බොහෝම පෙර කාලයක මී පැණි විකුණන සහෝදර වෙළෙන්දන් තුන් දෙනෙක් විය. ඔවුන්ගෙන් එක් අයෙක් මී පැණි විකුණති. දෙදෙනෙක් වනයට ගොස් මී වද කඩා පැණි ගෙන එති. එක් පසේබුදු රජාණන් වහන්සේ නමක් ශරීරයේ වූ වණ රෝගයකින් පෙළෙමින් සිටියේය. ඒ පසේ බුදුරජාණන් වහන්සේහට ඖෂධ පිණිස තවත් පසේ බුදුරජාණන් වහන්සේ නමක් මී පැණි සොයා පිඬුසිඟා වැඩිසේක.
උන්වහන්සේ පිණ්ඩපාත චාරිකාවෙන් නගරයට වැඩි අතර, එවෙලෙහි එක්තරා දාසියක් දිය ගෙනඒමට පැන් තොටට යමින් සිටි අතර ඇය මුන්වහන්සේ දුටුවේය. ඇය උන්වහන්සේ වෙත එළඹ පසඟ පිහිටුවා වැඳ “ ස්වාමිනි මේ අවේලාවෙහි පිඬුසිඟා වඩින්නේ කුමන දේ අපේක්ෂාවෙන් දැයි?” විමසීය. උන්වහන්සේ මී පැණිවල අවශ්යතාව වදාළ අතර “ස්වාමිනි, අර තිබෙන්නේ මී පැණි වෙළෙඳ සැලකි. එතැනට වඩින මැනවයි” කියන්නීය.
පසේබුදුරජාණන් වහන්සේ ඒ වෙළෙඳ සැලට වැඩි විට වෙළෙන්දා උන්වහන්සේ කෙරෙහි සිත පහදවා ගෙන පාත්රයට මී පැණි පුරවද්දී ඒ පාත්රා කටින් පැණි උතුරා යනතෙක් මී පැණි පූජා කළේය. ඒ අවස්ථාවේදී පාත්රයෙහි පිරී ඇති මී පැණිත්, එය උතුරා බිමට වැටී ගිය මී පැණිත් දුටු ඒ වෙළෙන්දාට මහත් සතුටක් ඇතිවුණි. ඔහු ප්රාර්ථනා කරන්නේ, “මේ මී පැණි දානය හේතුවෙන් මට මේ දඹදිව තනි රජෙකු ලෙස පාලනය කරන්නට ලැබේවා! මාගේ ආඥාව ආකාසයෙහි යොදුනක් දුර පැතිරේවා! පොළොවෙත් යොදුනක් දුර පැතිරේවා! කියායි. අනෙක් දෙදෙනා මී වද කඩා මී පැණි ගෙන ආ අවස්ථාවේදී වෙළෙන්දා කියා සිටින්නේ “අද හිස මුඬුකළ කසාවත් පෙරවූ ශ්රමණයන් වහන්සේ නමක් වැඩියා නොවැ. උන්වහන්සේට මී පැණි වල අවශ්යතාවක් තිබු නිසා මම මී පැණි පූජා කර ගත්තා. ඔබත් මම වගේ ම මේ මී පැණිවලට අයිතිකාරයන් නිසා මේ දානය අනුමෝදන් වෙත්වායි” කීය.
ඔවුන්ගෙන් වැඩිමහලු සහෝදරයා ඒ ගැන සතුටු වූයේ නැත. “ඔබ කියන ඔය පුද්ගලයා සැඬොලෙක් ම වෙන්න ඇති. සැඬොල නොවැ හැමදාම කසාවත් පොරවාගෙන ඉන්නේ” කීය. අනෙක් සහෝදරයාද සතුටු වූයේ නැත. “ඔය කියන ඔබගේ පසේබුදුන් මුහුදින් එතෙරට දමන්නට ඕනෑයි” කීය. මී පැණි දානය පිළිගත්ත උත්තමයා ගැන නොසතුට වදන් පැවසුවත්, නැවතත් කරුණු වටහාගෙන දෙන ලද දානය කෙරෙහි මහත් සන්තෝෂයට පත්වී ඒ පින අනුමෝදන් විය.
