතා’ යන නමිනි. ඔවුහු තමන් පෙර ආත්මභාවවල කළ යහපත් කර්මයන්ගේ විපාක වශයෙන් දිව්‍ය සම්පත් අනුභව කරති. එසේ ම තමන් විසින් පෙර ආත්මභාවවල කරන ලද ඇතැම් පාපකර්මයන්ගේ විපාක ඔවුහු වශයෙන් නිරයෙහි රාජකාරි ඉටු කිරීම සඳහා යවනු ලබති.
නිරයෙහි අධිපති හෙවත් පාලක තනතුර දරනුයේ පෙර ද කී සේ යම රජු ය. නරකාදිය, අපාය ආදි නම්වලින් නිරය හඳුන්වන්නා සේ ම යම රජු ද විවිධ අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලැබේ. අපක්‍ෂපාත විනිශ්චයකරුවා යන අර්ථයෙන් ‘සමවෘත්ති’ යන නාමය ද, පින් පව් දෙක බේරුම් කරන්නා යන අර්ථයෙන් ‘සමථ’ යන
නාමය ද, දිවි කෙළවර කරන්නා යන අර්ථයෙන් ‘කෘතාන්ත’ යන නාමය ද, මුගුරක් දරන්නා යන අර්ථයෙන් ‘ධන්සි’ යන නාමය ද, නියමිත කාලයට පැමිණෙන්නා යන අර්ථයෙන් ‘කාල’ යන නාමය ද යම රජු වෙනුවෙන් ව්‍යවහාර කැරෙන බව පොතපතෙහි සඳහන් වේ.
යම රජුගේ මුහුණ පෙනුමෙන් බියකරු ය.
මුළු ශරීරය ම තද කොළ පැහැයෙන් යුක්ත ය. එක් අතකින් මල පුඬුවක් සහිත රැහැනක් ද, අනෙක් අතින් මුගුරක් ද දරයි. නිරතුරු ව ම රතු පැහැති වස්ත්‍රයකින් සැරසී සිටී. යම රජුගේ වාහනය මී ගවයෙකි. යම රජුගේ වාසභවන ‘කාලිච්’ නමින් හැඳින්වේ. ඔහු අසුන් ගෙන සිටින ආසනය ‘විචාරභ’ නම් වේ.
යම රජු අපායගාමී සත්ත්වයන්ගේ පින්-පව් සලකා බලා තීන්දු දෙන ධර්මාධිකරණයේ ආරක්‍ෂාව පිණිස සේවයෙහි යොදවන ලද දොරටු පාලයෙක් සිටී. ඔහු ‘වෛද්‍යයන’ නමින් හැඳින්වේ. යම රජුට සියලු දේ වාර්තා කරන ‘චිත්‍රගුප්ත’ නමින් හැඳින්වෙන ලේකම්වරයෙක් ද සිටී. ඔහු විසින් ලොව වසන සියලු දෙනාගේ ම පින්-පව් ලියා තබන පොතක් පවත්වාගෙන-එනු ලැබේ. එම පුස්තකය හඳුන්වනු ලබන්නේ ‘අග්‍රසන්ධානි’ යන නමිනි.
නිරයෙහි අධිපති යම රජුට තම කාර්ය පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහාය පිණිස සේවක මණ්ඩලයක් ද සිටී. එහි ප්‍රධාන සේවක සමූහයා ‘මහා මණ්ඩ’ නමින් හැඳින්වේ. ඉහත සඳහන් කළ යම රජුගේ දොරටු පාලයා මෙන් නිරයේ වැටෙන පව්කාරයන්ට රැකවල් පිණිස සුනඛයෝ දෙදෙනෙක් ද යම රාජ සේවයෙහි යෙදී සිටිති. එම සුනඛයන්ගේ විශේෂත්වය වනුයේ ඔවුන්ට ඇස් හතර බැගින් තිබීමත්, විශාල නාස්පුඬු තිබීමත් ය.
