Thursday, April 11, 2019

මතු බුදු වන දස දෙනකු ගැනයි

මතු බුදු වන දස දෙනකු ගැනයිImage may contain: 1 person

ගෞතම බුදු සසුනෙන් පසු ව බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් දස නමකගේ විස්තර ඇතුළත් ‘දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත’ නම් කෘතිය සම්බන්ධයෙන් මෙම ලිපිය සකස් කැරිණි. එම කෘතිය ආචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන්ගේ සංස්කරණයෙන් යුක්ත ව දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ප්‍රකාශයට පත් කොට ඇත.
මෙම ලිපිය මගින් ඉදිරිපත් කැරෙන මතු බුදු වන දස බෝසත්වරුන් පිළිබඳ පුවත අප බෞද්ධ සමාජයේ එතරම් ප්‍රචලිත නොවූ, බොහෝ දෙනා නොදන්නා කථාවකි. ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුළ අප ගෞතම බුදුරදුන්ගෙන් පසු ව සම්මාසම්බුද්ධත්වයට පත් වෙතැ යි සැලැකෙන්නාහු මෙත්තෙය්‍ය (මෛත්‍රේය) බෝසත්හු ය. උන් වහන්සේගෙන් පසු ව සම්මාසම්බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් පිළිබඳ ව සඳහන් වන, දැනට හමු වී ඇති එක ම ථේරවාදී කෘතිය ‘දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත’ යි. ඒ අනුව මෙහි මෛත්‍රේය බෝසතුන් ඇතුළු ව මතු බුදු වන බෝසත්වරුන් දස දෙනකු පිළිබඳ ව සඳහන් වේ.
සංස්කාරක හිමියන් සඳහන් කරන ආකාරයට මෙම කෘතිය 1926 දී ඩී. ආර්. පෙරේරා විසින් අඹතැන්න විද්‍යාලතා මුද්‍රණාලයේ මුද්‍රණය කරවා තිබේ. ඒ පාලි පෙළ හා ශාස්ත්‍රීය නොවන පරිවර්තනයක් ද සමගිනි. එම කෘතිය සංස්කාරක හිමියන් අතට පත් වන්නේ වේයන්ගොඩ යටගම ශ්‍රී නාගවනාරාම පුස්තකාලයෙනි. තව ද මෙම කෘතිය මීට පෙර ආචාර්ය හම්මලව සද්ධාතිස්ස හිමියන් විසින් රෝමානු අකුරින් ඉංගී‍්‍රසි පරිවර්තනයක් ද සමගින් 1975 දී එංගලන්තයේ පාලි පොත් සමාගම මගින් මුද්‍රණය කරවා ඇත. එම කෘතිය අප අතට ද පත් විය. ආචාර්ය විජිතධම්ම හිමියන්ගේ පාලි – සිංහල දසබෝධිසත්තුප්පත්තිකථා සංස්කරණයට මූලික පදනම වන්නේ යථෝක්ත සංස්කරණ දෙක ය.
දසබෝධිසත්තුප්පත්තිකථාවේ සඳහන් බෝස-ත්වරුන් දස දෙනා නිරූපණය කැරෙන පැරැණි සිතුවම් දෙකක් දැනට හමු වී ඇත. ඒ මහනුවර මල්වතු මහා විහාරීය උපෝසථාගාර සිවිලිමෙන් හා රංගිරි දඹුලු රජමහා විහාරයේ ප්‍රධාන ලෙන් විහාරයෙන් ය. එයින් පැහැදිලි වන්නේ මහනුවර යුගයේ දී මෙම දසබෝසත්වරු පිළිබඳ කථාව ජනපි‍්‍රය ව පැවැති බව යි. පාලි බුද්ධ දේශනා සූත්‍රයක් වශයෙන් ඉදිරිපත් වන මෙය සම්පූර්ණයෙන් ම ගද්‍ය කෘතියකි. ග්‍රන්ථය අවසානයේ පමණක් පද්‍ය හෙවත් ගාථා දෙකක් දක්නට ලැබේ. දසබෝධිසත්තුප්පත්තිකථාවේ උද්දේස හෙවත් පරිච්ඡේද දහයකි. ඒවා ඒ ඒ බුදුවරුන්ගේ නම්වලින් ම හඳුන්වා ඇත. ඒ මෙසේ ය:
01. මෛත්‍රේය සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
02. රාම සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
03. ධම්මරාජ සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
04. ධම්මස්සාමි සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
05. නාරද සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
06. රංසිමුනි සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
07. දේවදේව සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
08. නරසීහ සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
09. තිස්ස සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
10. සුමඞ්ගල සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
මෙම බෝසත්වරුන් ගෞතම බුද්ධ සමයෙහි හැඳින්වූ නම් සහ බුදු වන විට ලබන නම් මෙසේ ය: (මෙහි 01 සිට 10 දක්වා පිළිවෙළ දඹුලු විහාර රූපයේ දකුණේ සිට වමට පිළිවෙළින් අදාළ වේ):
01. අජිත තෙරුන් – මෛත්‍රේය සම්මා සම්බුදු රදුන්
02. රාම රජු – රාම සම්මා සම්බුදු රදුන්
03. පසේනදි කොසොල් රජු – ධම්මරාජ සම්මා සම්බුදු රදුන්
04. අභිභූ දෙව්රජු – ධම්මස්සාමි සම්මා සම්බුදු රදුන්
05. දීඝසෝණ රාහු අසුරින්ද – නාරද සම්මා සම්බුදු රදුන්
06. චඞ්කී බාහ්මණයා – රංසිමුනි සම්මා සම්බුදු රදුන්
07. සුභ බ්‍රාහ්මණයා – දේවදේව සම්මා සම්බුදු රදුන්
08. තෝදෙය්‍ය බ්‍රාහ්මණයා – නරසීහ සම්මා සම්බුදු රදුන්
09. ධනපාලක ඇතා – තිස්ස සම්මා සම්බුදු රදුන්
10. පාරිලෙය්‍යක ඇතා – සුමඞ්ගල සම්මා සම්බුදු රදුන්