වෙළෙදසැල පෙන්වූ දිය අදින දාසිය මෙසේ සිතීය. “අපගේ ආර්යයන් වහන්සේට පැණි ලැබුණේනම් යහපති. නො ලැබුණොත් ණයට හෝ රැගෙන මම පැණි පූජා කරමි” කියා බලාපොරොත්තුවෙන් සිටියේය. පසේබුදුරජුන් නැවත වඩිද්දී “ස්වාමිනි මී පැණි ලැබුණාදැයි? විමසීය. මී පැණි පූජාකොට ඔහු ප්රාර්ථනාවක්ද කළ බව වදාළේය. එවිට ඈ පැණි පූජා කළ වෙළෙන්දාගේ බිසව වීමටත්, තමන්ගේ අත්පා සන්ධි නොපෙනෙන අයුරින් අතිශය රූපවත්ව ඉපදෙන්නටත් ප්රාර්ථනා කරන්නීය. ඒ කාලයේ මී පැණි පිදු වෙළෙන්දා අශෝක රජුන් ලෙස ඉපදුනේය. අසන්ධිමිත්රා දේවිය ලෙස ඉපදුනේ එතැන සිටි දාසියයි. සැඬොලා කියා පසේබුදුරජුන්ට අගරු කළ වැඩිමහලු වෙළෙන්දා සැඬොල් ගමේ උපන් නිග්රෝධ කුමරු යි. මුහුදෙන් එතෙරට යවන්නට ඕනෑ කියු මද්දුමයා ලංකාවේ දෙවනපෑතිස් කුමරු ලෙස ඉපදුනේය.
දේවානම්පියතිස්ස රජුගේ උපත සහ රාජාභිෂේකය
පණ්ඩුකාභය රජුට දාව ස්වර්ණපාලි බිසවට මුටසිව නමැති පුත් කුමරෙක් සිටියේය. රජුන්ගේ ඇවෑමෙන් සොර සතුරු වියවුල්වලින් තොර වූ ලංකාද්වීපයේ රජු බවට මුවසිව පත්විය. ඒ මුටසීව රජුන් මල්පල බරින් යුක්ත වූ උයනක පිහිටිය යුතු නොයෙක් ගුණාංගයන්ගෙන් යුක්ත වූ සුන්දර උද්යානයක් “මහමේඝ වනෝද්යානය” නමින් කරවූයේය. ඒ උද්යානය පිහිටුවන ස්ථානය සැලසුම් කළ දා ආකාලයේ මහවැසිි වළාවන් පැන නැඟී මහා වැස්සක් ඇද හැලී වැව් පොකුණු පිරී ගියේය. ඒනිසා ඒ උද්යානයට “මහාමේඝ වනය” යන නම ලැබුණි. ලංකාංගනාවගේ සොඳුරු මුවමඬල බඳු උතුම් අනුරාධපුරයෙහි මුටසිව රජුන් සැට වසරක් රාජ්ය පාලනය කළේය. මුටසිව රජු එකිනෙකා කෙරෙහි ඉතා හිතවත්ව සිටින පුත් කුමරවරුන් දස දෙනෙක් සිටියේය. ක්ෂත්රිය සිරිත් විරිත් අනුව හැඩගැසුණු රූපවත් වූ දියණිවරු දෙදෙනෙක් විය. ඒ මුටසිව රජුගේ දෙවැනි පුත් කුමාරයා දේවානම්පියතිස්ස නමින් ප්රසිද්ධ විය. සියලු සහෝදර කුමාරවරුන් අතර පෙර ආත්මයන්හි රැස්කළ පින් බලයෙන්, ප්රඥාවෙන් ඉදිරියෙන් සිටියේ දෙවනපෑතිස් කුමරු ය. සිය පියා වූ මුටසිව රජුගේ ඇවෑමෙන් ඒ දෙවනපෑතිස් කුමරු ලක්දිව රජු බවට පත්විය. ඔහුගේ රාජාභිෂේකයත් සමඟ බොහෝ ආශ්චර්යවත් දේ සිදුවුණි.