ලෝකයෙහි උපදින සියලු මනුෂ්‍යයෝ තම ජීවිත කාලයේදී හොඳ නරක දෙක ම කරති. ඔවුන් මියගිය පසු යම පල්ලෝ ඔවුන්ගේ ප්‍රාණය ලණුවකින් බැඳගෙන ගොස් යම රජු වෙත ඉදිරිපත් කරති. අනතුරු ව යම රජු
විසින් ඔවුන් ජීවත් ව සිටියදී කරන ලද පව්-පින් මොනවා දැ යි විමසනු ලැබේ. තමන් කළ පව් පින් මොනවා දැ යි හොඳින් පැහැදිලි කිරීමට කෙනකු අපොහොසත් වුව හොත් යම රජු
චිත්‍රගුප්ත ලේකම්වරයා ගෙන්වා, අග්‍රසන්ධාන නම් පින්-පව් ලියන පොත පරීක්‍ෂා කොට එය ඔහු ඉදිරියේ ම කියවා ඔහු සිදු කොට ඇති පින් හා පව් කිරා බලා සුදුසු තීරණයක් ගනී. කළ පින් වැඩි නම් ඔහු දිව්‍ය ලෝකයට යවන බවත්, පව් වැඩි නම් අපායෙහි ම රඳවාගෙන කරන ලද පව්වලට සාපේක්‍ෂ ව දඬුවම් පමුණුවන බවත් පවසයි.
මජ්ඣිම නිකායේ දේවදූත සූත්‍රයේ සඳහන් වන ආකාරයට මිනිස් ලොවෙන් මිය පරලොව යන මිනිසුන් වෙන් වෙන් ව අල්ලා ඇදගෙන ගොස් යම රජු වෙත ඉදිරිපත් කොට ඔහුට මෙසේ කියනු ලැබේ:
“මහරජතුමනි, මේ මිනිසා තම මවට ගෞරව නො කළේ ය; පියාට ගෞරව නො කළේ ය; බ්‍රාහ්මණයන්ට ගෞරව නො කළේ ය; පවුලේ වැඩිහිටියන්ට ගෞරව නො කළේ ය. මහරජතුමනි, ඔහුට සුදුසු දඬුවම් පමුණුවනු මැනවි.”
මේ අවස්ථාවේදී යම රජු මනුලොවදී පස්විධ දේවදූතයන් නුදුටු දැ යි ප්‍රශ්න කරමින් ඔහු විනිශ්චයට භාජනය කරයි. දේවදූත සූත්‍රයෙහි සඳහන් වන දේවදූතයෝ පස්දෙන මෙසේ ය:
01. අලුත උපන් ළදරුවා
02. වයෝවෘද්ධ පිරිමියා හෝ ගැහැනිය
03. රෝගී මනුෂ්‍යයා
04. රජවරුන් අතින් විවිධ දඬුවම්වලට ලක් වන පුද්ගලයා
05. මියගිය මිනිසා හෝ ගැහැනිය
සසර දුක් විඳින මිනිසුන්ට සසර ඉපදීම දුක් සහිත බව මතක් කොට දෙන අය ‘දේව දූතයෝ’ වෙති.
පළමු දේවදූතයා නුදුටු බව සිහිපත් කොට, තමා වෙත ඉදිරිපත් කළ පුරුෂයාගෙන් යම රජු මෙසේ ප්‍රශ්න කරයි: “එම්බල පුරුෂය, තෝ මිනිසුන් අතරෙහි සිටින පළමුවන දේවදූතයා නුදුටුවෙහි ද?” ඔහු “නොදුටුවෙමි, ස්වාමීනි” යි උත්තර දෙයි. එවිට යම රජු “එම්බල පුරුෂය, තෝ නුවණ මඳ වූ, උඩුකුරු ව හෝනා වූ තමාගේ ම මල මූත්‍රවල ගැලී සිටින ළදරුවකු නොදුටුවෙහි දැ යි අසයි.
එවිට “දුටුවෙමි ස්වාමීනි” යි ඔහු කියයි. අනතුරු ව යම රජු “එම්බල පුරුෂය, දැනුම ඇති, වැඩිමහලු වූ තට ‘මමත්, ඉපදීම ස්වභාව කොට ඇති ඉපදීම නොඉක්ම වූ කෙනෙක්මි. මම ද තිදොරින් පින් දහම් කරන්නෙමි’ යි අදහසක් ඇති නො වී ද?” යි ප්‍රශ්න කරයි. එවිට ඔහු මෙසේ කියයි: “ස්වාමීනි, මට පින් දහම් කිරීමට නොහැකි විය. මම ප්‍රමාද වීමි.” එවිට යම රජු “එම්බා පුරුෂය, තා ප්‍රමාද වූ නිසා පින් දහම් නොකළෙහි ය. එහෙයින් ප්‍රමාද වූවකුට කරන්නාක් මෙන් තට දඬුවම් කළ යුතු ය. තාගේ මේ පාපකර්මය මවුපියන්, සහෝදරසහෝදරියන් මිත්‍ර අමාත්‍යයන් සහ ලේ නෑයන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් හෝ දෙවියන් විසින් කරන ලද්දක් නො වේ. මේ පාපකර්මය තා විසින් ම කරන ලද හෙයින් එයට අනුරූප විපාක ද තා විසින් ම වින්ද යුතු ය” යි කියයි.