අප ගෞතම බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමය නම් වූ මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ සිටි සමයක සැරියුත් තෙරණුවෝ උන් වහන්සේ වෙත පැමිණ වන්දනා කොට මෙසේ විමසූ සේක:
“ස්වාමීනි, අජිත තෙරුන් අනාගත කාලයෙහි මෙම මහා භද්‍රකල්පයෙහි ම මෛත්‍රේය නම් බුදු රදුන් වන බව වදාරන සේක. ස්වාමීනි, අනාගත කල්පයන්හි වෙනත් බොහෝ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා (ලොව) පහළ වන්නාහු නො වෙත් ද?” යනුවෙනි. ගෞතම බුද්ධ සමයේ අජිත තෙරුන් නම් මතු බුදු වන මෙත්තෙය්‍ය හෙවත් මෛත්‍රේය බෝසත්හු ය. තව ද මෙම මෛත්‍රේය බෝසතුන්ගේ පහළ වීම පිළිබඳ ව ගෞතම බුදු රජාණන් වහන්සේ වදාළ බව පාළි ත්‍රිපිටකයේ ද සඳහන් වේ. දීඝනිකායේ චක්කවත්ති සූත්‍රයෙහි ද මෛත්‍රේය බෝසතුන්ගේ අනාගත පහළ වීම පිළිබඳ ව කරුණු සඳහන් වේ. කෙසේ වෙතත් මෙහි දී සැරියුත් තෙරුන් නැගූ පැනයට බුදු රදුන්ගේ පිළිතුර මෙය විය:
“සාරිපුත්තය, සියලු සත්පුරුෂයෝ ලොවෙහි ඉපිද පිළිවෙළින් පාරමිතා පුරා බුදු බවට පත් ව ආයු අවසන බුදු කිස නිමවා පිරිනිවන් පෑවාහු, අනන්ත අප්‍රමාණ වූවාහු නො වෙත් ද? අනාගත කාලයෙහි ද ධෛර්ය සම්පන්න, දැඩි වීර්යය ඇති තවත් සත්ත්වයෝ පිළිවෙළින් පාරමිතා පුරා කාම භවයන්හි සේ ම බ්‍රහ්ම ලෝකයන්හි ද සම්පත් අනුභව කොට ඉන් පසු ව ම බුදු බවට පත් ව බුදු කිස නිමවා පිරිනිවන් පාන්නාහු, අනන්ත අප්‍රමාණ වන්නා හ. සාරිපුත්තය, අනාගතයෙහිත් පහළ වන බුදුවරුන් ගණනින් ප්‍රමාණ නො කරමි. එහෙත් සාරිපුත්තය, අර්හත් වූ සම්මා සම්බුදුවරු දස නමක් පිළිවෙළින් ලොව පහළ වන්නාහු ය” යනුවෙනි.
මෙසේ වදාළ බුදු රජාණන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක. අනතුරු ව සැරියුත් තෙරණුවෝ හුනස්සෙන් නැඟී සිට භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ මතු බුදු වන දස බුදුවරුන් පිළිබඳ ධර්ම දේශනාව වදාරන මෙන් ඉල්ලා සිටියහ. සැරියුත් තෙරුන්ගේ ආරාධනාව පිළිගත් බුදු රජාණන් වහන්සේ දසබෝධිසත්තුප්පත්තිකථාව ගෙන හැර වදාළ සේක. මෙම කථාවේ පළමු උද්දේසය වෙන් වන්නේ ගෞතම බුදු රදුන්ගෙන් පසු ව පළමු ව බුද්ධත්වයට පත් වන මෙත්තෙය්‍ය බෝසතුන් වෙනුවෙනි.
මෙහි දී පළමුවෙන් සඳහන් කළ යුතු විශේෂ කරුණක් ඇත. එනම්: ලංකාවේ බොහෝ දෙනා සිතා සිටින අන්දමට ‘මෛත්‍රේය බෝසතුන් හා නාථ දෙවි යන දෙදෙන එක් අයෙකි’ යන කාරණාව පිළිබඳ ව ය. එසේ හඳුනාගන්නා බොහෝ ලාංකික බෞද්ධයෝ මෙත් බෝසතුන් යැ යි නාථ දෙවියන්ට පුද-පූජා පවත්වති. එහෙත් මොරටුවේ සාසනරතන හිමියන් කරුණු දක්වන හැටියට මේ දෙදෙන එක් අයෙක් නො ව, දෙදෙනෙකි. උන් වහන්සේට අනුව නාථ දෙවි යනු අවලෝකිතේශ්වර ය. ලංකාතිලක ලිපිය, අස්ගිරි විහාර ලිපිය, පැපිළියානේ ලිපිය හා ගඩලාදෙණි ලිපිය ද මේ දෙදෙනා දෙදෙනකු බව දක්වයි. තොටගමු විහාරය නාථ දෙවියන් ඇදහීම පිළිබඳ ව ප්‍රසිද්ධ තැනකි. (ලක්දිව මහායාන අදහස්, 387-388 පිටු).
මෛත්‍රේය බෝසතුන්ගේ අනාගත පහළ වීම පිළිබඳ ගෞතම බුදු රජාණන් වහන්සේගේ දේශනාව වරදවා තේරුම් ගත් බොහෝ බෞද්ධයෝ ගෞතම බුදු සසුනේ දී නිවන් පසක් කිරීම පසෙක ලා අවිචාරවත් ලෙස මෛත්‍රේය බුදු රදුන්ගේ සසුන පතති. මෙය කලෙක පටන් සිදු වන්නකි. ගෞතම බුදු රදුන් මෙවැනි දේශනාවක් කළේ ශ්‍රාවකයන් අප්‍රමාදී ව තම-තමන් ම පිහිට කොට තම-තමන් ම සරණ කොට ධර්මය සරණ කොට හික්මවනු සඳහා ය. ඒ බව චක්කවත්ති සූත්‍රයෙහි මෛත්‍රේය බෝසතුන්ගේ පහළ වීම දක්වන තැන විස්තරයෙන් ම පැහැදිලි වේ. ගෞතම බුදු සසුන මගහැරුණු සත්ත්වයන්ට තවත් බොහෝ කාලයක් බුදු සසුනක පහළ වීම වෙනුවෙන් ගත කළ යුතු බව ඉන් අවධාරණය වෙයි.
ගෞතම බුදු රදුන්ගෙන් පසු ව පළමු ව බුද්ධත්වයට පත් වන මෛත්‍රේය බෝසතුන් ද ලොව පහළ වනුයේ ගෞතම බුදු රදුන් ලොව පහළ වූ මේ මහා භද්‍ර කල්පයෙහි ම ය. ඒ අනුව මේ මහා භද්‍ර කල්පය බුදු වරයන් වහන්සේලා පස් නමකගෙන් සමන්විත වූවකි. එනම් කකුසන්ධ, කෝණාගමන, කස්සප, ගෞතම හා මෛත්‍රේය යන බුදුවරු පස් නම ය. දීඝනිකායේ චක්කවත්ති සූත්‍රයට අනුව මෛත්‍රේය බෝසතුන් ලොව පහළ වීමේ විස්තරය මෙසේ ය:
මිනිසුන්ගේ මේ පවත්නා ආයුෂ කෙමෙන් අවුරුදු දහය දක්වා පිරිහී යයි. නැවතත් මිනිසුන්ගේ ආයුෂ කෙමෙන් කෙමෙන් වර්ධනය වී වසර අසූ දහසකට වැඩි වෙයි. මේ කාලය වන විට දඹදිව බෙහෙවින් සමෘද්ධිමත් ය. කුක්කුටසම්පාතිකා තත්ත්වයක් හෙවත් ගම් නියම්ගම් ජනපද රාජධානිවල වහල මත්තෙන් ගමෙකින් ගමකට කුකුළකුට නොබැස යා හැකි තරම් ඒකාබද්ධ ව පිහිටි නිවෙස්වලින් ගැවසී ගත් තත්ත්වයක් ඇති වන්නේ ය. දඹදිව මිනිසුන්ගෙන් අතුරු-සිදුරු නැති ව පිරී යන්නේ ය. දැන් පවත්නා බරණැස් නුවර ඒ වන විට කේතුමතී නම් රාජධානියක් වන්නේ ය. මුළු දඹදිව ඇති අසූහාර දහසක් නගරයන්ට මේ කේතුමතී රාජධානිය ම ප්‍රධාන වන්නේ ය. මේ කාලය වන විට ශංඛ නම් ධාර්මික සක්විති රජෙක් මේ කේතුමතී රාජධානියෙහි රජකම් කරන්නේ ය. මේ මහ පොළොවේ අවියෙන්, දඬුවමින් තොර ව පාලනය කරන්නා වූ ඒ ශංඛ සක්විති රජුට පරසේනා මර්දනය කිරීමට සමත් පුත්තු දහසකට වැඩි වන්නාහු ය. මෛත්‍රේය බුදු රදුන් ලොව පහළ වනුයේ මේ කාල සීමාවෙහි දී ය.
බෝධිසත්තුප්පත්තිකථාවට අනුව මෛත්‍රේය බෝසතුනට ආයුෂ වසර අසූ දෙදහසකි. උන් වහන්සේගේ උස අසූ අට රියනකි. විසි පස් රියනක් පෘථුල වන අතර පළල ද එපමණ වන්නේ ය. මෛත්‍රේය බුදු රදුන්ගේ සිරුරෙන් නිරතුරු ව නික්මෙන ශරීර ප්‍රභාව කොතරම් ද යත්: එය සඳ හිරු ප්‍රභාව ද අභිභවනය කොට සිටින්නේ ය. මේ නිසා මිනිසුන්ට රාත්‍රී දහවල් දෙක පවා වෙන් වෙන් ව හඳුනාගත නොහැකි වන්නේ ය. ඔවුන් නිරතුරු බුද්ධාලෝකයෙන් ආලෝකවත් ව සිටින්නා හ. සියොතුන්ගේ හඬින් ද පියුම් උපුල් කුසුම් පත් හැකිළීමෙන් සේ ම නැවත විකසිත වීමෙන් ද මිනිස්සු මේ සවස ය මේ උදෑසන ය යනුවෙන් වෙන් වෙන් කොට හඳුනාගන්නා හ. මේ කාලයේ වසන්නා වූ මිනිස්සු ගොවිතැන්, වෙළෙඳාම් නො කරන්නා හ. බුද්ධ නම් වූ අරමුණ සිහි කරන්නා වූ මේ අය නීරෝගී ය. බුද්ධානුභාවයෙන් උපන් ඇල් හාලේ භෝජනය ආහාර වශයෙන් අනුභව කරන්නා වූ මේ ජනතාව බොහෝ සතුටින් ජීවත් වන්නා හ.
මේ ආකාරයට මතු බුදු වන මෛත්‍රේය බුදු රදුන්ගේ නොයෙකුත් විස්තර දේශනා කරන්නා වූ ගෞතම බුදු රජාණන් වහන්සේ මෙත්තෙය්‍ය බෝසතුන්ගේ එක් විශේෂ පාරමිතාවක් පිළිබඳ ව ද වදාළ සේක. බුද්ධත්වය පිණිස දහම් පුරන මෙත් බෝසත් තෙම එක් කලෙක කුරු රටෙහි ඉන්දපත්ත නම් නගරයෙහි ශංඛ නම් සක්විති රජු වූයේ ය. එකල්හි සිරිමත නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ සිරිමත සම්මා සම්බුදු රදුන් භික්ෂු සඞ්ඝයා සමඟ අනුපිළිවෙළින් චාරිකාවේ වැඩම කරන අතර ශංඛ සක්විති රජුගේ රාජධානියට ද වැඩම කොට, ඉන්දපත්ත නගරයෙන් සොළොස් යොදුනක් පමණ දුර එක්තරා තැනෙක වැඩ හුන් සේක. ශංඛ සක්විති රජු ද එක් සාමණේර හිමි නමකගේ මාර්ගයෙන් සිරිමත බුදු රදුන් ලොව පහළ වූ බව දැන තමා සතු සක්විති සම්පත් එහිමියන්ට දී හුදෙකලා ව ම බුදු රදුන් දැකීමට පිටත් විය.
පයින් ම බුදු රදුන් දැකීමට යන රජුගේ පා සියුමැලි බැවින් බිඳී ලේ ගලන්නට විය. පයින් යාගත නොහැකි හෙතෙම අනතුරු ව දෙදණින් හා දෙඅත්තලින් ගමන් කරන්නට විය. දෙදණින් හා අත්තලවලින් ද ලේ වැගිරෙන්නට වූ කල උරයෙන් ගමන් කරන්නට විය. සිතේ ඇති මහත් වූ බුද්ධ ගෞරවය නිසා බොහෝ දුක් වේදනා සතුටින් ම ඉවසන්නට විය. සිරිමත සම්බුදු රජාණන් වහන්සේ මතු බුදු වන මේ බුද්ධාංකුර තෙම දැක මාණවක වේශයක් මවාගෙන ශංඛ රජු සිටි තැනට වැඩම කොට ඔහු පූර්වාරාමය නම් තමන් වහන්සේ වැඩ සිටිනා වෙහෙරට රැගෙන වැඩි සේක. අනතුරු ව මාණවක වේශය අත්හළ ඒ භාග්‍යවතුන් වහන්සේ බුද්ධශ්‍රීයෙන් වැඩ හිඳ රජුට දම් දෙසූ සේක. තවත් දහම් දෙසුව හොත් තමාට භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීමට යමක් නැති බැවින් රජු ධර්ම දේ්ශනාව නවත්වන මෙන් බුදු රදුන්ගෙන් ඉල්ලා සිටියේ ය. නිවන ප්‍රාර්ථනා කරමින් ඒ ශංඛ රජ තෙමේ නියෙන් බෙල්ල කපාගෙන සිය හිස පූජා කළේ ය. මෙය වනාහි මෛත්‍රේය බෝසතුන්ගේ පරමත්ථ පාරමිතාවක් විය. ඒ ශංඛ සක්විති රජු ජීවිත පරිත්‍යාගයෙන් අනතුරු ව තුසිත දෙව් ලොව ශංඛ නම් දිව්‍ය පුත්‍රයා ලෙස උපත ලැබුවේ ය.
මේ ආදි වශයෙන් දස බෝධිසත්තුප්පත්තිකථාවේ මෛත්‍රේය බෝසතුන් පිළිබඳ ව වන පළමු උද්දේසය අවසන් වේ. දස බෝධිසත්තුප්පත්තිකථාවෙහි දැක්වෙන මේ කථා පුවතට අමතර ව මෛත්‍රේය බෝසතුන් පිළිබඳ කථා පාලි හා සිංහල සාහිත්‍යයන්හි දැකිය හැකි ය. මෙම ලිපිය දිගු වන බැවින් මින් ඉදිරියට අනෙකුත් බෝසත්වරුන් නව දෙනා පිළිබඳ කථා අතිසංක්ෂිප්ත ව දැක්වේ.
මෛත්‍රේය බුද්ධ ශාසනය ඉක්ම ගොස් අතිදීර්ඝ කාලයක් ඇවෑමෙන් බොහෝ කලකට පසු ව මේ මහ පොළොව කල්ප විනාශ ගින්නෙන් දැවෙන්නේ ය. මේ මහා භද්‍ර කල්පය අවසන් වූ පසු එක් අසඞ්ඛෙය්‍යක් බුද්ධ ශූන්‍ය වන්නේ ය. අසඞ්ඛෙය්‍ය යනු අංක 141කින් ලිවිය යුතු තරමේ අතිවිශාල සංඛ්‍යාවකි. මෙතරම් අතිදීර්ඝ කාල සීමාවක් බුදු වරයන් වහන්සේලා පහළ නො වන්නා හ. මේ කාල සීමාව තුළ දෙව්-මිනිසුන්ට බුද්ධ කියා හෝ ධම්ම කියා හෝ සඞ්ඝ කියා හෝ කිසි දෙයක් නො වන්නේ ය.
එම බුද්ධ ශූන්‍ය එක් අසඞ්ඛෙය්‍ය ඉක්මවා ගිය කල්හි බුදුවරයන් වහන්සේලා දෙනමක් පහළ වන මණ්ඩ කල්පයක් වන්නේ ය (මණ්ඩ කල්පය යනු කුමක් දැ යි නිශ්චිත ව පැවසිය නොහැකි අතර, අපගේ වැටහීමේ හැටියට නම් මණ්ඩ කල්පය යනු බුදු වරයන් වහන්සේලා දෙ නමක් පහළ වන කල්පය යි. එහෙත් මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමියන්ගේ ශබ්දකෝෂයෙහි එයට අරුත් දක්වා ඇත්තේ සුන්දර කල්පය හා බුදුවරයන් පහළ වන කල්පය යනුවෙනි). මේ මණ්ඩ කල්පයෙහි රාම හා ධර්මරාජ යනුවෙන් සම්මා සම්බුදු වරයන් වහන්සේලා දෙනමක් ලොව පහළ වන්නා හ. එහි ද මිනිසුන්ට අසඞ්ඛෙය්‍යයක් ආයු පිරිහී ගොස් මිනිස් ආයුෂ වසර මිලියන දහයක් වූ කල රාම බෝසතාණන් වහන්සේ දෙව්බඹුන්ගේ ආයාචනය පරිදි තුසිත භවනයෙන් චුත ව මිනිස් ලොව උපදින්නා හ. උන් වහන්සේගේ ආයු ප්‍රමාණය වසර මිලියන දහයකි. ගිහි ගෙයි වසර නවදහසක් කල් වැස අභිනිෂ්ක්‍රමණය කරන්නා වූ ඒ බෝසත් තෙම චන්දනසාර හෙවත් සඳුන්සාර වෘක්ෂය බෝධිය කොට ගෙන බුද්ධත්වයට පත් වන්නා හ. අසූ රියනක් උස් වන්නා වූ මේ බුදු රදුන්ගේ බුදු රැස් අහස පුරා නිතර විහිදී පවතින්නේ ය. තව ද උන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් සියලු අලංකාරයන්ගෙන් පිරිපුන් එක් දිව්‍ය කල්ප වෘක්ෂයක් පහළ වන අතර, සියලු ජනයා එය පරිභෝග කරමින් සුව සේ ජීවත් වන්නා හ.
මේ රාම සම්මා සම්බුදු රදුන්ගේ දස පාරමිතාවන් අතුරින් බොහෝ සෙයින් ප්‍රකට වූ එක් පාරමිතාවක් ඇත. එය මෙසේ ය: රාම බෝසත් තෙම කාශ්‍යප බුදු රදුන් සමයෙහි නාරද නම් මාණවකයකු වී කාශ්‍යප සම්බුදු රදුන් දැක බොහෝ සෙයින් පැහැදුණු සිත් ඇත්තේ බුදු බව පතා තම සිරුර කාශ්‍යප බුදු රදුන්ට පූජා කිරීමට ඉටාගත්තේ ය. ඒ අනුව වස්ත්‍ර දෙකක් ගෙන සුවඳ තෙලින් තෙමා පා තලයේ සිට හිස දක්වා වෙළා ගිනි දඬු පහනින් තම සිරුර දවා බුදු රදුන්ට පූජා කරමි යනුවෙන් සිතී ය. කාශ්‍යප බුදු රජාණන් වහන්සේ පිරිස මැද හුන් නාරද මාණවකයා අමතා මෙපමණ මෙපමණ කල් ඇවෑමෙන් ඔබ මතු බුදු වන්නේ යැ යි විවරණ දුන් සේක. අනතුරු ව ඒ නාරද මාණවකයා එක් රැයක දී තන් සිතාගත් පරිදි සිය සිරුර සුවඳ තෙලින් තෙමූ වස්ත්‍රවලින් වෙළා ගිනි දල්වාගෙන එයින් බුදු රදුන් පුදා මිය ගොස් වෙනස් නො වූ සිතින් යුතු ව තුසිත දෙව් ලොව උපන්නේ ය.
නාරද මාණවකයා දිවි පිදූ තැන පියුම් ගැබක් පහළ වූ අතර මිනිස්සු එය දැක පුදුමයට පත් ව ඒ කෙරෙහි පැහැදී මහා පූජාවක් කළහ. මෙලෙස එම බෝසත් තෙම විසින් කළ ජීවිත පූජාවෙන් රාම බුදු රදුන් වන කල උන් වහන්සේ අසූ රියන් උස් වන අතර, දිවා රාත්‍රී දෙක්හි පැතිරුණු ආලෝකය ඇත්තාහු වන්නා හ. බුද්්ධාලෝකය හේතුවෙන් හිරු සඳු ද මඳ ආලෝක බවට පත් වන්නේ ය. තව ද උන් වහන්සේට වසර මිලියන දහයක් ආයු වන්නේ ය.
රාම සම්මා සම්බුදු රදුන්ගේ සාසනය අවසන් වූ පසු මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් නැවත වැඩී නැවතත් පිරිහී මිනිසුන්ගේ ආයුෂ වසර පනස් දහසක් වන කල පසේනදි කොසොල් රජු පුරන ලද පාරමී ඇති ව ධම්මරාජ නම් සම්මා සම්බුදු රදුන් වන්නේ ය. උන් වහන්සේ දිගින් රියන් හැටක් වන අතර නාග වෘක්ෂය බෝධිය වන්නේ ය. ගෞතම බුද්ධ ශාසනයෙහි පසේනදි කොසොල් රජු නමින් හැඳින්වුණු ධම්මරාජ බෝසත් තෙම කෝණාගමන සම්මා සම්බුදු රදුන්ගේ සසුනෙහි සුද්ධ නම් මාණවකයා විය. මේ සුද්ධ මාණවකයා එක් පියුම් විලක් රකිමින් ජීවත් වූ අතර දවසින් දවස පියුම් දෙක බැගින් විකුණා එයින් ලැබූ මුදලින් සහල් නැළි හතක් ලබා ජීවත් විය.
දිනක් පියුම් දෙකක් ගෙන විකිණීමට යන සුද්ධ මාණවකයාට කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ දක්නට ලැබිණි. කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ඒ මාණවකයාට “ඔබ මතු බුදු වන්නේ යැ” යි වදාරා ඒ පිළිබඳ විස්තර වදාළ සේක. බුද්ධ වචනය අසා සිත පැහැදුණු සුද්ධ මාණවකයා තමා අත තිබූ පියුම් දෙක භාග්‍යවතුන් වහන්සේට පිදුවේ ය. පියුම් ලැබූ බුදු රජාණන් වහන්සේ ඒ පියුම් මත්තෙහි වැඩ හුන් සේක. තව ද සුද්ධ මාණවකයා බුදු රදුන්ට සූර්ය තාපය නොවැදීම පිණිස දඬු සතරක් ගෙන සිවු දිශාවන්හි ඔසවා වස්ත්‍ර දෙකක් ගෙන දඬුවලින් වට කොට වසා ඒ සියලු දානයන්ගේ ඵලයෙන් උතුම් බුද්ධත්වය ම පැතුවේ ය. මේ ආදි වශයෙන් කෝණාගමන බුද්ධ ශාසනයෙහි නොයෙක් පින්කම් කළ හෙතෙම ගෞතම බුද්ධ ශාසනයෙහි ද කොසොල් මහ රජු වී නොයෙක් පින්කම් කළේ ය. මෙලෙස අතීතයේ පටන් අනාගතය දක්වා පිරූ සහ පුරන්නා වූ පාරමිතාවන්ගේ බලයෙන් ධම්මරාජා බෝසත් තෙම මතු මණ්ඩ කල්පයෙහි සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය.
රාම හා ධම්මරාජා සම්බුදුවරුන් වැඩ සිටින්නා වූ මණ්ඩ කල්පය ගින්නෙන් දැවී අවසන් වී සාර කල්පයක් ඇති වන්නේ ය. අභිභූ නම් දෙව්රජු එම කල්පයෙහි ධම්මස්සාමි නම් සම්මා සම්බුදුවරයා වන්නේ ය. වසර දහසක් ආයු ඇති උන් වහන්සේ අසූ රියන් උස් වන්නා හ. සල් වෘක්ෂය බෝධිය වන්නා වූ එම බුදු රදුන්ගේ බුද්ධානුභාවයෙන් නිධානයක් පහළ වන අතර, සියලු මිනිස්සු එය නිසා සැප සේ ජීවත් වන්නා හ. මෙම ධම්මස්සාමි බුදු රදුන්ගේ ද එක් පාරමිතාවක් ප්‍රකට ය. එම බෝසත් තෙම කාශ්‍යප බුද්ධ සමයෙහි බෝධි නම් ඇමැතියා විය.
වරෙක කාශ්‍යප බුදුන් වහන්සේ ඵලසමවතින් නැගී සිට ජේතවන ආරාමයේ වැඩ සිටි සේක. එකල කිකී නම් මහ රජු ඵලසමවතින් නැගී සිටි අයකුට දෙන දානයේ විපාක දැන බුදු රදුන්ට දානයක් දීමට සිතා “කිසිවකු බුදු රදුන්ට පළමු ව දන් නො දිය යුතු ය. එසේ දුන හොත් ඔහුට දඬුවම් වන්නේයැ” යි පවසා බෙර හැසිරවී ය. එහෙත් ශ්‍රද්්ධාවෙන් ම ඔද වැඩුණු බෝධි ඇමැතියා රජ අණ නොතකා බුදු රදුන්ට දන් දීමට සූදානම් වී වෙහෙර වෙත ගියේ ය. අතරමග දී රාජ පුරුෂයන් අතට පත් වුණු ඇමැතියාට රජ අණ කඩ කිරීම නිසා මරණ දඬුවම හිමි විය. ඔහුගේ මරණයට සුළු මොහොතකට පෙර කාශ්‍යප බුදු රජාණන් වහන්සේ වධක ස්ථානයට වැඩම කළ සේක. ඇමැතියාගේ මරණයට මොහොතකට පෙර බුදු රදුන්ට දන් දීමට අවස්ථාව උදා විය. බුද්්ධානුභාවයෙන් පහළ වූ දානය හෙතෙම බුදු රදුන්ට ම දුන්නේ ය. බුදු රජාණන් වහන්සේ ඔහුට මතු බුදු වන බව දක්වා විවරණ දුන් සේක. බුදුන් වහන්සේ නික්ම වැඩම කළ සේක. ඇමැතියා දන් දෙන්නට ගොස් රජ අණ කඩ කිරීම හේතුවෙන් මරණය උරුම කරගති. මරණින් පසු ඔහු තුසිත පුරයෙහි උපන්නේ ය. මෙය වූකලි මතු බුදු වන ධම්මස්සාමි බුදු රදුන්ගේ ප්‍රකට වූ එක් පාරමිතාව යි.
ධම්මස්සාමි බුද්ධ ශාසනය ඉක්ම ගිය කල්හි බුද්ධ ශූන්‍ය වූ එක් ලක්‍ඛණ කල්පයක් වන්නේ ය. ඉන් පසු උදා වන බුදු වරයන් දෙනමකගෙන් සමන්විත මණ්ඩ කල්පයෙහි නාරද හා රංසිමුනි නමින් බුදු වරයන් වහන්සේලා දෙනමක් ලොව පහළ වන්නා හ. නාරද නමින් බුද්ධත්වයට පත්වන්නේ දීඝසෝණ නමින් ප්‍රකට රාහු අසුරින්දයා ය. මෙහි රාහු අසුරින්දයා විශාලතම ශරීර ඇති අය අතර අග්‍රස්ථානයට ම වැටෙන්නෙකි (ඒතදග්ගං භික්ඛවේ අත්තභාවීනං යදිදං රාහු අසුරින්දෝ). රංසිමුනි නමින් සම්බුද්ධත්වයට පත් වන්නේ මේ බුදු සසුනේ චඞ්කී නම් බ්‍රාහ්මණයා ය.
රංසිමුනි බුදු රදුන් වැඩ සිටි මණ්ඩ කල්පය ඉක්ම ගිය කල්හි තවත් එක් මණ්ඩ කල්පයක් වන්නේ ය. එම මණ්ඩ කල්පයෙහි දේවදේව හා නරසීහ යනුවෙන් සම්බුදුවරු දෙනමක් පහළ වන්නා හ. මේ කල්පයෙහි පළමුවෙන් ම බුද්ධත්වයට පත් වන දේවදේව බුද්ධ තෙම නම් සුභ බ්‍රාහ්මණයා ය. එහෙත් සුභ නම් මාණවකයකු පිළිබඳ ව මිස සුභ නම් බ්‍රාහ්මණයකු පිළිබඳ කරුණු ත්‍රිපිටකයෙන් සොයාගැනීමට නොහැකි තරම් ය. එය කෙසේ වෙතත් මේ තෙම කෝණාගම බුද්ධ සමයෙහි ඡද්දන්ත නාග රාජයකු වී උපන්නේ ය. සර්වඥතා ඥානය ම කැමැති වන ඒ බෝසත් නාග රාජ තෙම පිරිනිවන් පෑ කොණ්ඩඤ්ඤ නම් රහතන් වහන්සේ නමකගේ දේහයට කළ යුතු අවසන් කටයුතු මහත් ගෞරවයෙන් ම සිදු කළේ ය. මෙය වනාහි එම දේවදේව බෝසතුන්ගේ ප්‍රකට වූ එක් පාරමිතාව ය.
දේවදේව සම්බුදු රදුන්ගේ සසුන පිරිහී ගිය කල්හි එම කල්පයෙහි ම ගෞතම බුදු සසුනෙහි තෝදෙය්‍ය නමින් ප්‍රකට ව සිටි බමුණා නරසීහ නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය. මේ තෝදෙය්‍ය බමුණා කාශ්‍යප සම්බුදු සසුන පිරිහී ගෞතම සම්බුදු සසුන පහළ වන්නට පෙර කල්හි නන්ද නම් මාණවකයෙක් විය. පිඬු සිඟා වඩින එක් පසේබුදු වරයන් වහන්සේ නමක් දුටු හෙතෙම පැහැදුණු සිතින් දන් පූජා කොට සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කළේ ය.
නරසීහ සම්බුදු සසුන පිරිහී එම කල්පය ද ඉක්ම ගිය කල්හි බුදු වරයන් පහළ නොවන එක්බුද්ධ ශූන්‍ය කල්පයක් වන්නේ ය. එම බුද්ධ ශූන්‍ය කල්පය ද ඉක්ම ගිය කල්හි තවත් බුදු වරයන් වහන්සේලා දෙනමකගෙන් ප්‍රතිමණ්ඩිත මණ්ඩ කල්පයක් වන්නේ ය. එහි පළමුවෙන් ම තිස්ස නම් සම්මා සම්බුදුවරයා වන්නේ ය. උන් වහන්සේ දිගින් අසූ රියන් උස් වන්නා හ. නුග රුක බෝධිය කොටගන්නා උන් වහන්සේට වසර අසූ දහසක් ආයු වන්නේ ය. උන් වහන්සේ විසින් පෙර කරන ලද පින් බලයෙන් එම සසුනෙහි ද නොයෙක් අසිරි වන්නේ ය.
තිස්ස සම්බුදු රදුන්ගේ සසුන පිරිහී ගිය කල්හි පාරිලෙය්‍යක නමින් ප්‍රකට ඇත් රජු සුමඞ්ගල නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය. මේ පාරිලෙය්‍යක ඇත් තෙමේ පෙර කකුසන්ධ බුද්ධ සමයෙහි මහාපනාද නම් සක්විති රජ වී ධර්මය වෙනුවෙන් දිවි පිදුවේ ය. ඔහු එම ජීවිත දාන ඵලයෙන් මතු වසර දහසක් ආයු ඇති සුමඞ්ගල නම් බුදුවරයා වන්නේ ය.
මේ ආදි වශයෙන් දසබෝධිසත්තුප්පත්ති-කථාවෙහිමතු බුදු වන බුදුවරයන් වහන්සේලා දස නමකගේ තොරතුරු අන්තර්ගත වේ. අර්ථීහු එය කියවා වැඩි දුර විස්තර දැනගනිත්වා! ථේරවාද බුදු සමයෙහි කුමන දේශනාවක වුව මුඛ්‍ය අරමුණ වනුයේ පුද්ගලයා නිවනට අප්‍රමාද කරවීම ය. ඒ අනුව දසබෝධිසත්තුප්පත්තිකථාවෙහි එන මේ බුද්ධෝත්පාදයන්ගේ දුර්ලභ බව දැන වහ-වහා මේ බුදු සසුනෙහි කළ යුතු දෑ වෙනුවෙන් වීර්ය කට යුතු ය. ඒ අප මාරයා සමඟ ඇති කරගත් ගිවිසුමක් නැති බැව් ද සිහියේ තබාගෙන ම ය.

Wednesday, March 13, 2019

සප්ත භාර්‍යාවෝ

සප්ත භාර්‍යාවෝ

"පුරුෂයෙකුට මේ භාර්‍ය්‍යා සත් දෙනෙක් වෙති. කවර සත් දෙනෙක යත්:
       1. වධකසමා ය
       2. චොරීසමා ය
       3. අර්‍ය්‍යසමා ය
       4. මාතුසමා ය
       5. භගිනීසමා ය
       6. සඛීසමා ය
       7. දාසිසමා ය

ඒ විස්තරය මෙසේ ය. 

1. වධකසමා
යම් බිරියක් දුෂ්ට සිත් ඇත්තී ද, හිතානුකම්පා නැත්තී ද, පරපුරුෂයන් කෙරෙහි ඇලුනී ද, සිය සැමියා ඉක්ම සිතා ද, ධනයෙන් විකොට ගෙන වධ කිරීමට උත්සුක වේ ද, පුරුෂයකුට සිටිනා මෙබඳු බිරිය වන්නී වධකසමා යැයි කියනු ලැබේ.

2. චෞරිසමා
ස්ත්‍රියගේ හිමි තෙම ගොවිකම් ආදිය කරමින් යම් ධනයක් ලබා ද, ස්ත්‍රිය ඒ ධනයෙන් අල්පයක් හෝ පැහැරගනු කැමැති වෙද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම්, ඇය චෞරිසමා යැයි කියනු ලැබේ.

3. ආර්‍යසමා
ගේ දොර කටයුතු නොකරන්නී අලස වූවා බොහෝ කොට අනුභව කරන්නී රළු වූවා සැඬ වූවා කැකුළු තෙපුල කියන්නී හිමිහුගේ උත්ථානසම්පදාවට බාධා කරන්නී වී ද, පුරුෂයාගේ මෙබඳු ඒ බිරිය ආර්‍ය්‍යසමා යැයි කියනු ලබයි.

4. මාතෘසමා
යම් බිරියක් හැම විට හිතානුකම්පා ඇත්තී මවක් පුතකු සෙයින් හිමියා රක්නී ද, ඔහු විසින් උපයනලද ධනයත් රක්නී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම් ඈ මාතෘසමා යැයි කියනු ලැබේ.

5. භගිනිසමා
දෙටු බෑයා කෙරෙහි කණිටු බුහුන යම්සේ පවත්නී ද, එසෙයින් සිය හිමිහු කෙරෙහි ගෞරව සහිත වේ ද, ලජ්ජා සිත් ඇත්තී ද, හිමිහුගේ වශය අනුව වැටෙන්නී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම් ඇය භගිනිසමා යැයි කියනු ලැබේ.