සසරේ පින විපාක දීම
මුළු මහත් ලංකාද්වීපයේම පොළොව යට තිබුණු නිධාන, මැණික් වර්ග උඩට මතුවී පොළොව මත පෙනෙන්නට වුණි. ලක්දිව ආසන්නයේ බිඳී ගිය නැව්වල තිබුණ මැණික් වර්ග, මුහුදේ තිබුණ වෙනත් මැණික් වර්ග පොළොව මතට ගෙන ආවේය. අනුරාධපුරයට ගිණිකොන දිසාවෙහි යොදුන් දෙකක් පමණ දුරින් “ජාත” නමින් පර්වතයක් විය. ඒ පර්වතය පාමුල උණගස් තුනක් පැන නැංගේය. ඒවා ප්රමාණයන් රථ (කරත්ත) යෂ්ටි තරම් විශාලත්වයෙන් යුක්ත ය. එයින් එකක් “ලතා යෂ්ටි” ලෙස හැඳින්වේ මේි යෂ්ටිය රිදී පැහැයෙන් යුක්තයි. එහි වෙලී තිබෙන වැල් රම්ය වූ රන්වන් පාටින් දිස්වුණි.
අශ්වරූප හැඩයෙන් යුත් මුතු, ඇත් රූප හැඩය ගත් මුතු, රථ මුතු, නෙල්ලි මුතු, වළලු මුතු, මුදු මුතු, කකුධපල මුතු යන මේ අටවැදෑරුම් වූ ඉන්ද්රනීල මාණික්යය, වෛදූර්ය (වයිරෝඩි) මාණිකයය, ලෝහිතංක මාණික්යය ආදි මැණික් වර්ග මතුවුණි. මුතු වර්ග මුහුදෙන් ගොඩට ගසා වෙරළේ වැටියක් ලෙස තිබුණි. මේ හැම දෙයක්ම මතු වුයේ දේවානම්පියතිස්ස රජුන් පෙර රැස් කළ පුණ්යානුභාවය නිසාවෙනි.
දේවානම්පියතිස්ස රජුන් රාජාභිෂේක ලබා දවස් හතක් ගතවෙද්දී මේ වස්තුව තමන් වෙත ලැබුණි. ඒ වස්තුව දුටු රජතුමා සතුටට පත්විය. රජුට එකවර මතක් වුයේ ධර්මාශෝක රජුය. ඒ සියලු වස්තුව අරිට්ඨ ඇමැති ලවා දඹදිවට යැවීය. දඹදිවෙන්ද රජුට බොහෝ වස්තුව ලැබුණි. නොදුටු මිතුරන්ගේ එවැනි ඇසුරක් තිබුණි. තිසරණය ගැන පැහැදෙන ලෙසත්, සරණ යන ලෙසත් ලියා සන්නසක් එවීය. ඒ මූලික පසුබිම මිහිඳු මහාරහතන් වහන්සේට තම ධර්මදූත සේවය සඳහා උපකාරි වුණි.
රහතන් වහන්සේ පසුපස ගිය නරේන්ද්රයා
දේවානම්පියතිස්ස රජු ලංකාද්වීපයේ ප්රථම වතාවට ධර්මය ශ්රවණය කළ පින්වන්තයා බවට පත්කර වූයේ මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. අම්බස්ථලයේදී වදාළ චුල්ලහත්ථිපදෝපම සූත්රය නිසාය. භාග්යවතුන් වහන්සේ වැඩසිටි පින්බිම මිහිඳු මහරහතන් වහන්සේ මතුකොට පෙන්වා දෙනවිට ඒ සෑම තැනකම සලකුණු තැබුවේය. දකුණු අකු ධාතුන් වහන්සේ තැන්පත් කොට ථූපාරාම මහා ස්තූපය ඉදිකළේය. එහිදී නොයෙක් ප්රාතිහාර්යය සියැසින් රජු දුටුවේය. හෙළවැසි පිනැතියන් කසාවත් දරා ශාන්තව පිඬුසිඟා වඩින අයුරු ඈත සිට බලා සිටියේය. රජු ශ්රී මහා බෝධීන් වහන්සේ වඩම්මවන අසිරිය සියැසින් දුටුවේය. ඒ මහා පූජනීය බෝධින් වහන්සේ තම සිරසේ පිහිටුවා දාසයෙකු සේ පෙරහරේ ගමන් කළේය. අනේක ප්රාතිහාර්යය නැවතත් දුටුවේය. තම රාජ්යය පුදා දොරටු පාලයෙකු සේ බෝධින් වහන්සේට උපස්ථාන කළේය. ජයසිරි මහාබෝධිවංශ කථාව කියවන කෙනෙකුට දේවානම්පියතිස් රජුගේ මේ රාජ්යය අසිරිය කෙසේ නම් අමතක කරන්නද?
No comments:
Post a Comment