යම රජු දෙවන දේව දූතයා ගැන ද ඔහුට මතක් කොට දෙමින් මෙසේ අසයි: “එම්බල පුරුෂය, තා මිනිසුන් ඇසුරේ සිටින අසූ වයස් වූ හෝ අනූ වයස් වූ හෝ සියයක් වයස් වූ හෝ දිරූ ඇල වූ පරාලයක් මෙන් කුදු වූ බිඳුණු සිරුරු ඇති ව සැරයටි වාරුවෙන් යන වෙව්ලන, තරුණ බව පිරිහී ගිය, කෙස් පැසුණු, ඇස් ගිලුණු, ඇඟ රැළි වැටුණු, කැළැල් සහිත සිරුරු ඇති ස්ත්‍රියක හෝ පුරුෂයකු නොදුටුවෙහි ද?”
එවිට ඔහු “දුටුවෙමි ස්වාමීනි” යි පිළිතුරු දේ. එවිට යම රජු ඔහුට මෙසේ කියයි: “දැනුම් තේරුම් ඇති තට එබඳු මහලු වියට පැමිණි අය දුටු විට ‘මම ජරාව ස්වභාව කොට ඇත්තෙමි. ජරාව නොඉක්මවූයෙමි. එහෙයින් සිත කය වචනයෙන් කුසල් කරන්නෙමි’ යි නොසිතුණේ ද?” එවිට ඔහු “මා හට කුසල් කිරීමට නොහැකි විය. මම ප්‍රමාද වීමි” යි පවසයි. යම රජු එවිට ඔහුට මෙසේ කියයි: “එම්බා පුරුෂය, තුන් දොරින් කුසල් කරන්නට ප්‍රමාද වූ තා හට ප්‍රමාද වූවකු හට කරන දඬුවමින් දඬුවම් කළ යුතු ය. මෙම පාප කර්මය අනෙකකු විසින් නො ව, තමා විසින් ම කරන ලද්දක් හෙයින් තමා ම එයට අනුරූප විපාක වින්ද යුතු ය.”
තෙවන දේවදූතයා ද හඳුන්වා දෙන යම රජු සහ අපායගාමී පුරුෂයා අතර මෙබඳු සංවාදයක් ඇති වේ: “එම්බල පුරුෂය, මිනිසුන් අතරෙහි සිටින, හට ගත් ආබාධ සහිත, දුක් ඇති, දැඩි සේ ගිලන් වූ, තමාගේ ම මලමූත්‍රයෙහි ඇලීගැලී එහි ම සයනය කරන, අනුන් විසින් නැගිටුවනු ලබන, අනුන් විසින් සයනය කරවනු ලබන ස්ත්‍රියක හෝ පුරුෂයකු තා විසින් නොදුටුවෙහි ද?” “දුටුවෙමි ස්වාමීනි.” “එසේ නම්, දැනුම් තේරුම් ඇති වයෝවෘද්ධ තට ‘මම ද ලෙඩ රෝග ඇත්තෙක්මි. මම ලෙඩ රෝග නොඉක්මවූ කෙනෙක්මි.
තෙවන දේවදූතයා ද හඳුන්වා දෙන යම රජු සහ අපායගාමී පුරුෂයා අතර මෙබඳු සංවාදයක් ඇති වේ: “එම්බල පුරුෂය, මිනිසුන් අතරෙහි සිටින, හට ගත් ආබාධ සහිත, දුක් ඇති, දැඩි සේ ගිලන් වූ, තමාගේ ම මලමූත්‍රයෙහි ඇලීගැලී එහි ම සයනය කරන, අනුන් විසින් නැගිටුවනු ලබන, අනුන් විසින් සයනය කරවනු ලබන ස්ත්‍රියක හෝ පුරුෂයකු තා විසින් නොදුටුවෙහි ද?” “දුටුවෙමි ස්වාමීනි.” “එසේ නම්, දැනුම් තේරුම් ඇති වයෝවෘද්ධ තට ‘මම ද ලෙඩ රෝග ඇත්තෙක්මි. මම ලෙඩ රෝග නොඉක්මවූ කෙනෙක්මි.