6. සඛීසමා
මෙ ලොවෙහි යම් බිරියක් බොහෝ කලෙකින් පැමිණි යහළුවකු දැක තුටු වන යෙහෙළියක සෙයින් සිය හිමිහු දැක ප්‍රමුදිත වී නම්, කුලසපන් වූවා සිල්වත් වූවා පතිව්‍රත ඇත්තී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම් ඇය සඛීසමා යැයි කියනු ලැබේ.

7. දාසිසමා
(හිමියා විසින්) දඬු ගෙණ තර්ජනය කරණලද්දී පවා නොකිපුනි ම දුෂ්ට චිත්ත නැත්තී හිමිහට ක්ෂමා කරන්නී ද, නො කිපෙනසුලු වූවා හිමියාගේ වශයෙහි වැටෙන්නී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම්, ඈ දාසිසමා යැයි කියනු ලැබේ.

මෙ ලොව්හි යම් බිරියක් වධකා යයි කියනු ලබා නම්, යම් බිරියක් චොරී ය යි ද අය්‍යා යි ද කියනු ලබා නම්, දුඃශීලස්වභාව ඇති රළු වූ ආදර නැති ඔවුහු මරණින් මතු නිරයට යති.

මෙ ලොව්හි යම් බිරියක් මාතෘභාර්‍ය්‍යා යයි ද භගිනිභාර්‍ය්‍යා යයි ද සඛීභාර්‍ය්‍යා යයි ද දාසිභාර්‍ය්‍යා යයි ද කියනු ලබා නම්, ශීලයෙහි පිහිටි සිත් ඇති චිරරාත්‍රයෙහි සංවෘත වූ ඔවුහු මරණින් මතු සුගතියට යති.

(අ.නි. සප්තක නිපාත - සත්තභරියා සූත්ත)

ප්‍රේත ලෝක දොළහ.

ප්‍රේත ලෝක දොළහ .
•••••••••••••••••••••••••••

(01) සෙම සොටු ආහාර කොට ඇති වත්තාස නම්  ප්‍රේත ලෝකය.

(02)  මිනිසුන් ගේ හා සතුන්ගේ මළකුණු ආහාර කොට ඇති කුණපාස නම් ප්‍රේත ලෝකය.

(03)  අසුචි ආහාර කොට ඇති ගුථඛාදක නම් ප්‍රේත ලෝකය.

(04)  කටින් නික්මෙන්නා වු ගිනි දැල් ඇති  අග්ගිජාල මුඛ නම් ප්‍රේත ලෝකය.

(05)  ඉදිකටු මලකය පමණ වු මුඛයක් ඇති මහ සැලිසිලික් පමණ බඩ ඇති සුවිමුඛ නම් ප්‍රේත ලෝකය.

(06)  සාගින්නෙන් හා පිපාසයෙන් නිතර පෙලෙන බැවින් ආහාර පාන ආශාවෙන් පෙළෙන තණ්හාටිවික නම් ප්‍රේත ලෝකය.

(07)  ගින්නෙන් දා ගිට කණුවක් මෙන් වියලී ගිය ශරීර ඇති සුනිජ්ඤාමක නම් ප්‍රේත ලෝකය.

(08)  ආයුධ වැනි වු තියුණු තමාගේ ශරීරයම කැපෙන නිය ආදි ශරීර අවයව ඇති සතංග නම් ප්‍රේත ලෝකය.

(09)  පරවිත නම් විශාල ශරීර ඇති පබ්බතංග නම් ප්‍රේත ලෝකය.

(10)  පිඹුරන්ගෙනන් ශරීර වැනි ශරීර ඇති අජහරංග නම් ප්‍රේත ලෝකය  .

(11)  විමාන වල ඉපිද සැප දුක් දෙකම කලින් කල  විඳින්නා වු වේමානික නම් ප්‍රේත ලෝකය. .

(12)  කැලෑවල වාසය කරන්නා වු මහත් වු සෘද්ධි ද ඇති මහිංධික නම් ප්‍රේත ලෝකය.

තෙරුවන් සරණයි !!!

                   
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

අට මහ නරකය පිළිබඳ තොරතුරු මේ ලිපියෙන් දැක්වේ. .

අට මහ නරකය පිළිබඳ තොරතුරු මේ ලිපියෙන් දැක්වේ.
.
පාළි භාෂාවෙහි නිරය යන වචනය පරමත්ථජෝතිකාව නම් විනය අටුවාවේ විස්තර කර ඇත්තේ සතුට හෝ සැපත මුළුමනින් ම තොර වූ ස්ථානය යනුවෙනි. වැරැදි කරන්නවුන් මරණයෙන් පසු ඔවුන්ගේ පාපකාරී ක්‍රියා නිසා නැවත උපදින අපාය භූමිවලින් එකක් වන්නේ නිරය යි.

ඒ ඒ පුද්ගලයා විසින් කරන ලද පව්කම්වල ප්‍රමාණය හා ඒවායේ විපාක දීමේ ශක්තිය අනුව නිරයට වැටෙන ඇතැම්හු ඉතා සුළු කාලයක් ද, ඇතැම්හු ගණනය කළ නොහැකි තරම් දිගු කාලයක් ද නිරයෙහි දුක් විඳිති. මේ සඳහා හොඳ උදාහරණයක් ලෙස දෙව්දත් තෙරණුවන් පෙන්වා දිය හැකි ය. උන් වහන්සේ බුදු රජාණන් වහන්සේට ද, සංඝ සමාජයට ද එරෙහි ව යෑම හේතුවෙන් මරණින් මතු ඉතා දරුණු දුක් ලබා දෙන අවීචි මහා නරකයෙහි උපන් සැටිත්, පැවිදි ව සිට රැකි සීලාදි ගුණධර්මයන්ගේ යහපත් විපාක වශයෙන් ඉතා දීර්ඝ කාලයකට පසු අවීචි මහා නරකයෙන් මිදී අවුත් අනාගතයේදී සට්ඨිස්සර නම් පසේබුදුවරයකු වන බවත් සම්බුදු මුවින් ම ප්‍රකාශ කොට ඇත.

අද අපි මෙම ලිපියෙන් මහා නිරය අට පිළිබඳ ව සරල ව විමසා බලමු. මේ මහා නිරය අට නම්:

1. සංජීව නරකය
2. කාළසුත්ත නරකය
3. සංඝාත නරකය
4. රෞරව නරකය
5. මහාරෞරව නරකය
6. තාප නරකය
7. ප්‍රතාප නරකය
8. අවීචි නරකය

▬▬▬▬▬

1. සංජීව නරකය
සංජීව නරකයෙහි වැටුණු පව් කළ අය එම නිරය පාලකයන් විසින් දිලිසෙන රත් වූ ආයුධවලින් තළා පොඩි කර කෑලිවලට කපනු ලැබේ. ඔවුන්ගේ පව් කම් විපාක දී අවසන් වන තෙක් ම ඔවුහු මේ දඬුවම නැවැතනැවැතත් විඳිති. තමා කළ පවට අනුරූප ව නැවැතනැවැතත් එක ම දඬුවම බොහෝ කල් විඳින්නට සිදු වන නිසා මේ නිරය සංජීව නරකය ලෙස හැඳින්වේ.

වෙහෙර-විහාර පෙති පිළිමාදිය කැඩුවෝ ද, අවැඩදායි තැන්වල නිර්මල බුදු රදුන්ගේ ප්‍රතිමා රූප තබා නිග්‍රහ කිරීමට සැලසුවෝ ද දහම් බණ පොත් විනාශ කළෝ ද, සිල්වත් ගුණවත් උතුමන්ට නින්දා අපහාස කළෝ ද, වන්දන-මානන කරනු ලබන බෝ රුක් වැනසුවෝ ද වඳින-පුදන තැන් අපවිත්‍ර කළෝ ද, ගෙවල් ගිනි තැබුවෝ ද, උන්–හිටි තැන් නැති කළෝ ද, නැති සිල් පෙන්වා ජනතාව මුළා කළ පැවිද්දෝ ද මෙම සංජීව නරකයට වැටී මහා භයානක දුක් විඳින්නෝ ය.

මිනිස් හට පණස් අවුරුද්දක් චාතුම්මහාරාජිකයෙහි දෙවියන්ට එක් දවසකි. එදවසින් තිස් දවසක් මසක් වෙයි. එමසින් දොළොස් මසක් අවුරුද්දක් වේ. ඒ අවුරුද්දෙන් එකී දෙවියනට පන්සියයක් අවුරුදු ආයුෂ ය. ඒ දිව්‍යායුෂ වූ අවුරුදු පන්සියය සංජීව නරකයෙහි එක් දවසක් වේ. එදවසින් තිස් දවසක් මසක් වෙයි. එමසින් දොළොස් මසක් අවුරුදු වෙයි. ඒ අවුරුද්දෙන් පන්සියයක් අවුරුදු ඒ නරකයෙහි ආයුෂ ය. මේ අනුව මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ අනූ ලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි.

එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු වසර පන්සියයක් සංජීව නරකයෙහි ආයුෂ ප්‍රමාණය වේ.

▬▬▬▬▬

2. කාළසුත්ත නරකය
කාළසුත්ත නරකයෙහි යම පල්ලන් විසින් මෙහි උපදින්නන්ගේ සිරුරු කළු පැහැ ගත් නූලකින් සලකුණු කරන ලද සීමාවන් අනුව වෑයෙන් සසිනු ලැබේ. මේ දඬුවම තමන් විසින් කරන ලද පාපකර්මයේ ශක්තිය හා ප්‍රමාණය අවසන් වන තෙක් විඳීමට ඔවුන්ට සිදු වේ. මේ නරකයෙහි වැටුණු නිරි සතුන්ගේ සිරුරු කළු නූලකින් සලකුණු කෙරෙන නිසා එම නරකයට කාළසුත්ත (කළුනූල) යන නම ව්‍යවහාර කරනු ලැබේ.

තම මවු-දෙමවුපියන්ට අගරු කළ, නොසැලකූ, හිංසා පීඩා කළ, දුර්ජන පුද්ගලයෝ ද, සුරාවට-සූදුවට, අනාචාරයට ඇබ්බැහි වී තම අඹු-දරුවන්ට හිරිහැර හිංසා පීඩා කළ පුද්ගලයෝ ද නිවැරදි අයට විවිධ අසත්‍ය චෝදනා ඉදිරිපත් කොට අවමන් කළෝ ද සේවය කළ අයට නිසි පරිදි සැලකිලි නොකොට වැටුප් ආදිය නොගෙවූවෝ ද නොසැලකිලිමත් ලෙස ක්‍රියා කොට අන් අය මරණයට හිංසාවට පීඩාවට අහේනියට නැතිබැරි තත්ත්වයට පත් කළෝ ද අන් සතු වස්තුව වංචා සහගත අයුරින් රවටා ලියා-කියාගත්තෝ ද අසරණ දුකට පත් අයට කිසි විටෙකත් උපකාරයක් නොකළෝ ද කතාබස් කරන විටදී ද හිත් රිදෙන වචන ඇණුම් පද සහ නපුරු වචනවලින් කතා-බස් කළෝ ද, සත්ත්ව ඝාතනය කළෝ ද, වස-විස කවා හදි-හූනියම් කොට අන් අය විනාශ කළෝ ද මෙම කාල සූත්‍ර නරකයෙහි පහළ වී, අනන්ත විඳි.

මිනිස් හට සියක් අවුරුදු තව්තිසා වැසි දෙවියන්ට එක් දවසක් වෙයි. ඒ දවසින් එහි දෙවියන්ට පූර්වෝක්ත ක්‍රමයෙන් දහසක් අවුරුදු ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සහස්‍රය කාළසුත්ත නරකයෙහි එක් දවසක් වෙයි. ඒ දවසින් දහසක් අවුරුදු එම නරකයෙහි ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වසර තුන්කෝටි හැටලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු වසර දහසක් කාළසුත්තයෙහි ආයුෂ ප්‍රමාණය වේ.

▬▬▬▬▬

3. සංඝාත නරකය
සංඝාත නරකයෙහි උපන් පව් කළ තැනැත්තේ දිලිසෙන උණුසුම් කඳු වළල්ලකින්, දූවිලි තරමට කුඩා කැබැලිවලට කඩාදමන හෙයින් මෙම නරකයට සංඝාත යන නම ව්‍යවහාර වේ.

මෙම සංඝාත නමැති භයානක නරකයෙහි උපත ලබන්නෝ කෙබඳු පාපකර්ම කරගත්තෝ දැ යි බලමු. අසරණ අහිංසකයනට අයත් ඉඩම-කඩම හෝ අනෙක් වස්තුවක් හෝ රැකගෙන සිට මුදලක් හෝ සටකපටකම්වලින් වංචා කොට ගසාකෑවෝ ද, පොදු මහජන සන්තක දේ රජයේ දේපළ ගසාකෑවෝ ද අවි-ආයුධවලින්, පොලු-මුගුරුවලින් පහර දී ගව මහීෂාදීන් පමණක් නො ව, මිනිසුන් පවා දුකට වේදනාවට මරණයට පත් කළෝ ද, හදිසියකට, විපතකට කෙනකුගෙන් ලබාගත් මුදල් හැකියාව තිබියදී ආපසු නොගෙවා මගහැරියෝ ද මිල-මුදලට වාසියට ප්‍රයෝජනයට තම අතදරුවන් අකරුණාවන්ත ලෙස විකිණූ දුර්ජන ස්ත්‍රී-පුරුෂයෝ ද, අකාරුණික ලෙස සේවක- කාරකාදීන්ගෙන් මෙන් ම ගවමහීෂාදීන්ගෙන් වැඩ ගත්තෝ ද මේ සංඝාත අපායෙහි උපත ලබති.

මිනිස් හට දෙසීයක් අවුරුදු යාම දෙව්ලොව දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් එහි දෙවියන්ට දෙදහසක් අවුරුදු ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සංඝාත නරකයේ එක් දවසක් වෙයි. එදවසින් දෙදහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වසර දාහතර කෝටි හතළිස් ලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු වසර දෙදහසක් සංඝාත නරකයේ ආයුෂ වේ.

▬▬▬▬▬

4. රෞරව නරකය
රෞරව නරකයේ ඉපදුණු පව් කළ සත්ත්වයෝ නිතර ම ඉතා උස් හඬින් හඬන්නේ ඉතා බියකරු හානි දායක විෂ දුමකින් ඔවුන්ගේ සිරුරු පිලිස්සෙන බැවිනි. මේ නිසා මේ නරකයට ධූම රෝරුව හෙවත් රෞරව නරකය යැ යි කියනු ලැබේ.

සතුන් මැරුවෝ ද, සොරකමට අනුබල දුන්නෝ ද මං පැහැරුවෝ ද, මිල-මුදලට විවිධ වැරදි දේ සහ මනුෂ්‍ය ඝාතන කළෝ ද, ගෙවල්-දොරවල් ගිනි තැබුවෝ ද ගංගා ඇළ දොළ, වැව් පොකුණු අපිරිසුදු කළෝ ද ඒවා විනාශ වී යෑමට කටයුතු කළෝ ද කෝපයෙන් ක්‍රෝධයෙන් ජනයා පරිහරණය කරන ළිං පොකුණු වසා දැමුවෝ ද, මත්ද්‍රව්‍ය, මත් පැන්, මත් කුඩු ආදි විනාශකාරී දේ ජනයා අතර ප්‍රචලිත කළෝ ද, අනාචාරයෙහි යෙදුණු ස්ත්‍රී-පුරුෂයෝ ද, පාපකාරී දරුණු පුද්ගලයන්ට අත-හිත දී උපකාර කොට ඔවුන් ලවා විවිධ අපරාධ කරවූවෝ ද රෞරව නරකයෙහි පැසෙන්නා හ.

මිනිස් හට හාරසියයක් අවුරුදු තුසිත පුරයේ දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් හාරදහසක් අවුරුදු එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ රෞරව නරකයේ එක් දවසක් වෙයි. එදවසින් හාරදහසක් අවුරුදු ඒ නරකයෙහි ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ පණස්හත් කෝටි හැටලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින 30ක් මාසයකි. මාස 12ක් අවුරුද්දකි. එබඳු වසර හාරදහසක් රෞරව නරකයේ පරමායුෂ වන්නේ ය.

▬▬▬▬▬

5. මහාරෞරව නරකය
මහා රෞරව නරකයෙහි උපදින සත්ත්වයෝ රෞරව නරකයේ ඉපදුණු අයට වඩා මහ හඬින් විලාප දෙති. මහා රෞරව යන වචනය එයට ව්‍යවහාර කරන්නේ ඒ හේතුවෙනි. එසේ ම මේ නරකයෙහි උපදින සත්ත්වයෝ අපායේ ගිනිදැල්වලින් නිරන්තරයෙන් පිලිස්සෙමින් දුක් විඳිති. එහෙයින් ඊට ජාල රෝරුව යන නම ද යෙදේ.

මෙලොවක් නැත, පරලොවක් නැත, දීමෙහි කුසල විපාකයක් නැත, කෙසේ හෝ තමා ජීවත් විය යුතු ය, ඒ සඳහා කවර වරදක් කළ ද නරක විපාකයක් නැත… ආදි මිථ්‍යා දෘෂ්ටි ඇත්තෝ ද ගවයන්, ඌරන් එළුවන් කුකුළන් හා නොයෙක් පක්‍ෂි වර්ග ද අල්ලාගෙන ගසා තළා පෙළා මරාගෙන මස් කෑවෝ ද මවු-පිය-ගුරුවරු ආදීන්ට අකෘතඥ වී ඔවුන්ගෙන් ලද සේවය ගැන නොසලකා ඔවුන්ට හිංසා-පීඩා කළෝ ද, උන් හිටි තැන් නැති කළෝ ද නැති-බැරි අහිංසක මිනිසුන් දුක සේ උපයාගත් මිල-මුදල් ආදිය විපත් අවස්ථාවලදී ගැනීමට විශ්වාසය තබා භාර දුන් විට එම විශ්වාසය කඩා එම ධනය ගසාකෑ වංචනිකයෝ ද මෙම මහා රෞරව නරකයෙහි වැටෙන්නෝ ය.

තව ද: සැදැහැ සිතින්, හැකි පමණින් පින්වත් මිනිසුන් විසින් පූජා කරන ලද සඟ සතු දේපළ, මහජන දේපළ අයුතු ලෙස පරිහරණය කළ ගිහියෝ මෙන් ම පැවිද්දෝ ද, අභ්‍යන්තරයෙහි කරුණා මෛත්‍රී සීලාදිය නැති ව අන් අය මුළා කරනු පිණිස නැති ගුණ පෙන්වා ජනයා මුළා කොට මිලමුදල් සම්පත් ලද්දෝ ද මෙම නරකයට වැටෙන්නෝ ය. තම දරුවන් බැළ-මෙහෙවරකම්වලට විකිණුවෝ ද අහිංසක දූ-දරුවන් අනාචාරයෙහි යොදවා මිල මුදල් ඉපයූවෝ ද, කුලියට මිනී මැරුවෝ ද කාන්තාවන් රවටා ස්ත්‍රී දූෂණ කළෝ ද, රජවරුන්ට, මැති-ඇමතිවරුන්ට, ජන ප්‍රධානීන්ට කේළම් කියා ඔවුනොවුන් බිඳුවා නිවැරදි අහිංසක ජනයාට විවිධාකාර පීඩා කළෝ ද, කිසිවකුගේ හෝ හොඳක් හොඳක් හැටියට නොපිළිගෙන අනුන්ගේ අගුණ ම පවසමින් අන් අය අපහාසයට, උපහාසයට ලක් කරමින් වාචාල කතා කියන අසත්පුරුෂයෝ ද යන සියලු දෙනා ද මෙම රෞරව නරකයට වැටී කල්ප ගණන් බිහිසුණු දුක් විඳින බව දේවදූත සූත්‍ර වර්ණනාවේ දැක්වේ.

මිනිස් හට අටසියයක් අවුරුදු නිම්මාණරතියෙහි දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් අවුරුදු අටදහසක් එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ මහා රෞරව නරකයෙහි එක් දවසක් වෙයි. එදවසින් අටදහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ දෙසිය තිස් කෝටි හතළිස් ලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු අවුරුදු අටදහසක් මහා රෞරව නිරයට ආයුෂ වන්නේ ය.

▬▬▬▬▬

6. තාප නරකය
තාප නරකයෙහි උපන් සත්ත්වයෝ තමන් කළ කර්මානුරූප ව රත් වීමෙන් රත් පැහැ ගැන්වුණු තියුණු යකඩ උල්වලින් සිරුර පසා කරගෙන යන ලෙස විදිනු ලබන කල්හි තද වේදනාවෙන් පෙළී නිසොල්මන් ව සිටිති. ඔවුන් කළ පාප කර්මය ගෙවී අවසන් වන තෙක් ම ඔවුහු මේ නරකයෙහි දුක් විඳිති. ගිනි ගත් අයෝමය දණ්ඩෙන් සිරුරු විදිනා කල්හි එයින් බොහෝ කලක්, තැවිතැවී දුක් විඳිනා හෙයින් මේ නරකය තාපන හෙවත් චුල්ල තාපන නරකය නමින් හැඳින්වේ.

අදමිටු අයුරින් සතර අගතියෙන් බැඳී රට-රාජ්‍යයන්, ප්‍රදේශයන් පාලනය කළ රාජ-රාජ-මහාමාත්‍යවරු ද, ඔවුන්ගේ පුරෝහිතයෝ ද, වංක ලෙස කටයුතු කළ රජයේ නිලධාරීහු ද, නිසි ලෙස සේවය නොකොට අයථා පරිදි රාජ්‍ය දේපළ සූරා කෑවෝ ද, රාජ්‍ය සේවය නිසි පරිදි ඉටු නොකොට අයුතු ලෙස ධන සම්පත් ගසා කෑ නිලධාරීහු ද මේ බිහිසුණු නරකාදියට වැටෙන්නෝ ය. රජයට ධනය ලැබෙන්නේ පහළ මට්ටමේ දිළින්දාගේ පටන් මහා ධන කුවේරයන් දක්වා වූ සකලවිධ ජනතාවගෙන් ලබාගන්නා අය බදුවලිනි. යමකු බදු වංචා කරන්නේ නම් රජුට රට වෙනුවෙන් කළ යුතු සේවය නොකළ හැකි වන්නෝ ය. බදු වංචා කරන්නන් මෙන් ම, තමා ගන්නා වේතනයට සරිලන අයුරින් සේවය නොකොට ගතමනාව ලබාගන්නෝ ද රටට ණයකාරයෝ වන්නෝ ය. මේ වංචනික ක්‍රියාවන්ගේ අකුසල පක්‍ෂය විසින් ඔවුහු තාපය නම් අපායට හෙළනු ලබති.

මිනිස් හට එක්දහස් හයසියයක් අවුරුදු පරනිම්මිත වසවත්තියෙහි වැසි දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් අවුරුදු දහසය දහසක් එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සොළොස් දහස තාපන නරකයෙහි එක් දවසක් වෙයි. එදවසින් දහසය දහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ නවසිය විසිඑක් කෝටි හැට ලක්‍ෂයක් මේ නිරයට එක් දවසකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු අවුරුදු දහසය දහසක් තාප නරකයට ආයුෂ වන්නේ ය.

▬▬▬▬▬

7. ප්‍රතාප නරකය
මහා තාපන නරකය ලෙස හැඳින්වෙන නරකයෙහි නිරය පාලකයෝ නිරයෙහි උපන් සත්ත්වයන් ගිනි ගෙන දිලිසෙන අයෝමය කඳු මුදුන්වලට යවති. ඔවුහු එහි නැඟි වහාම තද උණුසුම් සුළඟකින් තල්ලු වී පහළට රූරා වැටෙති. ඔවුන් පහළට රූරා වැටෙන්නේ ද පහළ ඇති ගිනියම් වූ අයෝමය තහඩු මතට ම ය. එයින් ඔවුහු වඩවඩාත් දරුණු පීඩාවට ලක් වෙති. තමන් මෙයට පෙර ආත්ම භවයේදී කළ බලවත් පාප කර්මයන්ගේ ශක්තිය අවසන් වන තුරු ඔවුහු මෙසේ අනන්ත දීර්ඝ කාලයක් අපමණ දුක් විඳිති.

පණපිටින් සත්ත්වයන් සහ මනුෂ්‍යයන් පිලිස්සුවෝ ද, ගෙවල් ගිනි තැබුවෝ ද ආහාරපාන ගිනි තබා පුලුස්සාදැමුවෝ ද, ගහ කොළ වන සම්පත් ගිනි තබා විනාශ කළෝ ද, කන-බොන ආහාර-පානාදියට වස-විෂ යෙදුවෝ ද, අපිරිසිදු ආහාර-පාන අලෙවි කළෝ ද, හොරට කිරුම්-මිනුම් සිදු කොට ආහාර-පාන හා නොයෙක් වෙළෙඳ ද්‍රව්‍ය විකිණුවෝ ද, තුනුරුවන් සන්තක දේ අනිසි ලෙස පරිහරණය කළ ගිහියෝ සහ පැවිද්දෝ ද මෙම නිරයට වැටෙන්නෝ ය.

මෙම ප්‍රතාප නම් සත්වන නරකයෙහි අන්තඞකල්පයකින් අර්ධයකට ආයුෂ වන්නේය.

▬▬▬▬▬

8. අවීචි නරකය
අවීචි මහා නරකය සියලු නරකයන්ට වඩා ඉතා පහළින් වූ ද, භයානක වූ ද නරකය යි. මෙම අපායෙහි දැඩි දුක් වේදනා විඳින බලවත් පාප කර්ම කළ සත්ත්වයෝ ඉතා දැඩි උණුසුමකින් පීඩා විඳිති. මේ අපායෙහි දුක් විඳින පාපකාරී සත්ත්වයන් හා එහි ඇති බුරබුරා නැඟෙන ගිනි දැල් අතර පරතරයක් නැත. එහෙයින් මේ නරකයට අවීචි යන නම භාවිත වේ. මෙම නරකය සැලසුම් වී ඇත්තේ ඉතා බරපතළ පාප කර්මයන් වන පංචානන්තරීය කර්ම කළවුන්ට දරුණු විපාක ලබා දීමේ අරමුණෙනි.

ආනන්තරීය පාපකර්ම සිදු කළ පුද්ගලයෝද මිථ්‍යාදෘෂ්ටි ගත් පුද්ගලයෝ ද, රජ-මැති-ඇමැතිවරු මෙන් ම මිත්‍රයනුත් බොරුවෙන් කේළමෙන් භේද කරන්නෝ ද, සමගියෙන් සමාදානයෙන් වෙසෙන අඹු-සැමියන්, සහෝදර-සහෝදරියන්, සිල්වත් ගුණවත් මහණ බමුණන්, ආචාර්යවරුන් භේද-භින්න කරන්නෝ ද අවීචි මහා නරකාදියට වැටෙන්නෝ ය. තව ද, පූජනීය ස්ථාන විනාශ කරන්නෝ ද ඒවායේ දියුණුව කඩාකප්පල් කරන්නෝ ද, නිරන්තර ඊර්ෂ්‍යා සහගත සිතින් ක්‍රියා කරන පුද්ගලයෝ ද, සිව්පසය අනිසි ලෙස පරිහරණය කරමින් නැති සිල් පෙන්වමින් ජීවත් වුණු, සීලයෙන් ගුණයෙන් පිරිහුණු පැවිද්දෝ ද ක්රූර ලෙස අවි ආයුධ භාවිත කරමින් රට වැසියන් විනාශ කරන කැරලිකරුවෝ ද අවීචි මහා නරකාදියට ම වැටෙන්නෝ ය.

අවීචි මහා නරකයෙහි ආයුෂ ප්‍රමාණය එක් අන්තඞකල්පයකට සමාන ය.

ඉතා බරපතළ පාප කර්ම කළ කිහිප දෙනකු අවීචි මහා නරකයට ගිය ආකාරය දැක්වෙන කතා පුවත් බෞද්ධ ධර්ම ග්‍රන්ථවල සඳහන් ය. තම නෑනා වූ උප්පලවණ්නා තෙරණිය දූෂණය කළ නන්ද ඒ බලවත් පාප කර්මයේ විපාක වශයෙන් අවීචි මහා නරකයෙහි වැටී දුක් විඳියි. බුදුන් වහන්සේගේ ශ්‍රී දේහයෙහි ලේ සෙලවූ, සංඝ භේදය කළ දේවදත්ත තෙරණුවෝ එහි විපාක වශයෙන් අවීචියෙහි දුක් විඳිති. ඔහුගේ ශරීරය යොදුන් සියයක් උස ය.

ඔහුගේ හිස හා කන හරහා ගිනි ගෙන දිලිසෙන අයෝමය ඉන්නක් ඇතුළු වේ. ඔහුගේ දෙපා වළලුකර දක්වා ගිනි ගෙන දිලිසෙන අයෝමය බිමක එරී යයි. තල් ගසක කඳක් තරම් මහත අයෝමය ඉන්නක් බටහිර බිත්තියෙන් පැමිණ ඔහුගේ කන මත්තෙන් විනිවිද ගොස් නැඟෙනහිර බිත්තිය දක්වා දිව යයි. එවැනි ම තවත් අයෝමය ඉන්නක් දකුණු පස බිත්තියෙන් පැමිණ ඔහුගේ සිරුර විනිවිද ගොස් වම් පස බිත්තිය දක්වා දිව යයි. එහි සිවිලිමෙන් වෑහෙන ගිනිදැල්වලින් ඔහුගේ සියලු ශරීරය ම විනිවිද යමින් වියළා දමන අතර, පහත බිමෙන් පැන නගින ගිනි ගෙන දිලිසෙන රතු පැහැ අයෝමය ඉන්නක් සිරුර විනිවිද යයි. ඔහුගේ දෑත් ගිනි ගෙන දිලිසෙන රතු පැහැ අයෝමය දම්වැලකින් බැඳ තිබේ.

මේ අටමහා නිරයට අමතරව තවත් නිරයන් බොහෝ ගණනාවක් තිබෙනවා. ඒවා අතුරින් ප්‍රසිද්ධ නිරයන් කිහිපයක් මෙහිලා සඳහන් කරමු.

▬▬▬▬▬

කුඩා නිරයන් – ගූථ නිරය, කුක්කුල නිරය, අසිපත් වන නිරය, සම්බලිවන නිරය කියා කුඩා නිරයන් වර්ග හතරක් තිබෙනවා. ගූථ නිරය කියන්නේ, කැකැරුණු අසූචියෙන් පිරුණු මෙහි වැටෙන නිරසතුන්ගේ ශරීරයේ ඇටමිදුළු දක්වාම විදගෙන යන, උණ ගස්, පොල්, ගස්, තල් ගස් පමණ මහත පණුවන් ගැවසිගත් තැනක් කුක්කුල නිරය කියන්නේ යටින් ගිනි අඟුරු ඇති අළුවලින් පිරුණු තැනක්. අසිපත් වන නිරය කියන්නේ, කඩු වගේ දෙපැත්ත කැපෙන කොළ ඇති ගස් සහ දැලි පිහිය වගේ කොළ ඇති තණ ඇති නිරයයි. සිම්බලිවන නිරය කියන්නේ, ඉතාම තියුණු කටු සහිත ගස් ඇති නිරයයි.තවත් මෙවැනි බොහෝ නිර තිබෙන බව බුදුරජාණන් වහන්සේ සම්බුදුනුවණින් දැන වදාළා.

▬▬▬▬▬

ලෝකාන්තරික නිරය – ලෝකාන්තරික නිරය කියන්නේ අතිශයින්ම සීතල නිරයකි. මේ නිරය හැම කාලයේම අඳුරේ තිබෙනවා. මේ නිරය පතුලේ අතිශයින්ම සීතල ජලය තිබෙනවා. මෙහි ඇති නිර සතුන් වවුලන් මෙන් පර්වතවල එල්ලීගෙන එහෙ මෙහෙ යනවා. තවත් සත්ත්වයෙක් සිටින බව දැනෙනවිට කෑමක් කියා සිතා අල්ලගන්න උත්සාහ කරනවිට ඒ සත්වයන් දෙදෙනාම පර්වතයෙන් ලිස්සා දියට වැටෙනවා. මෙහි වැටෙන සතුන් උණු තෙල් භාජනයකට දැමු පිටි බැදෙනවා වගේ ඔවුන්ගෙ ශරීර පුපුරා පුපුරා ශීතලෙන් බැදෙනවා. මේ ලෝකාන්තරික නිරය පවා එකම එක අවස්ථාවක පමණක් ආලෝකවත් වෙනවා. ඒ තමයි සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළවන සමයේය.

▬▬▬▬▬

යම රජ
මේ මහා නිරයන් පාලනය කරන්නා ‘යම’ නම් වේ. යම යනු ‘තීරණය කරන්නා’ යන අරුත් දේ. එක් මහා නිරයකට යම රජවරුන් සිව් දෙනා බැගින් මහා නිරය අටට යම රජවරු තිස් දෙදෙනෙක් සිටිති. ඔවුහු එම නිරයන්හි සිව් දිග දොරටු පාලනය කරති. මේ යම රජවරුන් හැර ‘නිරය පාල’ නමින් හැඳින්වෙන විශාල පිරිසක් ද මෙහි සිටිති. යම රජවරුන්ගේ ප්‍රධාන රාජකාරිය වන්නේ අපාගත සත්ත්වයන්ට දිය යුතු දඬුවම් තීරණය කොට, ඒවා ක්‍රියාත්මක කිරීමට අණදීම යි. නිරයපාලයන්ගේ රාජකාරිය වන්නේ හැම නිරයක ම උපන් පුද්ගලයන්ට නියම කළ දඬුවම් පැමිණවීම යි.

බොහෝ බෞද්ධයෝ පවා මෙබඳු කතා හුදු ප්‍රබන්ධ ලෙස සලකති. රාජ්‍ය පාලනයේ පහසුව සඳහා පුද්ගලයා දුසිරිතෙන් ඈත් කොට තැබීමට නිර්මාණය කරන ලද සංකල්පයක් ලෙස ඔවුහු අපාය හඳුන්වති. එසේ ම මෙම කතා සත්‍ය නම් වඩාත් ම දරුණු දුක විඳින්නේ නිරයට පැමිණෙන අප්‍රමාණ සත්ත්වයන්ට දඬුවම් පමුණුවමින්, නිරයේ ම කල් ගෙවන යම රජු නො වේ දැ යි ඔවුහු ප්‍රශ්න කරති. එහෙත් යම රජවරු ද, නිරයපාලයෝ ද සැබැවින් ම අපාගත පුද්ගලයෝ නො වෙති. ඔවුහු චාතුම්මහාරාජික දිව්‍යලෝකයට අයත් වූවෝ වෙති. ඔවුන් හැඳින්වෙන්නේ ‘වේමානික පේතා’ යන නමිනි. ඔවුහු තමන් පෙර ආත්මභාවවල කළ යහපත් කර්මයන්ගේ විපාක වශයෙන් දිව්‍ය සම්පත් අනුභව කරති. එසේ ම තමන් විසින් පෙර ආත්මභාවවල කරන ලද ඇතැම් පාපකර්මයන්ගේ විපාක ඔවුහු වශයෙන් නිරයෙහි රාජකාරි ඉටු කිරීම සඳහා යවනු ලබති.

නිරයෙහි අධිපති හෙවත් පාලක තනතුර දරනුයේ පෙර ද කී සේ යම රජු ය. නරකාදිය, අපාය ආදි නම්වලින් නිරය හඳුන්වන්නා සේ ම යම රජු ද විවිධ අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලැබේ. අපක්‍ෂපාත විනිශ්චයකරුවා යන අර්ථයෙන් ‘සමවෘත්ති’ යන නාමය ද, පින් පව් දෙක බේරුම් කරන්නා යන අර්ථයෙන් ‘සමථ’ යන

නාමය ද, දිවි කෙළවර කරන්නා යන අර්ථයෙන් ‘කෘතාන්ත’ යන නාමය ද, මුගුරක් දරන්නා යන අර්ථයෙන් ‘ධන්සි’ යන නාමය ද, නියමිත කාලයට පැමිණෙන්නා යන අර්ථයෙන් ‘කාල’ යන නාමය ද යම රජු වෙනුවෙන් ව්‍යවහාර කැරෙන බව පොතපතෙහි සඳහන් වේ.

යම රජුගේ මුහුණ පෙනුමෙන් බියකරු ය.

මුළු ශරීරය ම තද කොළ පැහැයෙන් යුක්ත ය. එක් අතකින් මල පුඬුවක් සහිත රැහැනක් ද, අනෙක් අතින් මුගුරක් ද දරයි. නිරතුරු ව ම රතු පැහැති වස්ත්‍රයකින් සැරසී සිටී. යම රජුගේ වාහනය මී ගවයෙකි. යම රජුගේ වාසභවන ‘කාලිච්’ නමින් හැඳින්වේ. ඔහු අසුන් ගෙන සිටින ආසනය ‘විචාරභ’ නම් වේ.

Tuesday, March 12, 2019

"සට්‌ඨිස්‌සර" නමින් පසේබුදු වන්නේ කවරෙක්‌ද?

"සට්‌ඨිස්‌සර" නමින් පසේබුදු වන්නේ කවරෙක්‌ද?

සැරියුත් මහරහතන් වහන්සේ බොහෝ ආත්මභාවයන්හි බෝධි සත්වයන්
වහන්සේගේ පියාද වූවාසේම බෝධිසත්වයෝද බොහෝ ආත්මභාවයන්හි සැරියුත් හිමියන්ගේ පියා විය. මිලින්ද ප්‍රශ්නයෙහි නාගසේන හිමියන් මිළිඳු රඡ්ජුරුවන්ට "කුශලාකුසලකාරී විශේෂ ප්‍රශ්නය" පිළිබඳ පැහැදිලි කරද්දී මේ සංසාරයේදී බොහෝ සත්වයෝ තමන් හට ප්‍රියවූවන් සමග මෙන්ම අප්‍රිය වූවන් සමග ද එක්‌වන බව ප්‍රකාශ කළහ. බුදුරජාණන් වහන්සේට සිය බෑණනුවන් වූ දෙව්දතුන්ගෙන් ලැබුණේ ගරු සැලකිලි නම් නොවේ. සැමවිටම බුදුන්ට සතුරු වූයේ දෙව්දතුන්ය. මේ වෛරය ආරම්භ වන්නේ බොහෝ කල්ප ගණනකට පෙරදීය. එම වෛරය ආරම්භ වන ආකාරය සේරිවාණිජ ජාතකයේ මැනවින් විස්‌තර කර ඇත. දඹදිව සේරීව නමැති ප්‍රදේශයේ උපත ලබා ගෙයින් ගෙට ගොස්‌ වෙළෙ¹ම් කරන මණිබඩු වෙළෙන්දා "කච්ඡපුට" විය. ඒ බෝධිසත්වයන් වහන්සේය. සේරිවාණිජ ලෙස උපත ලැබුවේ දෙව්දතුන්ය. බෝසත් කච්ඡපුට වෙළෙන්දා රන්තලිය මිලදී ගැනීමේ වෛරය නිසා සේරිවාණිජ පපුවේ අත් ගසමින් මහත් වෛරයෙන් යුතුව ගංතෙර අසලදී හෘදයාබාධයකින් මරණයට පත්විය. සේරිවාණිජ ආත්මයේ සිට දෙව්දත් ආත්මය දක්‌වාම අඛණ්‌ඩව පැවත ආවේ මේ වෛරයයි. මේ වෛරය ගැන බුදුන් මෙසේ පවසා ඇත.

අද පමණක්‌ නොව පෙර ආත්මභාවයන්හිදී ද දේවදත්ත මට හිංසා කළ අවස්‌ථා බොහෝය. ඒ සෑම හිංසාකාරී ක්‍රියාවක්‌ම මම මහණෙනි මගේ වාසියට හරවා ගතිමි. ඉහත කී පරිදි බුදු බවට පත්වීමට ප්‍රධාන වශයෙන්ම උපකාරී වූයේ කරුණාවත් මෛත්‍රියත් සීලයත් පරිත්‍යාගයත් සත්‍යවාදී බවත් අධිෂ්ඨානයත් මුල්කරගෙන මවිසින් ගන්නා ලද අතිශයින් සාර්ථක ගුණාත්මක ක්‍රියාවලිය නිසාමය. එය මගේ පමණක්‌ නොව මහබෝසත්වරුන්ගේ ආවේණික චාරිත්‍ර ධර්මයක්‌ බව සැලකිය යුතුය."