එහෙයින් මම තිදොරින් යහපත් ක්‍රියා කරන්නෙමි’ යි අදහසක් ඇති නො වී ද?” “ස්වාමීනි, මම ප්‍රමාද වීමි. කුසල් දහම් කරන්නට නොහැකි වීමි.” “එම්බල පුරුෂය, ප්‍රමාද වූ නිසා කුසල් දහම් වඩන්නට නොහැකි වූ තට ප්‍රමාද වූවකුට කරන දඬුවම් කළ යුතු ය. තාගේ මේ පාපකර්මය අනෙකකු විසින් කළ දෙයක් නොවන හෙයින් එහි විපාකය ද තා විසින් ම විඳිය යුතු ය.”
හතරවන දේවදූතයා ද හඳුන්වා දෙන යම රජු සහ අපායගාමී පුරුෂයා අතර මෙබඳු සංවාදයක් ඇති වේ: “එම්බල පුරුෂයා, රජ දරුවෝ මිනිසුන් අතර අපරාධ කරන සොරුන් අල්වා විවිධ දඬුවම් දෙති; රත් වූ තෙල් ඇඟට ඉසිති; හිසගසාදමති; සුනඛයන් ලවා කවති; පණ පිටින් දිවස් හුල හිඳුවති. මේ අපරාධකාරයන් තා නොදුටුවෙහි ද?” “දුටුවෙමි ස්වාමීනි.” “දැනුම් තේරුම් ඇති වයෝවෘද්ධ තට පව් කරන්නාට මෙලොවදී ම විවිධ දුක් කම්කටුලු පැමිණේ. එහෙයින් තට තිදොරින් පින් දහම් කිරීමට අදහසක් නො වී ද?” “ස්වාමීනි, මම තිදොරින් කුසල් දහම් වැඩීමට ප්‍රමාද වූයෙමි.” “එම්බල පුරුෂය, ප්‍රමාද වීම නිසා කුසල් දහම් වැඩීමට නොහැකි වූ තට ප්‍රමාද වූවකුට කරන දඬුවම් කළ යුතු ය. මේ පාප කර්මය තා විසින් ම කරන ලද්දක් වන හෙයින් එහි විපාක ද තා විසින් ම විඳිය යුතු යි.”
පස්වන දේව දූතයා ද හඳුන්වා දෙන යම රජු සහ අපායගාමී පුරුෂයා අතර මෙබඳු සංවාදයක් ඇති වේ: “එම්බල පුරුෂය, තෝ මිනිසුන් අතර සිටියදී මැරී එක් දිනක්, දෙදිනක්, තුන් දිනක් ගත වූ, ඉදිමී නිල්පාට වූ සැරව වැගිරෙන ස්ත්‍රියක හෝ පුරුෂයකු නොදුටුවෙහි ද?” “දුටුවෙමි ස්වාමීනි.” “එසේ නම්, ‘මමත් මෙසේ මිය යන්නේ ය; ඉදිමෙන්නේ ය; ඕජා වැගිරෙන්නේ යැ’ යි වැඩිහිටි වූ තා හට වටහාගත නොහැකි වී ද?” “එසේ ය ස්වාමීනි, එය මා හට මිනිස් ලොවේදී වැටහී ගියේ නැත. මම ප්‍රමාද වූයෙමි.” “පාපී පුරුෂය, ප්‍රමාද වීම නිසා කුසල් දහම් වැඩීමට නොහැකි වූ තා හට ප්‍රමාද වූවකුට කරන දඬුවම් කළ යුතු ය. මේ පාප කර්මය තා විසින් ම කරන ලද්දක් වන හෙයින් එයට අනුරූප විපාක ද තා විසින් ම විඳිය යුතු ය.”
මෙසේ පස්වැනි දේවදූතයා දක්වා කරුණු තේරුම් කර දීමෙන් පසු යම රජු නිහඬ වෙයි. එහෙත් නිරය පාලයන්ගෙන් ඔහුට ගැලවීමක් නොලැබේ. නිරය පාලයන්ගේ අප්‍රමාණ වධ බන්ධනයන්ට ලක් වීමට ඔහුට සිදු වේ.
No comments:
Post a Comment