කෙසේ නමුත් මේ දෙව්දතුන් ඉහත ආත්මභාවයන්හිදී බෝධිසත්වයන් වහන්සේගේ පියාද විය. බෝධිසත්වයෝ තිරිසන් ආත්ම ලබද්දී දෙව්දත්හු මනුෂ්‍ය ආත්ම ලැබූහ. එක්‌ කලෙක දේවදත්තයෝ බරණැස්‌නුවර බ්‍රහ්මදත්ත රජුගේ පුරෝහිතගේ පුත් ලෙස ඉපිද සිටියදී බෝධිසත්වයෝ ජටක නම් චන්ඩාලයෙක්‌ විය. මගධ රාජ්‍යයේ මහා මහීපති නම් රජ ලෙස දෙව්දතුන් ආත්මභාවය ලබද්දී බෝධි සත්වයෝ එම රජුගේ ඇත්ගාලෙහි ඇත් රජු ලෙස උපන්නේය. අතීතයේ සිට පැවත එන වෛරය මෙතැනදී ද නැවතත් උත්සන්න විය. මහා මහීපති රජුට මේ ඇත් රජු අප්‍රසන්න විය. ඇතා වදදී මරා දැමිය යුතු යෑයි රජුට සිත් විය. වේපුල්ල පර්වතයෙන් පහළට දමා මේ ඇත් රජු මරා දැමීමට රජ කුමන්ත්‍රණ කළ ද අවසානයේ මේ බෝධිසත්ව ඇත් රජු වේපුල්ල පර්වතයෙන් පැන ඉද්ධියෙන් බරණැස්‌ නුවරට ගිය බව මිළින්ද ප්‍රශ්නයෙහි සඳහන් වේ. එක්‌ කලෙක දේවදත්තයෝ බරණැස කලාබූ රජ ලෙස ආත්මභාවය ලබද්දී බෝසතාණෝ අසූකෝටියක්‌ ධනය ඇති බ්‍රාහ්මණ කුලයක ඉපිද සියලු සැප අතහැර තපස්‌ රැකීම සඳහා වනයට වැඩියහ. කාලයක්‌ ගතවූ පසු ලුණු ඇඹුල් සොයනු පිණිස බරණැස්‌ පුරවරයට පැමිණ රජුගේ සේනාපතිගේ ඇප උපස්‌ථාන ලබමින් රජ උයනේ වැඩ සිටියහ. තම උයනේ සිටින තාපසයා දැක රජු උරණ විය. රජු ප්‍රශ්න විමසූ කල තමා ක්‍ෂාන්තිවාදී යෑයි පැවසූ විට තවත් උරණ වූ කලාබුQ රජ නුඹේ ක්‍ෂාන්තිවාදිත්වය මැන බලමි යෑයි පවසා වධකයා ගෙන්වා මේ බෝසත් තාපසයාට කටු මිටියෙන් පහර දෙදහසක්‌ ගැස්‌සවීය. මේ පහර නිසා බෝසතුන්ගේ ශරීරයෙන් ලේ ගලන්නට විය. එවිටද තමා ක්‍ෂාන්තිවාදී බව බෝධිසත්වයෝ පැවසූහ. පසුව මේ රජුගේ අණ පරිදි අත් දෙකද කකුල් දෙක ද සිඳින ලදී. එහෙත් තාපසයා වෙනස්‌ වූයේ නැත. පසුව කන් දෙකද කපා දමන ලදී. එයින් පසු කලාබූ රජු "කූට ජටිලය තෝ කුමනවාදී දැයි ඇසීය. එවිට තාපසයෝ මහරජාණෙනි මම ක්‍ෂාන්තිවාදී යෑයි කීහ. එවිට තවත් කෝප වූ රජ "කූට ජටිලය තාගේ ක්‍ෂාන්තිය තෝම නසාගනුවයි" කියා විලුඹින් බෝධිසත්වයන්ගේ පපුවට ඇන පලා ගියේය. ටික වේලාවකට පසු මේ තාපසයා මරණයට පත්විය. තවත් කලෙක දේවදත්තයෝ බරණස බ්‍රහ්මදත්ත රජු ලෙස කටයුතු කරන කල්හි ඒ රජ හට පුත්‍රව බෝසත්වයෝ මනුෂ්‍ය ආත්මභාවයක්‌ ලබාගත්හ. මේ පුත්කුමරු "මහාපදුම" නම් විය. මේ කුමරා ඉතා රූමත් තරුණයකු විය. මේ කුමරාගේ මව කුඩා කලදීම මිය යැම නිසා බ්‍රහ්මදත්ත රඡ්ජුරුවෝ තරුණ බිසවක්‌ විවාහ කරගත්හ. රජු ඈත ප්‍රදේශයක යුද්ධයක්‌ මෙහෙයවන්නට ගිය කල්හි මේ තරුණ බිසව පදුව කුමාරයාගේ රූපයට වශීවී ඔහු වරදට පෙළඹවීමට වෑයම් කළාය. බිසවගේ මේ ආරාධනයට එකඟ නොවූ බෝසතාණෝ ඇයට වැඳ තමා වරදෙහි බැඳීමට අකැමැති බව ප්‍රකාශ කළේය. මේ ගැන උරණ වූ බිසව රජු නැවත පැමිණ කල මේ පදුම කුමාරයා තමන් වරදේ බැඳගැනීමට උත්සාහ කළ බව පැවසුවාය. මේ පුවත අසා දැඩි කෝපයටපත් රජු, කුමරා මරා දැමීමට අණ කළේය. රන් මල් මාලා දමා මේ කුමරා මහ මඟ දිගේ ගෙන යමින් පහර දෙන විට නගර වැසියෝ බොහෝ කම්පාවූහ. අන්තඃපුරයේ සිටින බිසෝවරුද හඬමින් මේ කුමරා කළ වරදක්‌ නැතැයි පැවසූහ. මේ නිසා රජු නැවත පදුම කුමරා ගෙන්වා ප්‍රශ්න කළේය. එවිට පදුම කුමාරයා "පියාණන් වහන්සේ මා අන්තඃපුරයේ කළ වරදක්‌ නැහැ. මහා මායාකාරි වූ ස්‌ත්‍රීන්ගේ වචනයෙන් නිරපරාධවූ මාගේ දිවි නොනසන්නැයි කියමින් කඳුළු සැලුවද රඡ්ජුරුවන්ගේ හිත වෙනස්‌ වූයේ නැත. "මොහු ගෙනගොස්‌ සොරුන් දමන මහ පර්වතයෙන් පහළට දමන්නැයි රාජපුරුෂයන්ට නියෝග කෙරිණි. චෝර ප්‍රපාත නම් මහ ගලෙන් පදුම කුමාරයා පහළට දමද්දී ඒ පර්වතය අධිගෘහිත වූ දේවතාවා පැමිණ දෑතින්ම මේ කුමරු වඩාගෙන ගොස්‌ පර්වත පාමුල පිහිටා ඇති නාගභවනට ගෙන ගිය බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. මහා ප්‍රතාප රජු ලෙස දේවදත්තයෝ ආත්මභාවය ලබද්දී බෝධිසත්වයෝ මේ රජුගේ පුත් කුමරු ලෙස මෙලොව එළිය දුටහ. ප්‍රතාප රජු තමාගේ පුත් වූ ධර්මපාල කුමාරයාගේ අත් පා සිඳලූ බව සඳහන් වේ.

බෝධිසත්වයන් වහන්සේගේ සෑම ආත්ම භවයකදීම දෙව්දතුන් හමු වූයේ නැත. ආත්මභාව දෙතුන් සියයකට වතාවක්‌ හෝ දහස්‌ ගණනකට වතාවක්‌ දෙව්දතුන් හමුවන්නට ඇත. හමු වූයේ කලාතුරකින් වුවද හමු වූ විට බෝසතුන්ගෙන් පලිගත් බව පැහැදිලිය. අවසානයේ ඡේතවනාරාමය අසලදී දෙව්දතුන් අපාගත විය. ඒ ගැන සැවොම කතාකරන්නට විය. දම්සභා මණ්‌ඩපයේදී මේ ගැන කතාබහට ලක්‌විය. එහිදී බුදුන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ. "මහණෙනි දේවදත්ත මා විසින් කලින් ප්‍රකාශ කළාක්‌ මෙන් මෙවැනි බද්ධ වෛරයක්‌ ඇති කරගෙන පාපකාරී ක්‍රියාවන්හි යෙදුනේ බුදුරජුන් සමගයි. එනම් මා නිසාය. එහෙත් ඔහු රටේ අනෙක්‌ අයට විපත්ති කර නැත. එසේම අවසන් මොහොතෙහි පොලව පැලී අපාගතවෙද්දී "පාණෙහි බුද්ධං සරණ උපේමි" යනුවෙන් බුදුන් සරණ යන්න මැයි කියා මරණයට පත් විය. මේ දේවදත්ත කල්ප ගණනාවක්‌ අපාගතව සිට ඉන් මිදී මිනිස්‌ ආත්ම ලබා තව බොහෝ කාලයකට පසු "සට්‌ඨිස්‌සර" නමින් පසේ බුදු බවට පත්වී නිවන් දකින්නේය යනුවෙන් වදාළහ. කෙසේ නමුත් දෙව්දතුන්ගේ බොහෝ වැරැදි ක්‍රියා නිසාම බුදුන්ගේ උදාර ගුණ ඉස්‌මතුවිය. එම නිසා බුදුගුණ වඩ වඩාත් බැබලෙන්නට වූ බව සටහන් කළ යුතුමය.

Saturday, March 2, 2019

ඨපනීය ප්‍රශ්නය

==ඨපනීය ප්‍රශ්නය==



සර්වඥ වූ ලොව්තුරා බුදුන් වහන්සේ නමක් යනු, කිසිදු ආකාරයකින් ආචාර්‍යමුෂ්ටි නොහොත් ගුරුමුෂ්ටි තබා යමක් දේශනා කරන හෝ නොකරන ශාස්තෲවරයෙක් නොවේ.

එහෙත්, ලෝකයේ මතුවන එක්තරා ප්‍රශ්න විශේෂයක්, ලොව්තුරා සර්වඥයන් වහන්සේලා විසින් ද පිළිතුරු නොලබන්නේය.

බුදුන් වහන්සේලාට යොමුවන ප්‍රශ්න වර්ග 4ක් ඇත.

1) එකංසව්‍යාකරණීය ප්‍රශ්නය
2) විභජ්ජව්‍යාකරණීය ප්‍රශ්නය
3) පටිපුච්ඡාව්‍යාකරණීය ප්‍රශ්නය
4) ඨපනීය ප්‍රශ්නය

සිංහලාර්ථයෙන් ගත් කළ,

1. ඇසූවිට එකවර පිළිතුරු දෙන ප්‍රශ්න
2. ප්‍රශ්නයක් ඇසූවිට බුදුන්වහන්සේ ද ප්‍රශ්නයක්  නඟා පිළිතුරු දීම.
3. ප්‍රශ්නයකට විග්රහකොට පිළිතුරුදීම.
4. පිළිතුරු නොදී අතහරින ප්‍රශ්න

මෙහි ඨපනීය ප්‍රශ්න යනු බුදුන් වහන්සේ ඍජු පිළිතුරු නොදෙන ප්‍රශ්නය.

මේ ඨපනීය ප්‍රශ්න යනු මොනවාදැයි සොයා බැලීමේදී විවිධ ලේඛන වල විවිධාකාරයෙන් දක්වා ඇති මුත්, මෙහිදී මිලින්ද ප්‍රශ්නයෙහි සඳහන් නාගසේන මහරහතන් වහන්සේ විසින් වදාළ "ඨපනීය ප්‍රශ්න" මින් මතු සඳහන් කිරීමට කැමැත්තෙමි.

1) "ලෝකය නිත්‍යද?" යි කියා ශාස්වත දෘෂ්ටි වශයෙන් විචාරීම

2) "ලෝකය තෙම අනිත්‍යය, මරණින් මතු නැත ද" කියා උච්ඡේද දෘෂ්ටි වශයෙන් විචාරීම

3) කසිණාලෝකයෙන් චක්‍රාවාටය(අප මන්දාකිණිය?) පර්‍යන්ත කොට දැක "ලෝකය *අන්තය" යි කියා ගන්නා වූ අන්තවාදදෘෂ්ටි වශයෙන් ප්‍රශ්න විචාරීම

4) කසිණාලෝකයෙන් චක්‍රාවාටය පර්‍යන්ත කොට බොහෝ සක්වළවල් දැක "ලෝකය *අනන්තය" යි කියා ගන්නාවූ අනන්තවාදදෘෂ්ටි වශයෙන් ප්‍රශ්න විචාරීම

5) "මේ ලෝකය උඩින් යටින් කෙළවර ඇත. සරස අනන්ත ය" යි කියා දැක ගන්නාවූ අන්තානන්තවාද දෘෂ්ටි වශයෙන් ප්‍රශ්න විචාරීම

6) "මේ සත්ත්ව ලෝකය නොම *අන්තය. *අනන්තත් නොවේ" කියා විතර්ක සිතීමෙන් වැටහුණු පමණකට ගන්නාවූ නෙවන්තනානන්තවාද දෘෂ්ටි වශයෙන් ගෙන ප්‍රශ්න විචාරීම

7) "තං ජීවං තං සරීරං" යනුවෙන් "ඒ ජීවිතයම ඒ ශරීරය" යි කියා උච්ඡේදදෘෂ්ටි වාදයෙන් ප්‍රශ්න විචාරීම.

8) "අඤ්ඤං ජීවං අඤ්ඤ්ං සරීරං" යනුවෙන් "ජීවිතය අනිකෙකය. ශරීරය අනිකකැ" යි කියා ශාස්වතවාදයෙන් ප්‍රශ්න විචාරීම

9) "සත්ත්වතෙම මරණින් මත්තෙහි නොවන්නේය" යි කියා ද "නොවන්නේ නොවෙ" යි කියා ද(මරණින් මතු ඇත හෝ නැත යන දෙකම) මෙසේ අමරාවික්ෂෙපිකදෘෂ්ටි වශයෙන් ප්‍රශ්න විචාරීම

(මෙහි 7) යනු හේතුවාදී/මානවවාදී/භෞතිකවාදී බහුතරය නූතනයේ එල්බගෙන සිටින "මොළය නම් මනස වේ" යැයි ගන්නාවූ දෘෂ්ටියම මිස අනෙකක් නොවේ යන්න මාගේ හැඟීමය)

මෙම ප්‍රශ්න ආකාර 9 ට බුදුන් වහන්සේ නමක් ඍජු පිළිතුරු නොදෙයි.

බුදුන් වහන්සේ සත්ත්වයාට දේශනා කළ කොටසේ හා උන්වහන්සේ අවබෝධ කළ කළ කොටසේ ප්‍රමාණයන් සංසන්දනාත්මකව උන්වහන්සේ උපමා මඟින් ද දක්වා ඇත.
එය එසේ වූයේ ගුරුමුෂ්ටි නිසා නොව, සර්වඥානයන්ට පමණක් වටහාගත හැකි හා ඨපනීය වූ දැනුම ද උන්වහන්සේගේ අවබෝධ පරාසයේ පවතින බැවිනි.

ශාස්වත , උච්ඡේද වාදයන් නම්, උපතිස්ස(සැරියුත් මහ තෙරුන් ගිහි කළ) පිරිවැජිතෙම අස්සජී මහරහතන් වහන්සේගේන් ද විමසූ කළ ඍජු පිළිතුරු නොදුන් ප්‍රශ්න බව ඔබ දන්නවා ඇති.

ඨපනීය ප්‍රශ්නයන්ට බුදුන් වහන්සේලා පිළිතුරු නොදෙන්නේ මන්ද යන්න, නාගසේන මහරහතන් වහන්සේගේ වදනින්ම සඳහන් කර ලිපිය නිමා කරමි

"ප්‍රශ්නයතෙම කවර කාරණයකින් ඨපනීය විද? යත්- ඒ ප්‍රශ්නයාගේ දැක්වීමෙන් සසර දුක් නසන නිවන් පිණිස හේතුයෙක් හෝ කාරණයෙක් හෝ නොම ඇත්තේය. එහෙයින් ඒ ප්‍රශ්නය ඨපනීය වී ය. භාග්‍යවත් වූ අනන්ත බුදුවරයන් වහන්සේලාගේ අකාරණ වූ අහේතුක වූ වචන කිමෙක් නැත"
-නාගසේන රහතන් වහන්සේ


Tuesday, February 26, 2019

දෙව්දත් තෙර

*දෙව්දත් තෙර*

දෙව්දත් තෙර නව මසක් ගිලන්ව වැස
කෝකාලිකයා ළයට දුන් වැලමිටි පහරෙන් මරණය ළං වූ බව දැක පශ්චිම කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දක්නට යනු කැමැත්තේ තමා එහි ගෙන යන්නැයි සිය සව්වනට දැන්වීය. "ඔබ ශක්තිමත් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේට සතුරු කම් කොට දැන් දුබල වූ විට උන්වහන්සේ දක්නට යනු කැමැත්තෝය. අපි ඔබ එහි ගෙන නොයන්නම්" යි ඔවුහු කීහ. එවිට දෙව්දත් තෙම තමා උන්වහන්සේ කෙරෙහි වෛරී ව සිටියත් උන්වහන්සේ තුළ නම් කෙසඟක් පමණක් තමා කෙරෙහි අමනාපයක් නැතැයි කියා, තමා එහි බුදුරජාණන් වහන්සේ වෙත පමුණුවන ලෙස නැවත නැවත ඉල්ලිය. ඔහුගේ බලවත් ඉල්ලීම නිසා ඔහු ද දෙව්දත් තෙරහු ඇඳකින් ගෙන පිටත් වූහ. එසේ යන්නාහු සැවැත් පුර පැමිණියාහු ජේතවන පොකුණ සමීපයට වන්හ.

ඔහු එහි පොකුණු තෙර ඇඳ තබා නාන්නට දියට බටහ. දෙව්දත් තෙර ද ඇඳෙන් නැගිට දෙපා බිම තබා හුන්නේය. එකෙණෙහිම පොළොව පැළී ක්‍රමයෙන් දෙව්දත් එහි ගිලුණේය.
බෙල්ල දක්වා ගිලී හනු ඇටය පොළොව සැපී සිටි කල්හි,
"මේ හනුකාස්ථීන් නිමිති කොටගෙන නොහොත් මේ කරුණු කොට, අග්‍ර පුද්ගල වූ දෙවියන්ට අධිදේව වූ, පුරුෂදම්‍ය සාරථී වූ සමතැස් ඇති සිය පින් ලකුණු ඇති ඒ සර්වඥයන් වහන්සේ දිවිහිමියෙන් සරණ ගියෙම් වෙම්"
කියා බුදුන් සරණ ගියේ ය. හෙතෙම පොළෝහි ගිලී මැරී අවීචි නිරයෙහි උපන්නේය.

දෙව්දත් තෙරුන් පොළොවෙහි ගිලුණු බව භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. මේ කාරණය ඇරැබ එයින් පෙරත් දෙව්දත් තමන් වහන්සේට ද්‍රෝහි ව පොළොවේ ගිලුණු බව දැක්වීම් වශයෙන් ඡද්දන්ත ජාතකය ද ඒ ගැන කතා ඇති වූ තවත් අවස්ථාවලදී ක්ෂාන්තිවාදී ජාතකය හා චුල්ල ධම්මපාල ජාතකය ද දෙව්දතුන්ගේ මරණින් බොහෝ නුවර වැස්සන් සතුටුවන බව භික්ෂූන් දැන්වූ විට, පෙරත් ඔහු මළ කල මහජනයා සතුටු වූ බව දක්වමින් පිංගල ජාතකය ද වඳාළ සේක.
"දෙව්දත් තෙර කොහේ උපන්නේ දැයි?" භික්ෂුහු ඇසූහ.අවීචි නිරයේ උපන් බව වඳාරා
"පව් කරන්නා මෙලොවත් තැවෙයි. පරලොවද තැවේ. මා විසින් පව් කරන ලදැ යි සිත සිතා මෙලොවදී තැවේ. දුගතියට ගොස් දුක් විපාක විඳිමින් බොහෝ සෙයින් තැවෙයි" යැයි වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ දෙව්දතුද ඇරැබ ඒ අවස්ථාවකදී ,

"දෙව්දත් මෙසේ අපරාධකාරයකු වූවත් පෙර බොහෝ කල් පෙරුම් පිරුවෙකි යි ද, නිරයෙන් මිදී අවුත් පින් දහම් පුරා මතු කලෙක සට්ඨිස්සර නම් පසේ බුදු වන්නේ " යැ යි වදාළ සේක.

~~~ බුද්ධ චරිතය~~~
අති පූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නාහිමිපාණන් විසින් රචිතයි.~~~

පෘථිවියෙන් එපිට වෙනත් ග්‍රහලෝකයක පහල වූ අභය බුදුන්වහන්සේ

"පෘථිවියෙන් එපිට වෙනත් ග්‍රහලෝකයක පහල වූ අභය බුදුන්වහන්සේ'

(”ස්වාමීනී වැටහේ. . මේ කසළ ශෝධකගේ දානයට අසදෘෂ දාන සියයක් වත් සම කළ නොහැක. එහි ආනිශංස ගැන දැනගැනීමට කැමැත්තෙමි")
සහා ලෝක ධාතුවට ආලෝක වර්ෂ ශත සහස්‍ර ගණනකට එපිටින් පිහිටි ලෝක ධාතුවක අප පෘථිවියට බොහෝ දුරට සමාන වූ ජිව්හා නම් ග්‍රහයකු විය. මධ්‍යකාලීන යුගයක් පැවති සමයෙක ශ්වේතකේතු නම් චක්‍රවර්ති රජවරයකු දසරාජ ධර්මයෙන් ජනයාට සංග්‍රහ කරන කාලයක එහි අභය නම් බුදුවරයකු පහළ විය.
උන් වහන්සේ හා ශ්‍රාවක සංඝයා වෙනුවෙන් රජු විසින් අගනුවරට එපිටින් ආරාම, සන්ථාගාර, ගිලන්හල්, ධර්මශාලා හා උපාසක උපාසිකාවන්ට විශ්‍රාමශාලා වලින් යුතු ආරාමයක් පූජා කර තිබුණි. මෙම ආරාමයේ පිවිසුම සම්බන්ධවූයේ නගරයේ ප්‍රධාන මාර්ගයටයි.
එක් දිනක උදෑසන බුදුන් වහන්සේ අග්‍ර උපස්ථායක වූ සාවිත්‍ර තෙරුන් සමඟ ආරාමයෙන් පිටතට පිඬු සිඟා යාම පිණිස නගරයට දෙසට වඩින්නට විය. මාර්ගය දෙපස තිබූ වාධූර්ය ගස් වලින් ගිනි රතු පැහැ පත්‍ර මාර්ගය පුරා වැටී තිබුණි. එම ගස් වල දැඩි සුලඟකට වුවත් නොවැටෙන වසන්තයට පමණක් පිපෙන තද කොළ පැහැ අති සුගන්ධවත් වාධූර්ය මල් වැනෙන්නට විය. දූවිලි හා පත්‍ර අවුස්සමින් විටින් විට මඳ සුලඟක් හමායන්නට විය. ගස් පෙළ අවසන් වූයේ නගරයේ එකිනෙකට යාබදව සාදා තිබූ නිවෙස් පේළිය සමඟය.
නගරය ඉසිළුවේ දැඩි පාළු සහගත ස්වභාවයකි. මාර්ගය ජනශූන්‍ය වූ අතර දක්නට ලැබුණේ අයාලේ ගිය සුනඛ රංචුවක් පමණි.
මේ අතර ඈතින් රුවක් ඇදෙන්නට විය. රුව ළංවත්ම සාවිත්‍ර තෙරුන් ඔහුව පහසුවෙන් හැඳුනා ගත්හ. දුර්වර්ණ වූ දිගු ඇඳුමකින් සිරුරම වසා ගත්, තවත් රෙද්දකින් ඇස් පමණක් නිරාවරණය වන සේ මුහුණ ආවරණය කරගත් පැමිණිමෙන් සිටියේ එම පෙදෙසේ නිවෙස් වල කසළ බැහැර කරන්නෙකු වූ ශෝධකයෙකි.
එක් කකුලක් අද්දමින් දූවිලි මඳක් අවුස්සමින් පැමිණි ඔහු තමන් කරා මුහුණට මුහුණ ලා එලැඹෙන බුදුන් වහන්සේ හා සාවිත්‍ර තෙරුන් දුටුවේ, හොඳටම ළං වූ පසු බිමට පාත් කළ හිස ඔසවා බැලීමේදීයි. ඔහුගේ දෑස් මහත්ව වික්ෂිපත් වී උන් වහන්සේලා මඟ හැරීමට නොහැකිවීම ගැන පසුතැවිල්ලෙන් මාර්ගයෙන් පසෙකට වී බිම බලාගෙන හුන්නේය.
බුදුන් වහන්සේ ඔහු පසුකරයාමට ගියා පමණි:ඒ පුද්ගලයා ඇසිල්ලකින් උන්වහන්සේ කරා එලැඹ සිය ඔලොගුවෙන් ගත් දෙයක් බුදුන් වහන්සේගේ පාත්‍රයට දමා හිස නවාගෙනම වැඳීමක් වත් නොකරම වේගයෙන් කකුල අද්දමින් එතැනින් නික්ම ගියේය.
බුදුන් වහන්සේ මඳකට නැවතුණු සේක. උන්වහන්සේගේ මුහුණේ ආශ්චර්යවත් මඳහසක් මතුවන්නට විය. සාමාන්‍ය මිනිසුන් මෙන් බුදුවරු අකාරණයේ සිනා පහළ නොකරන වග දත් සාවිත්‍ර තෙරුන් වහන්සේ ඊට හේතුව විමසා සිටිහය.
”සාවිත්‍රය තොප දන්න පරිදි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මහත්ඵල මහානිශංස ලැබෙන දානමය පුණ්‍යකර්මය කළේ කවරෙක්ද?”
සාවිත්‍ර තෙරුන් මෙසේ පිළිවදන් දුණි.
”භාග්‍යවතුන් වහන්ස. . ශ්වේතකේතු රජු දුන් අසදෘෂ දානය මහත්ඵල මහානිශංස ලෙස දකිමි. . ”
බුදුන් වහන්සේ පාත්‍රයට අතදමා ශෝධක විසින් පූජා කළ වියළි ශාක පත්‍රයකින් ඔතා පිටි හා පැණි මිශ්‍ර කර සෑදූ කැවිල්ල ශ්‍රී හස්තයට ගත්හ. ඉක්බිති සාවිත්‍ර තෙරුන් ඇමතූහ.
”සාවිත්‍රය තොප මේ දානය ගැන කුමක් කියන්නේද??”
සාවිත්‍ර තෙරුන් මඳක් විපිළසර වී බුදුවරු විසුළු නොකරන වග දන්නා බැවින් මෙසේ පිළිවදන් දුන්හ.
”එය අසදෘෂ දානය හා සංසන්දනය කළ නොහැක භාග්‍යවතුන් වහන්ස!. . ජල බිඳුවක් හා ගංගාවක් මම කෙසේ සංසන්දනය කරම්ද?”
ඉන්පසු බුදුන් වහන්සේ මේ පැනය විචාලහ. .
”සාවිත්‍රය . . අසදෘශ දානය අනෙක් සියළුම දාන ඉක්මවා මහත්ඵල මහානිශංස වන්නේ කෙසේද??”
සාවිත්‍ර තෙරුන් දීර්ඝ පිළිතුර ඇරඹූහ. .
”ස්වාමීනී. . ඔබ වහන්සේ වෙනුවෙන් පෙරමන් ආවේ චක්‍රවර්ති රජුය, ඔබ වහන්සේව ඔහු පාසෝදා පිළිගත්හ, ප්‍රධාන රහතන් වහන්සේලා අනික් රාජකීයයන් විසින්ද, අවශේෂ සංඝයා සෙනෙවිරත් වරුන්ගෙන් හා සෙබළුන් මඟින්ද එසේ පිළිගන්නා ලදී. . අප වෙනුවෙන්ම භෝජනාගාර හා මණ්ඩප ඉදිකර තිබුණි. ලොව හොඳම කැටයම් කරුවන් ඒවා අලන්කෘත කර තිබුණි. ඔබ වහන්සේ වෙනුවෙන් දියමන්තියෙන් සෑදූ අසුනක් පනවා තිබුණි, චිත්‍ර ශිල්පීන් භෝජනශාලා හ ධර්මශාලා තමන්ගේ විචිත්‍රභාවයෙන් නොඅඩුව පුරවා තිබුණි, එක් එක් භික්ෂුව වෙනුවෙන් එක් එක් මෙහෙකරුවකු සේවයේ යොදවා තිබුණි, අරක්කැමියන් සෑම ආකරයකටම අහාර වට්ටෝරු සාදා තිබුණි. දානය අවසානයේ ධර්මශාලාවට අප වැඩියේ ඇතුන් අල්ලා සිටි මුතුකුඩ සෙවණක් යටිනි. ධර්ම දේශනාවෙන් පසු ඉස්තරම්ම පිරිකර ඔවුන් පිළිගන්වන ලදී. රජු අවසානයේ ඔබ වහන්සේට වැඳ දෑස් වසා තම දානයේ ආනිශංස ලෙස යමක් පැතුවේය. . .
මේ කාරණා නිසා මම එය මහත්ඵල මහානිශංසයැයි කියමි. . ”
බුදුන් වහන්සේ මඳක් තූෂ්ණිම්භූතව හිඳ මෙසේ කියූහ. .
”සාවිත්‍රය ඊයේ ඇරඹුණු වසන්ත සැණකෙලිය සඳහා නුවරුන් මෙහින් නික්ම අගනුවර කරා ගොස් ඇත. උත්සවය කෙළවර වන්නේ අද සවසයි.
මේ පුද්ගලයා දිනපතා ආහාර සොයාගන්නේ කසළ එකතු කර බැහැර කිරීමට භාර ගන්න නිවෙස් වලිනි. දිනකට පෙර සවස් යාමයේ මොහු නිවෙසකට ගිය විට එහි සිටි කාරුණික ස්වාමිදුව නුවරුන් සියල්ලම වසන්ත උළෙලට යන බව දැන මොහුට ආහාර නිසි පරිදි නොලැබේයයි අනුකම්පාවෙන් මෙම කැවිලි සතරක් ඔහුට පරිත්‍යාග කළාය. මොහු වැඩ නොමැති බැවින් ඊයේ ප්‍රමාණවත් ආහාරයක් නොලැබ මෙම කැවිලි අරපිරිමැස්මෙන් අනුභව කරන ලදී. අද උදෑසන ඔහුට ඉතුරු වූයේ එක් කැවිල්ලක් පමණි. අපට පින්ඩපාතයේ යාමේදී මේ ජනශුන්‍ය දිනවල ඇතිවන අපහසුව දත් රජු විසින් මේ දින දෙකට එවන ලද ආහාර හා අරක්කැමියන් ගැන ඔහු කිසිවක් නොදැන සිටියේය. මමද මොහු කෙරේ කරුණාවෙන් කිසිවෙක් නැති මේ නගරයේ පිඬු සිඟා වැඩියෙමි.
මොහුහට මා දක්නට බලාපොරොත්තුවක් නොතිබුණි. වෙනදා මෙන් මිනිසුන් නැති නිසා මොහු ප්‍රධාන මාර්ගයේ ගමන් කළේය. මා දුටු විගස මොහු මඟහැරීමට අතුරු පාරක් සෙවීය. නැවත් නොහැරුණේ වේගයෙන් ඇවිදීමට නොහැකි බැවිනි. . මොහු දැකීමට ලැබීම බොහෝ මිනිසුන් අශුභ ලකුණක් සේ සලකති.
පෙර භවයක මොහු එක් සෙනෙවියෙක්ව අල්ලාගන්නා ගත් සතුරන් කැකෑරුණු තෙල් කටාරම් වල දමා සෙමෙන් ගිනි අවුලා ඔවුන්ගේ දුක් විඳීම මහත් ප්‍රීතියෙන් බලා සිටීමට ලොල් විය. මරණයෙන් පසු බොහෝ දුක් විඳි ඔහු මේ භවයේ උපන්නේ සිරුර පුරා කුෂ්ඨ දැමූ අනාථයකු ලෙසය. මිනිසුන් මොහු දැක කම්පනයකටත් දැඩි පිළිකුලකටත් පත්වූහ. මොහු මෙසේ සිරුරම ආවරණය කරන්නේ එම කුෂ්ඨ නොපෙනීමටයි.
ඉදින් මොහුට මා මඟහැරීමට අවකාශයක් නොතිබුණි. අයිනකට වූ ඔහු කල්පනා කළේ මේ පාළු නගරයේ කුමක් නිසා බුදුන් පිඬු සිඟා වඩියිද යන්නයි. මිනිසුන් නැති බැවින් බුදුන්ට පිණ්ඩපාතය නොලැබී නිරාහාර වන්නට වේ යැයි ඔහු තුල චිත්ත වික්ෂේපයක් හට ගැනුණි.
තමන් කුසගින්නේ සිට හෝ බුදුන්ට පිණ්ඩපාතය දීමට ඔහුට අවශ්‍ය විය. නමුත් ප්‍රධාන සෙනෙවිගේ පවුලට උපන් කුඩා කල සිට සැප සම්පත් ලද , දැන් රාජකීයයන්ගෙන් පවා බුහුමනට පාත්‍ර වන භාග්‍යවතුන් වහන්සේ තම රළු ආහාර පිළිගනීදැයි විපිළිසර වෙමින් සිටියේය. . මම ඔහුට ළන්වත්ම පාත්‍රයෙන් සිවුර මඳක් මෑත් කළෙමි. මම ඔහුගේ චිත්තය හඳුනාගත් බව දුටු ඔහු මා කෙරේ මහත් ස්නේහයෙන් හා කරුණාවෙන් මෙය පුදා ආනිශංසයක් ගැන නොසිතා වැඳීමක් වත් නොකරම යන්නට ගියේය. .
සාවිත්‍රය. . තොපෙන් මේ ප්‍රශ්න විචාරමි පිළිතුරු දෙනු. .
ශ්වේත කේතු රජ මේ දානයට කොපමණ මුදලක් වැය කළේද??”
”ස්වාමීනී, අසූ කෙළකි”
”සාවිත්‍රය ඒ ඔහුගේ සියළු වත්කමද?”
” නැත ස්වාමීනී. . එමෙන් දස ගුණයකටත් වඩා ඔහුගේ භාන්ඩාගාරය පොහොසත්ය”
”රජු මේ ධනය රැස් කරගත්තේ කෙසේද??”
”ස්වාමීනි. . එය ප්‍රවේණිගත ධනයකි. තව අයබදුද අය කෙරේ. ”
”රජු දානය වෙනුවෙන් කුමක් කළේද?ආහාර පිසුවේදම්?කැටයම් කැපුවේද?සැරසීම් කළේද? මණ්ඩප සෑදීමට ගත් කණුවක් එසවීමට්වත් උදවු වූවේද??”
”නැත ස්වාමීනී. . ඔහු එය මෙහෙයවූවා පමණි. . ”
”රජු දානය දුන්නේ මා කෙරේ හුදු භක්තිය නිසාද??”
”ස්වාමීනී. . ඔහු භක්තිමත් බව දනිමි. . එහෙත් ඔහු ආනිශංස බලාපොරොත්තු විය. ”
”සාවිත්‍රය සිහි එළවා ගනු. මේ මනුෂ්‍යයා අපහසුවෙන් වැඩ කර, තමන් කුස ගින්නේ ඉන්නට වන බව දැන දැන සන්තකයේ වූ සෑම දේ වන එම කැවිල්ල භාග්‍යවතුන් වහන්සේ කෙරේ ආදරයෙන් උන්වහන්සේ නිරාහාර වේ යැයි බියෙන් කිසි ආනිශංසයක් නොසිතා පූජා කළේය. . තොප කුමක් සිතයිද?”
සාවිත්‍ර තෙරුන් කාරණය වටහා ගත්හ. ඉන්පසු බිම බලාගෙන මෙසේ විචාලහ. .
”ස්වාමීනී වැටහේ. . මේ කසළ ශෝධකගේ දානයට අසදෘෂ දාන සියයක් වත් සම කළ නොහැක. එහි ආනිශංස ගැන දැනගැනීමට කැමැත්තෙමි. ”
බුදුන් වහන්සේ පිළිවදන් දුන්හ.
”සාවිත්‍රය, ආනිශංස පවා නොසලකා ආත්මාර්ථය හැර ඔහු කළ මේ දානයේ ඵල අධිකය. .
හෙට දින මොහු පියගැට පෙළකින් වැටී හිස කැඩී ක්ෂණයකින් මිය යන්නේය. එය වේදනා රහිත ශාන්ත මරණයක් වන්නේය. ඔහුගේ අයහපත් කර්මඵල එයින් අවසාන වන්නේය.
මළ විගස තවුතිසාවේ ඉපිදෙන්නේය. ශක්‍ර දේවේන්ද්‍ර වන්නේය. ඉන්පසු කල්ප අටසියයක් ශක්‍ර දේවේන්ද්‍ර ලෙසම චුත වෙමුන් ඕපපාතිකව පහළවන්නේය. .
කල්ප දහසක් මහේශාක්‍ය දෙවියකු වන්නේය.
සියදහස් වාරයක් සක්විති රජවන්නේය. ගණන් කළ නොහැකි තරම් වාරයක් ප්‍රදේශ රජ වන්නේය.
අවසානයේ රජ පවුලක ඉපිද නෛෂ්ක්‍රමණය කර සර්ව මිත්‍ර ලෙස ධර්මය නැති කාලයක පසේ බුදු වන්නේය. .
සාවිත්‍රය මේ ඔහුගේ කැවිලි පූජාවේ ආනිශංස වේ!”
මේ නියත විවරණය සමඟම මඳ සුලඟක් හැමුවේය. ගස් සෙමෙන් පැද්දෙන්නට විය. තුරු සෙවණේ ඇවිදිමින් සිටි ශෝධක වාධූර්ය මලින් නැහැවීගියේය.

Thursday, January 24, 2019

බොහෝම පෙර කාලයක මී පැණි විකුණන සහෝදර වෙළෙන්දන් තුන් දෙනෙක් විය. ඔවුන්ගෙන් එක් අයෙක් මී පැණි විකුණති. දෙදෙනෙක් වනයට ගොස් මී වද කඩා පැණි ගෙන එති. එක් පසේබුදු රජාණන් වහන්සේ නමක් ශරීරයේ වූ වණ රෝගයකින් පෙළෙමින් සිටියේය. ඒ පසේ බුදුරජාණන් වහන්සේහට ඖෂධ පිණිස තවත් පසේ බුදුරජාණන් වහන්සේ නමක් මී පැණි සොයා පිඬුසිඟා වැඩිසේක.
උන්වහන්සේ පිණ්ඩපාත චාරිකාවෙන් නගරයට වැඩි අතර, එවෙලෙහි එක්තරා දාසියක් දිය ගෙනඒමට පැන් තොටට යමින් සිටි අතර ඇය මුන්වහන්සේ දුටුවේය. ඇය උන්වහන්සේ වෙත එළඹ පසඟ පිහිටුවා වැඳ “ ස්වාමිනි මේ අවේලාවෙහි පිඬුසිඟා වඩින්නේ කුමන දේ අපේක්ෂාවෙන් දැයි?” විමසීය. උන්වහන්සේ මී පැණිවල අවශ්යතාව වදාළ අතර “ස්වාමිනි, අර තිබෙන්නේ මී පැණි වෙළෙඳ සැලකි. එතැනට වඩින මැනවයි” කියන්නීය.
පසේබුදුරජාණන් වහන්සේ ඒ වෙළෙඳ සැලට වැඩි විට වෙළෙන්දා උන්වහන්සේ කෙරෙහි සිත පහදවා ගෙන පාත්රයට මී පැණි පුරවද්දී ඒ පාත්රා කටින් පැණි උතුරා යනතෙක් මී පැණි පූජා කළේය. ඒ අවස්ථාවේදී පාත්රයෙහි පිරී ඇති මී පැණිත්, එය උතුරා බිමට වැටී ගිය මී පැණිත් දුටු ඒ වෙළෙන්දාට මහත් සතුටක් ඇතිවුණි. ඔහු ප්රාර්ථනා කරන්නේ, “මේ මී පැණි දානය හේතුවෙන් මට මේ දඹදිව තනි රජෙකු ලෙස පාලනය කරන්නට ලැබේවා! මාගේ ආඥාව ආකාසයෙහි යොදුනක් දුර පැතිරේවා! පොළොවෙත් යොදුනක් දුර පැතිරේවා! කියායි. අනෙක් දෙදෙනා මී වද කඩා මී පැණි ගෙන ආ අවස්ථාවේදී වෙළෙන්දා කියා සිටින්නේ “අද හිස මුඬුකළ කසාවත් පෙරවූ ශ්රමණයන් වහන්සේ නමක් වැඩියා නොවැ. උන්වහන්සේට මී පැණි වල අවශ්යතාවක් තිබු නිසා මම මී පැණි පූජා කර ගත්තා. ඔබත් මම වගේ ම මේ මී පැණිවලට අයිතිකාරයන් නිසා මේ දානය අනුමෝදන් වෙත්වායි” කීය.
ඔවුන්ගෙන් වැඩිමහලු සහෝදරයා ඒ ගැන සතුටු වූයේ නැත. “ඔබ කියන ඔය පුද්ගලයා සැඬොලෙක් ම වෙන්න ඇති. සැඬොල නොවැ හැමදාම කසාවත් පොරවාගෙන ඉන්නේ” කීය. අනෙක් සහෝදරයාද සතුටු වූයේ නැත. “ඔය කියන ඔබගේ පසේබුදුන් මුහුදින් එතෙරට දමන්නට ඕනෑයි” කීය. මී පැණි දානය පිළිගත්ත උත්තමයා ගැන නොසතුට වදන් පැවසුවත්, නැවතත් කරුණු වටහාගෙන දෙන ලද දානය කෙරෙහි මහත් සන්තෝෂයට පත්වී ඒ පින අනුමෝදන් විය.
වෙළෙදසැල පෙන්වූ දිය අදින දාසිය මෙසේ සිතීය. “අපගේ ආර්යයන් වහන්සේට පැණි ලැබුණේනම් යහපති. නො ලැබුණොත් ණයට හෝ රැගෙන මම පැණි පූජා කරමි” කියා බලාපොරොත්තුවෙන් සිටියේය. පසේබුදුරජුන් නැවත වඩිද්දී “ස්වාමිනි මී පැණි ලැබුණාදැයි? විමසීය. මී පැණි පූජාකොට ඔහු ප්රාර්ථනාවක්ද කළ බව වදාළේය. එවිට ඈ පැණි පූජා කළ වෙළෙන්දාගේ බිසව වීමටත්, තමන්ගේ අත්පා සන්ධි නොපෙනෙන අයුරින් අතිශය රූපවත්ව ඉපදෙන්නටත් ප්රාර්ථනා කරන්නීය. ඒ කාලයේ මී පැණි පිදු වෙළෙන්දා අශෝක රජුන් ලෙස ඉපදුනේය. අසන්ධිමිත්රා දේවිය ලෙස ඉපදුනේ එතැන සිටි දාසියයි. සැඬොලා කියා පසේබුදුරජුන්ට අගරු කළ වැඩිමහලු වෙළෙන්දා සැඬොල් ගමේ උපන් නිග්රෝධ කුමරු යි. මුහුදෙන් එතෙරට යවන්නට ඕනෑ කියු මද්දුමයා ලංකාවේ දෙවනපෑතිස් කුමරු ලෙස ඉපදුනේය.
දේවානම්පියතිස්ස රජුගේ උපත සහ රාජාභිෂේකය
පණ්ඩුකාභය රජුට දාව ස්වර්ණපාලි බිසවට මුටසිව නමැති පුත් කුමරෙක් සිටියේය. රජුන්ගේ ඇවෑමෙන් සොර සතුරු වියවුල්වලින් තොර වූ ලංකාද්වීපයේ රජු බවට මුවසිව පත්විය. ඒ මුටසීව රජුන් මල්පල බරින් යුක්ත වූ උයනක පිහිටිය යුතු නොයෙක් ගුණාංගයන්ගෙන් යුක්ත වූ සුන්දර උද්යානයක් “මහමේඝ වනෝද්යානය” නමින් කරවූයේය. ඒ උද්යානය පිහිටුවන ස්ථානය සැලසුම් කළ දා ආකාලයේ මහවැසිි වළාවන් පැන නැඟී මහා වැස්සක් ඇද හැලී වැව් පොකුණු පිරී ගියේය. ඒනිසා ඒ උද්යානයට “මහාමේඝ වනය” යන නම ලැබුණි. ලංකාංගනාවගේ සොඳුරු මුවමඬල බඳු උතුම් අනුරාධපුරයෙහි මුටසිව රජුන් සැට වසරක් රාජ්ය පාලනය කළේය. මුටසිව රජු එකිනෙකා කෙරෙහි ඉතා හිතවත්ව සිටින පුත් කුමරවරුන් දස දෙනෙක් සිටියේය. ක්ෂත්රිය සිරිත් විරිත් අනුව හැඩගැසුණු රූපවත් වූ දියණිවරු දෙදෙනෙක් විය. ඒ මුටසිව රජුගේ දෙවැනි පුත් කුමාරයා දේවානම්පියතිස්ස නමින් ප්රසිද්ධ විය. සියලු සහෝදර කුමාරවරුන් අතර පෙර ආත්මයන්හි රැස්කළ පින් බලයෙන්, ප්රඥාවෙන් ඉදිරියෙන් සිටියේ දෙවනපෑතිස් කුමරු ය. සිය පියා වූ මුටසිව රජුගේ ඇවෑමෙන් ඒ දෙවනපෑතිස් කුමරු ලක්දිව රජු බවට පත්විය. ඔහුගේ රාජාභිෂේකයත් සමඟ බොහෝ ආශ්චර්යවත් දේ සිදුවුණි.
සසරේ පින විපාක දීම
මුළු මහත් ලංකාද්වීපයේම පොළොව යට තිබුණු නිධාන, මැණික් වර්ග උඩට මතුවී පොළොව මත පෙනෙන්නට වුණි. ලක්දිව ආසන්නයේ බිඳී ගිය නැව්වල තිබුණ මැණික් වර්ග, මුහුදේ තිබුණ වෙනත් මැණික් වර්ග පොළොව මතට ගෙන ආවේය. අනුරාධපුරයට ගිණිකොන දිසාවෙහි යොදුන් දෙකක් පමණ දුරින් “ජාත” නමින් පර්වතයක් විය. ඒ පර්වතය පාමුල උණගස් තුනක් පැන නැංගේය. ඒවා ප්රමාණයන් රථ (කරත්ත) යෂ්ටි තරම් විශාලත්වයෙන් යුක්ත ය. එයින් එකක් “ලතා යෂ්ටි” ලෙස හැඳින්වේ මේි යෂ්ටිය රිදී පැහැයෙන් යුක්තයි. එහි වෙලී තිබෙන වැල් රම්ය වූ රන්වන් පාටින් දිස්වුණි.
අශ්වරූප හැඩයෙන් යුත් මුතු, ඇත් රූප හැඩය ගත් මුතු, රථ මුතු, නෙල්ලි මුතු, වළලු මුතු, මුදු මුතු, කකුධපල මුතු යන මේ අටවැදෑරුම් වූ ඉන්ද්රනීල මාණික්යය, වෛදූර්ය (වයිරෝඩි) මාණිකයය, ලෝහිතංක මාණික්යය ආදි මැණික් වර්ග මතුවුණි. මුතු වර්ග මුහුදෙන් ගොඩට ගසා වෙරළේ වැටියක් ලෙස තිබුණි. මේ හැම දෙයක්ම මතු වුයේ දේවානම්පියතිස්ස රජුන් පෙර රැස් කළ පුණ්යානුභාවය නිසාවෙනි.
දේවානම්පියතිස්ස රජුන් රාජාභිෂේක ලබා දවස් හතක් ගතවෙද්දී මේ වස්තුව තමන් වෙත ලැබුණි. ඒ වස්තුව දුටු රජතුමා සතුටට පත්විය. රජුට එකවර මතක් වුයේ ධර්මාශෝක රජුය. ඒ සියලු වස්තුව අරිට්ඨ ඇමැති ලවා දඹදිවට යැවීය. දඹදිවෙන්ද රජුට බොහෝ වස්තුව ලැබුණි. නොදුටු මිතුරන්ගේ එවැනි ඇසුරක් තිබුණි. තිසරණය ගැන පැහැදෙන ලෙසත්, සරණ යන ලෙසත් ලියා සන්නසක් එවීය. ඒ මූලික පසුබිම මිහිඳු මහාරහතන් වහන්සේට තම ධර්මදූත සේවය සඳහා උපකාරි වුණි.
රහතන් වහන්සේ පසුපස ගිය නරේන්ද්රයා
දේවානම්පියතිස්ස රජු ලංකාද්වීපයේ ප්රථම වතාවට ධර්මය ශ්රවණය කළ පින්වන්තයා බවට පත්කර වූයේ මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. අම්බස්ථලයේදී වදාළ චුල්ලහත්ථිපදෝපම සූත්රය නිසාය. භාග්යවතුන් වහන්සේ වැඩසිටි පින්බිම මිහිඳු මහරහතන් වහන්සේ මතුකොට පෙන්වා දෙනවිට ඒ සෑම තැනකම සලකුණු තැබුවේය. දකුණු අකු ධාතුන් වහන්සේ තැන්පත් කොට ථූපාරාම මහා ස්තූපය ඉදිකළේය. එහිදී නොයෙක් ප්රාතිහාර්යය සියැසින් රජු දුටුවේය. හෙළවැසි පිනැතියන් කසාවත් දරා ශාන්තව පිඬුසිඟා වඩින අයුරු ඈත සිට බලා සිටියේය. රජු ශ්රී මහා බෝධීන් වහන්සේ වඩම්මවන අසිරිය සියැසින් දුටුවේය. ඒ මහා පූජනීය බෝධින් වහන්සේ තම සිරසේ පිහිටුවා දාසයෙකු සේ පෙරහරේ ගමන් කළේය. අනේක ප්රාතිහාර්යය නැවතත් දුටුවේය. තම රාජ්යය පුදා දොරටු පාලයෙකු සේ බෝධින් වහන්සේට උපස්ථාන කළේය. ජයසිරි මහාබෝධිවංශ කථාව කියවන කෙනෙකුට දේවානම්පියතිස් රජුගේ මේ රාජ්යය අසිරිය කෙසේ නම් අමතක කරන්නද?Image may contain: 2 people
සියල්ලෝ කියවා පහන් සංවේගය ඇතිකරගනිත්වා...
සම්බුද්ධ පරිනිර්වාණය
ශ්‍රී දේහය ජරපත් වී දෙවි මිනිසුන්ට අප්‍රිය වන්නට කලින් පරමායුෂයෙන් පසෙන් කොටසක් ශේෂව තිබියදී පිරිනිවීම ලොවුතුරා බුදුවරයන්ගේ ස්වභාවයකි. ජන්මයෙන් අසූවැන්න වූ සම්බුද්ධත්වයට පැමිණීමෙන් පන්සාලිස් වැන්න වූ වසරෙහි අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසාලා මහනුවර සමීපයෙහි වූ බේලුව නම් ගමෙහි අන්තිම වරට වස් එළඹුණ සේක. එහිදී උන්වහන්සේට ඉතා බලවත් මාරාන්තික රෝගයක් හට ගත්තේය. බලවත් දුඃඛ වේදනාවද ඇති විය. උන්වහන්සේ ඒ වේදනාවන්ට අනුකූලව කෙඳිරීමක් ඒ මේ අත පෙරළීමක් නො කොට සිහිනුවණින් සියළු වේදනා ඉවසූ සේක. ආබාධය පිරිනිවීමට තරම් බලවත් වුවද “තමන් වහන්සේගේ උපස්ථායකයනට නො දන්වා භික්ෂු සංඝයාට නො දන්වා පිරිනිවීම නුසුදුසුය.” යි සිතා වදාරා ආබාධය වීර්යයෙන් යටපත් කොට ජීවිතය පවත්වා ගැනීමට සිතා ගත්හ. ඉක්බිති උන්වහන්සේ බුදු වන දිනයෙහි මහ බෝ මැඩදී විදර්ශනා කළ අයුරු රූපසත්තක අරූපසත්තක ක්‍රමයෙන් විස්තර වශයෙන් නාම රූපයන් විදර්ශනා කොට ඒ විදර්ශනාවේ බලයෙන් ශාරීරික වේදනා දුරු කොට ඉදිරියට දස මසක් ගතවන තුරු ඒ වේදනාවන් නැවත ඇති නො වන පරිදි සමාපත්තියට සමවන් සේක. එයින් රෝගය සුවවිය.
සුවය ලැබීමෙන් පසු තථාගතයන් වහන්සේ විහාරයෙන් නික්ම විහාච්ඡායාවෙහි පනවන ලද අසුනෙහි වැඩහුන් සේක. ආනන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේ වෙත එළඹ වැඳ “ස්වාමිනි! භාග්‍යවතුන් වහන්ස! දැන් නුඹ වහන්සේට සනීප පෙනේ. නුඹ වහන්සේගේ රෝගය නිසා මාගේ ශරීරය ද තද වී බර වී ගියේය. මට දිශා පවා තේරුම් ගත නො හැකි වී ගියේය. සතිපට්ඨානාදී ධර්ම නොවැටහී ගියේය. ස්වාමීනි! මට සැනසිල්ලට කරුණක් තිබුණේ පිරිනිවීමේ ලකුණක් වශයෙන් නුඹවහන්සේ වීසින් භික්ෂු සංඝයා අරභයා යම් කිසිවක් නො වදාළ බව පමණෙකැ” යි සැල කළහ. එකල්හි තථාගතයන් වහන්සේ “ආනන්දය! භික්ෂු සංඝයා හට මාගෙන් බලාපොරොත්තු වන්නට දෙයක් නැත. ආනන්දය! ගුරුමුෂ්ටිය වශයෙන් කිසිවක් ඉතිරි නො කොට සියල්ලන් සම්පූර්ණ කොට ම මා විසින් ධර්මය දේශනා කර ඇත්තේය. මාගේ ගුරුමුෂ්ටිය දීමක් නැත. ආනන්දය! භික්ෂු සංඝයා ගැන යම්කිසි ප්‍රකාශයක් කිරීමට ඇති වන්නේ මේ සංඝයා සැම කල්හි මා විසින්ම පරිහරණය කළ යුතුය යන අදහස ඇතහොත් ය. එබඳු අදහසක් තථාගතයන්ට නැතය” යි වදාල සේක. ඉක්බිති “ආනන්දය, දැනට මම දිරූ සිරුරු ඇති මහල්ලෙක් වෙමි. අසූ අවුරුදු වියට පැමිණ සිටිමි. ආනන්දය! යම් විටෙක තථාගත තෙමේ නිවන අරමුණු කොට ඇති චිත්ත සමාධියෙන් වාසය කෙරේද එසමයෙහි තථාගතයන්ගේ කයට පහසු වන්නේය. ආනන්දය! එ බැවින් තෙපිද තමාට තමාම පිහිට කොට වෙසෙව්” යයි ද අනුශාසනා කළ සේක.
තථාගත පරිනිර්වාණයට සමීපව ඇති මේ කාලයේදී සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ද පිරිනිවන් පා වදාළහ. තථාගතයන් වහන්සේ උන්වහන්සේලාගේ ධාතූන් පිහිටුවා චෛත්‍යක් කරවා රජගහ නුවරින් බික්සඟන හා නික්ම ගොස් ගංගා නදී තීරයට පැමිණ එහිදී සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳ ධර්ම දේශනයක් කොට එයින් නික්ම විසාලා මහ නුවරට වැඩවදාරා පසුදින ආනන්ද ස්ථවිරයන් හා චාපාලචේතිය නම් විහාරයට පැමිණ එහි වැඩහිඳ විසල් පුරය හා ඒ සමීපයේ පිහිටි විහාරවල රමණීය බව වදාරා “යමකු විසින් සතර සෘධිපාදයන් මනා කොට වඩනා ලද නම් ඔහුට කල්පයක් වුවද ජීවත් විය හැකිය. ආනනදය! තථාගතයන් විසින් සතර සෘධිපාදයෝ මනා කොට වඩනා ලදහ. ආනන්දය! තථාගතයන්ට කැමති නම් කල්පයම වුවද එයට වැඩි කලක් වුවද ජීවත් විය හැකිය.” යි වදාළ සේක. ඒ අවස්ථාවේදී මාර බාධාව නිසා ආනන්ද ස්ථවිරයන් වහන්සේට බුදුන්වහන්සේගේ අදහස තේරුම් ගත නොහැකි විය. එ බැවින් උන්වහන්සේ ලෝකානුකම්පාව පිණිස කල්පය මුළුල්ලෙහි වැඩ සිටිනා ලෙස තථාගතයන් වහන්සේට ආරාධනා නොකළහ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ සමීපයෙන් ඉවත් වූ පසු මාරයා පැමිණ පිරිනිවන් පානා ලෙස ඇරයුම් කළේය. එකල්හිම තථාගතයන් වහන්සේ-
“අප්පොස්සුක්කො ත්වං පාපිම! හොහි, න චිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. ඉතො තිණ්ණං මාසානං අච්චයෙන තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති”
“පාපී මාරය! නුඹ වෙහෙස නොවන්න. වැඩිකල් නොගොස් මෙයින් තෙමසකට පසු තථාගතයන් වහ්න්සේගේ පිරිනිවීම වන්නේය.” යි වදාළ සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ තෙමසකින් ඔබ ජීවත්වීමේ අදහස හළ සේක. එකෙණෙහි මහ පොළොව කම්පිත විය. හාත්පස අහසෙහි අකුණු පුපුරන්නට විය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ වෙත එළඹ භූමිකම්පාවට හා හෙන පිපිරීමට හේතු විචාළහ. තථාගතයන් වහන්සේ එයට හේතු වදාළ කල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ මහත් සංවේගයට පැමිණ-
“තිට්ඨතු භන්තෙ භගවා කප්පං තිට්ඨතු සුගතො කප්පං, බහුජන හිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙව මනුස්සානං.”
යනුවෙන් ලෝකානුකම්පාව පිණිස කල්පය මුළුල්ලෙහි වැඩසිටින ලෙස තථාගතයන් වහන්සේට ආරාධනා කළහ. උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කොට ආනන්ද ස්ථවිරයන් වහන්සේට ශෝකය සංසිඳවා ගැනීමට කරුණුද වදාරා තථාගතයන් වහන්සේ තෙමසකින් පිරිනිවන් පානා බව වදාළහ. ඉක්බිති තථාගතයන් වහන්සේ මහා වනයෙහි කූටාගාර ශාලාවට වැඩම කොට භික්ෂු සංඝයා රැස් කරවා සර්වඥ ශාසනයාගේ චිරස්ථිය පිණිස තමන් වහන්සේ විසින් විශේෂයෙන් දැන දේශනය කළ සතිපට්ඨාන සතරය, සම්‍යක් ප්‍රධාන සතරය, සෘධිපාද සතරය, ඉන්ද්‍රිය පසය, බල පසය, බෝධ්‍යංග සතය, ආර්ය අෂ්ඨාංගික මාර්ගයය යන මේ ධර්ම මනාව උගෙන පුරුදු කළ යුතු බව වදාරා ධර්මානුශාසනා කොට තෙමසකින් තමන් වහන්සේ පිරිනිවන් පානා බව ද වදාළ සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේසාලි පුරයෙහි පිඬු පිණිස හැසිර පස්වරු කාලයේ වේසාලියෙන් නික්ම වේසාලි පුරය දෙස හැරී බලා ආනන්ද ස්ථවිරයන් වහන්සේ අමතා මේ මගේ අන්තිමවරට වේසාලි නගරය දැකීම යැයි වදාළ සේක. විසල් පුර වැසි ලිච්ඡවීහු එහි නාගාපලොකිත චේතිය නමින් චෛත්‍යයක් කරවා වැඳුම් පිදුම් කළහ.
ඉක්බිති බුදුරජාණන් වහන්සේ මහා සංඝයාද කැටුව භණ්ඩග්‍රාමයට වැඩ එහි වෙසෙමින් ශීල සමාධි ප්‍රඥාවන් පිළිබඳව බොහෝ දම් දෙසමින් වාසය කොට එයින් නික්ම හස්තිග්‍රාම ආමග්‍රාම ජම්බුග්‍රාම යන ගම්වලටද වැඩම කර ඒවා පසු කොට භෝග නගරයට පැමිණ ආනන්ද චෛත්‍ය නම් වෙහෙරෙහි වෙසෙමින් භික්ෂූන් අමතා “චත්තාරො මෙ භික්ඛවෙ! මහාපෙදෙසෙ දෙසිස්සාමි” යනාදීන් සතර මහා අපදේශයන් වදාළ සේක. සතර මහා අපදේශ නම් නියම බුද්ධ ධර්මය කුමක්ද යන බව තේරුම් ගැනීමට උපකාර වන උපදේශ සතරෙකි. තථාගතයන් වහන්සේ ආනන්ද චෛත්‍ය නම් විහාරයෙහි හිඳ ශීල සමාධි ප්‍රඥාවන් පිළිබඳව ම බෙහෙවින් දම් දෙසමින් වැඩ සිට මහාසංඝයා හා පාවානුවර කර්මාරපුත්‍ර චුන්දගේ අඹ උයනට වැඩම කළ සේක. ඒ බව ඇසූ චුන්ද තථාගතයන් වහන්සේ වෙත එළඹ දහම් අසා පසු දින සිය නිවසෙහි දන් පිළි ගන්නා ලෙස ආරාධනය කළේය. තථාගතයන් වහන්සේ ඔහුගේ ආරාධනය පිළිගත් සේක. චුන්ද තථාගතයන් වහන්සේ විසින් තමාගේ ආරාධනාව ඉවසා වදාළ බව දැන පසුදින සිය නිවසෙහි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයන් හා සූකර මද්දවය ද පිළියෙල කොට මහා සංඝයා සහිත භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවා තථාගතයන් වහන්සේගේ නියමය පරිදි සූකර මද්දවය සහිත දානය තථාගතයන් වහන්සේටත් ඉතිරි ඛාද්‍ය භෝජනයන් භික්ෂු සංඝයාටත් පිළිගැවීය. වළඳා අවසානයෙහි කර්මාරපුත්‍ර චුන්ද හට දහම් දෙසා තථාගතයන් වහන්සේ ඉන් නික්මුණු සේක. එය තථාගතයන් වහන්සේ පිරිනිවන් පානා දිනයය. තථාගතයන් වහන්සේ බේළුව ගමෙහි වස් එළඹ විසූ කාලයේ උන්වහන්සෙට ඇතිවූ ලෝහිත පක්ඛන්දිකා නම් වූ දරුණු අතීසාර රෝගය සමවත් බලයෙන් යටපත් කළ කාලය ඒ දිනට අවසන් විය. එ බැවින් ඒ රෝගය එදින නැවත මතු විය. කර්මාරපුත්‍ර චුන්ද විසින් පිළියෙල කර පිළිගැන්වූ සිනිඳු ඕජාවත් ආහාරය වළඳා සිටි නිසා තථාගතයන් වහන්සේට තරමක පහසුවක් ඇති විය. උන්වහන්සේ පිරිනිවීමට බලාපොරොත්තු වන කුසිනාරා නුවර බලා ගමන ආරම්භ කළ සේක. රෝග බලය නිසා දශබලධාරීන් වහන්සේ ගේ දේහබලය සීඝ්‍රයෙන් පිරිහෙන්නට විය. එ බැවින් උන්වහන්සේට කුසිනාරා නුවරට වඩනා අතර මඟ පස් විසි තැනක වැඩ සිට විඩා සන්සිඳුවා ගැනීමට සිදු විය. උන්වහන්සේ පා ගමනින් ම තුන් ගව් මග ගෙවා සන්ධ්‍යා කාලයේ කුසිනාරා නුවර මල්ල රජුන්ගේ උපවත්තන නම් වූ සල් උයනට වැඩවදාළ සේක.
ඉක්බිති තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා “ආනන්දය! ක්ලාන්ත වෙමි. සැත්පීම සඳහා යමක ශාලා වෘක්ෂයන් අතර උතුරු දෙසට හිස සිටින පරිදි ඇඳක් පිළියෙල කරව.” යි වදාළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ එසේ කළහ. භාග්‍යවතුන් වහන්සේ දකුණු පසට හැරී එහි සිංහ ශෙ‍යාවෙන් සයනය කළ සේක. තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන බව කලින් ප්‍රසිද්ධියට පැමිණ තිබූ බැවින් බොහෝ භික්ෂුහු එහි පැමිණ සිටියහ. දස දහසක් සක්වළවලින් බොහෝ දිව්‍ය බ්‍රහ්මයෝද තථාගතයන් වහන්සේ දක්නට පැමිණියෝය. එදින සල් වනයෙහි සැම ගසකම මල් පිපී තිබිණ. තථාගතයන් වහන්සේගේ ශරීරය මත සල් මල් පතනය වන්නට විය. දිව්‍ය බ්‍රහ්මයෝද මල් හා සුවඳ සුනු හෙලමින් ද දිව්‍ය සංගීත පවත්වමින්ද දිව්‍ය තූර්යයන් වාදනය කරමින්ද මහත් ඌ පූජාවක් පැවැත් වූහ. දස දහසක් සක්වලින් පැමිණි ගණනින් ප්‍රමාණ කළ නොහෙන සක්වළ පුරා පැතිර සිටි දිව්‍ය බ්‍රහ්ම සමූහයා විසින් පවත්වන මහා පූජාව බලා තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා මෙබඳු පූජාවක් පැවැත්වීම තථාගතයන් වහන්සේ ට උත්තම පූජාවක් කිරීම නොවන බවත් දර්මයට අනුව පිළිපැදීමම තථාගතයන් වහන්සේට කරන උත්තම පූජාව බවත් වදාළ සේක.
ඉක්බිති ආනන්ද ස්ථවිරයන් වහන්සේ “භාග්‍යවතුන් වහන්ස! පෙර ඒ ඒ පළාත්වල වස් වැස නිම වූ මන වඩන්නා වූ බොහෝ භික්ෂුහු තථාගත දර්ශනය සඳහා පැමිණෙන්නාහ. එයින් අපි ඒ මනෝභාවනීය භික්ෂූන් දකින්නටද ඇසුරු කරන්නටද ලැබුයෙමු. නුඹ වහන්සේගේ ඇවෑමෙන් මනෝභාවනීය භික්ෂූන් දක්නට නො ලබන්නෙමුය” යි තථාගතයන් වහන්සේට සැලකළහ. එකල්හි තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට දර්ශනීය මනෝ භාවනීය අන් දෙයක් දැක්වීම සඳහා මෙසේ වදාළ සේක.
“චත්තාරිමානි ආනන්ද! සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි?
ඉධ තථාගතො ජාතොති ආනන්ද! සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං,
ඉධ තථාගතො අනුත්තරං සම්මා සම්බොධිං අභිසම්බුද්ධොති
ආනන්ද! සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං,
ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිතන්ති ආනන්ද!
සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං
ඉද තථාගතො අන්පාදිසෙසාය නිබ්බාන ධාතුයා
පරිනිබ්බුතොති ආනන්ද! සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං
ඉමානි ඛො ආනන්ද! චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං”
තථාගතයන් වහන්සේ උපන් තැනය, සම්‍යක් සම්බුද්ධත්වයට පැමිණි තැනය, දම්සක් පැවැත් වූ තැනය, පිරිනිවන් පා වදාළ තැනය යන මේ ස්ථාන සතර දර්ශනීය සංවේජනීය ස්ථාන වන බව ඒ දේශනාවෙන් දක්වන ලද්දේය. ශ්‍රද්ධාවත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ඒ ස්ථානයන් දක්නට යන බවත් ඉක්බිති යම් කෙනෙකුන් චෛත්‍යදර්ශනය සඳහා ගොස් පහන් සිතින් කාලක්‍රියා කළාහු නම් ඔවුන් ස්වර්ගයෙහි උපදනා බවත් වදාළසේක.
ඉක්බිති ආනන්ද ස්ථවිරයෝ පිරිනිවීමෙන් පසු තථාගතයන් වහන්සේ ගේ ශ්‍රී දෙහය ගැන පිළිපදිනා ආකාරය විචාළහ. එකල්හි තථාගතයන් වහන්සේ “ආනන්දය! තෙපි තථාගත ශරීර පූජාව ගැන ව්‍යවෘත නො වවු. තෙපි අර්හත්වයට පැමිණීම සඳහා වීර්ය කරව්. ආනන්දය! තථාගතයන් වහන්සේ කෙරෙහි ප්‍රසන්න වූ ක්ෂත්‍රිය පණ්ඩිතයෝ ද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝ ද, ගෘහපති පණ්ඩිතයෝ ද ඇතහ. ඔවූහු තථාගතයන් වහන්සේගේ ශරීර පූජාව කරන්නාහ” යි වදාළ සේක. තථාගත ශරීරය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය විචාර කල්හි සක්විති රජුන්ගේ ශරීරය කෙරෙහි පිළිපදිනා ආකාරයෙන් පිළිපැදිය යුතු බව හා එහි ක්‍රමයත්, සිවු මන්සන්දියක් සමීපයෙහි තථාගතයන් වහන්සේ උදෙසා ස්ථූපයක් කළ යුතු බවත්, යම් කෙනෙක් එහි සුවඳ හෝ මල් හෝ සුවඳ සුණු හෝ පුදත් නම් එයට වඳිත් නම් සිත හෝ පහදා ගනිත් නම් ඔවුනට එය දීර්ඝ කාලයක් සැප පිණිස වන බවත් වදාළ සේක. ඉක්බිති මෙසේ වදාළ සේක.
“චත්තාරො මෙ ආනන්ද ථූපරහා, කතමෙ චත්තාරො? තථාගතො අරහං සම්මාඅම්බුද්ධො ථූපරහො. පච්චෙක සම්බුද්ධො ථූපාරහො, තථාගතස්ස සාවකො ථූපාරහො. රාජා චක්කවත්ති ථූපාරහොති.”
“ආනන්දය මේ පුද්ගලයෝ සතර දෙන ස්ථූප තැනීමට සුදුස්සෝය. කවර සතර දෙනෙක් ද යත්? තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ස්ථූප තැනීමට සුදුසු ය. ප්‍රත්‍යක සම්බුද්ධයන් වහන්සේ ස්ථූප තැනීමට සුදුසු ය. බුද්ධශ්‍රාවක තෙමේ ස්ථූප තැනීමට සුදුසු ය. සක්විති රජ ස්ථූප තැනීමට සුදුසු ය.” යනු එහි තේරුමයි. උත්තම පුද්ගලයන් උදෙසා ස්ථූප කළ යුත්තේ ඒවා කෙරෙහි සිත පහදාගෙන ඒවාට වැඳුම් පිදුම් කොට බොහෝ ජනයාට ස්වර්ග සම්පත්තිය ලැබිය හැකි හෙයිනි.
“තථාගතස්ස සාවකො ථූපාරහො" යනුවෙන් විශේෂයක් නො කොට බුද්ධශ්‍රාවකයා ස්ථූප කිරීමට සුදුසු යයි වදාරා ඇතත් එයින් අදහස් කරන්නේ සව් කෙලෙසුන් නසා රහත් වූ බුද්ධශ්‍රාවකයා ය. තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ අවස්ථාවල ස්ථූප තැනීමට නියම කර ඇත්තේ රහතුන් වෙනුවෙන්ම ය. උන්වහන්සේ සැරියුත් මුගලන් දෙනම වෙනුවෙන් ස්ථූප තැනීමට නියෝග කළහ. මහාප්‍රජාපති ගෝතමි මෙහෙණිය වෙනුවෙන් ස්ථූපයක් තැනවීමට නියම කළහ. පෘතග්ජන ශ්‍රාවකයකු වෙනුවෙන් තථාගතයන් වහන්සේ විසින් ස්ථූප තැනීමට නියම කළ තැනක් දක්නට නැත. ගිහියකු වන චක්‍රවර්තී රජ ස්ථූප තැනීමට සුදුසු වන බව අනුදත් තථාගතයන් වහන්සේ සිල්වත් පෘතග්ජන භික්ෂූන් උදෙසා ස්ථූප තැනීමට නො අනුදත්තේ කිනම් කරුණකින්ද යන මේ ප්‍රශ්නය නඟා අටුවාවෙහි මෙසේ එයට පිළිතුරු දී තිබේ. සීලවන්ත පෘතග්ජන භික්ෂූන් උදෙසා ස්ථූප තැනීම තථාගතයන් වහන්සේ අනුමත කළහොත් ලක් පොළොව ස්ථූපවලින් පිරෙන්නේය. එසේ වූ කල්හි ඒවායේ අගය නැතීවන්නේය. සක්විති රජවරු ලෝකයෙහි ඇතිවන්නේ කලාතුරකිනි. එබැවින් චක්‍රවර්තී රජුගේ ස්ථූපය ආශ්චර්ය දෙයක් වන්නේ ය. එයට මහජනයා ගරු කරන්නේ ය. ඒ නිසා තථාගතයන් වහන්සේ සිල්වත් වූ ද පෘතග්ජන භික්ෂූන් උදෙසා ස්ථූප තැනීම නො අනුදත් සේක. මෙසේ කියා අවසානයෙහි පිරිනිවන් පෑ භික්ෂුවට මෙන්ම සිල්වත් පෘතග්ජන භික්ෂුවටද සත්කාර කිරීම සුදුසු බව දක්වා තිබේ.
ස්ථූපාර්හ පුද්ගලයන් පිළිබඳව වූ ඒ දේශනාව ඇසීමෙන් පසු තථාගත පරිනිර්වාණය ගැන බලවත් ශෝකයක් ආනන්ද ස්ථවිරයන් වහන්සේට ඇති විය. එය දැරිය නො හැක්කෙන් උන්වහන්සේ විහාරයට පිවිස අගුළු කණුවට හේත්තු වී හඬන්නට වන්හ. තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් ගෙන්වා ධර්ම කථාවෙන් ශෝකය සංසිඳවා භික්ෂූන් අමතා ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ බොහෝ ගුණ වදාළ සේක. ඉක්බිති ආනන්ද ස්ථ්විරයන් වහන්සේ විසින් මේ කුඩා නගරයෙහි පිරිනිවීම නො කරන ලෙස ඇයැද සිටි කල්හි කුසිනාරාව කුඩා නගරයක් නො වන බව හා සංස්කාරයන්ගේ අනිත්‍ය භාවයද දැක්වීම් වස් මහා සුදර්ශන සූත්‍රය සැතපී සිටිමින්ම දේශනය කළ සේක.
ඉක්බිති තථාගතයන් වහන්සේ එදින රාත්‍රියේ පශ්චිම යාමයේ තථාගත පරිනිර්වාණය සිදුවන බව කුසිනාරා නුවර මල්ල රජුන්ට දන්වන ලෙස ආනන්ද ස්ථවිරයන් වහන්සේට වදාළහ. උන්වහන්සේ එසේ කළහ. මල්ලයෝ මහත් වූ ශෝකයෙන් හඬමින් පවුල් පිටින්ම රාත්‍රියේම අවුත් තථාගතයන් වහන්සේට වැන්දෝය. එනුවර වෙසෙන සුභද්‍ර නම් පරිව්‍රාජකයාටද තථාගත පරිනිර්වාණය සැළවී වහා අවුත් තථාගතයන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පදාව ලබා කමටහන් වඩා තථාගතයන් වහන්සේ පිනිවීමට කලින්ම සවුකෙලෙසුන් නසා රහත් බවට පැමිණියේය. හෙතෙමේ බුදුරජාණන් වහන්සේගේ අන්තිම ශ්‍රාවකයා විය.
ඉක්බිති තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා වදාරන සේක් “ආනන්දය! මාගේ ඇවෑමෙන් දැන් අපට ශාස්තෘවරයෙකු නැතය යන අදහස තොපට ඇතිවිය හැකිය. ආනන්දය! තොපට ශාස්තෘවරයෙකු නැත්තේ නොවේ. ආනන්දය! මා විසින් යම් ධර්මයක් දෙසන ලදද, යම් විනයක් පනවන ලද ද, ඒ ධර්මය විනය දෙක මාගේ ඇවෑමෙන් තොපගේ ශාස්තෘවරයා ය” යි වදාළ සේක. අනතුරුව තථාගත පරිනිර්වාණයෙන් පසු භික්ෂූන් විසින් ඔවුනොවුන්ට කතාකළ යුතු ආකාරය වදාරා කැමති නම් සංඝයා හට ක්ෂුද්‍රානුක්ෂුද්‍රක ශික්ෂා පදයක් බැහැර කරවන්නට ද අවසර දී භික්ෂූන්ට නිතර කරදර කරන චණ්ඩ ඵරුෂ ඡන්න භික්ෂුව හික්මවනු පිණිස බ්‍රහ්මදණ්ඩය දීමට නියම කර වදාළ සේක. ඒ දඬුවම නිසා ඡන්න භික්ෂුවට රහත් විය හැකිවිය. ඉක්බිති මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින් පන්සාළිස් වසක් මුළුල්ලෙහි දේශනා කරන ලද සකල ධර්ම සමූහය පිඬු කොට “භන්දදානි භික්ඛවෙ! ආමන්තයාමි වො, වයදම්මා සංඛාරා, අප්පමාදෙන සම්පාදෙථ” යන අන්තිම බුද්ධ වචනය වදාළ සේක. “මහණෙනි දැන් තොපට අන්තිම වරට කියමි. සංස්කාරයෝ නැසෙන ස්වභාවය ඇත්තෝය. තෙපි අමතක නොකොට අතපසු නොකර පැවිදි කිස සම්පාදනය කරව්” යි යනු එහි තේරුමයි.
මෙසේ තථාගතයන් වහන්සේ භික්ෂූන්ට අන්තිම අවවාදය කොට ප්‍රථම ධ්‍යානයට සමවන් සේක. ඉන් නැගිට ද්විතීය ධ්‍යානයට සමවන් සේක. මෙසේ නේවසංඥා නාසංඥායතන ධ්‍යානය දක්වා පිළිවෙලින් ධ්‍යානයන්ට සමවැද නිරෝධ සමාපත්තියට සමවන් සේක. එකල්හි ආනන්ද තෙරණුවෝ “ස්වාමිනි!, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවුණු සේකැ” යි අනුරුදු තෙරණුවන්ට කීහ. “නැත ආනන්දය! භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවන් සේකැ” යි අනුරුදු තෙරණුවෝ කීහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගී ප්‍රතිලෝම ක්‍රමයෙන් ප්‍රථම ධ්‍යානය දක්වා ධ්‍යානයන්ට සමවැදී නැවත අනුලෝම ක්‍රමයෙන් චතුර්ථධ්‍යානය දක්වා ධ්‍යානයන්ට සම වැදී චතුර්ථධ්‍යානයෙන් නැඟී පිරිනිවන් පා වදාළ සේක. එකෙණෙහි මහා භූමිකම්පාවක්විය. අහසෙහි විදුලිය නගින්නටත් අකුණු පුපුරන්නටත් විය. එකෙණෙහිම සහම්පති බ්‍රහ්මරාජයා මේ ගාථාව කීය.

සබ්බේව නික්ඛිපිස්සන්ති භූතාලොකෙ සමුස්සයං,
යථා එතදිසො සත්ථා ලොකෙ අප්පටි පුග්ගලො,
තථාගතො බලප්පත්තො සම්බුද්ධො පරිනිබ්බුතො.

සක්දෙව් රජ මේ ගාථාව කීය
අනිච්චා වත සංඛාරා - උප්පාද වයදම්මිනො,
උප්පජ්ජිත්වා නිරිජ්ඣන්ති - තෙසං වූපසමො සුඛො
ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයෝ මේ ගාථාව කීහ.

නාහු අස්සාස පස්සාසො ඨිත චිත්තස්ස තාදිනො,
අනෙජො සන්ති මාරබ්භ යං කාලමකරී මුනී.
අසල්ලීනෙන චිත්තෙන වෙදනං අජ්ඣවාසයි.
පජ්ජොතස්සෙව නිබ්බානං විමොක්ඛො චෙතසො අහු.
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයෝ මේ ගය කීහ.
තදාසි යං හිංසනකං තදාසි ලෝමහංසනං,
සබ්බාකාර වරූපෙතෙ සම්බුද්ධෙ පරිනිබ්බුතෙ.

තථාගත පරිනිර්වාණය සැලවූ වහාම නො රහත් බොහෝ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේ ඉතා ඉක්මනින් පිරිනිවි සේකැ යි හඬන්නට වැළපෙන්නට වූහ. වීතරාගිහු සංස්කාරයන්ගේ අනිත්‍යතාව සලකමින් ඉවසූහ. මහරහත් අනුරුදු හිමියෝ ලෝකස්වභාවය සිහිකර දී හඬන වැළපෙන භික්ෂූන් සැනසූහ. අනුරුදු තෙරුන් වහන්සේ දැහැමි කතාවෙන් රාත්‍රියේ ඉතිරි කොටස ගත කළහ.
රේරුකානේ චන්දවිමල මහනාහිමි
පුණ්‍යෝපදේශය
https://pitaka.lk/books/rc/Punyopadeseya.htm#_Toc45941319
Image may contain: 6 people
චිත්තහත්ථ තෙරුන්ගේ කථා වස්තුව
අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්නට ලැබෙන විට එ් ධර්මය ගැන නුවණින් මෙනෙහි කරන්නට ඕන. එ් කෙරෙහි සිතේ පැහැදීම ඇති කරගන්නට ඕන. එබඳු පැහැදීමක් තිබුණොත් අපට නැවත නැවතත් එ් ධර්මය සිහි කරන්නට, හදාරන්නට, නුවණින් විමසන්නට හිතෙනවා. එ් තුළින් අපට නුවණ වැඩෙනවා. නුවණ වැඩෙද්දී ධර්මය අවබෝධ කිරීමෙහි වුවමනාව අපගේ සිත තුළ ස්ථිරව පිහිටනවා. මේ ලක්ෂණ නැති කෙනා පැවිදි වෙලා හිටියත් ප්රයෝජනයක් නෑ. එ් කෙනා තුළ ධර්මය තුළින් ඇති වෙන ප්රඥාව වැඩෙන්නෙ නෑ. වීරිය වැඩෙන්නෙත් නෑ. ධර්මය කෙරෙහි සිත ස්ථිරව පිහිටන්නෙත් නෑ. එබඳු කෙනෙක් වුනත් උත්සාහයකින්, අධිෂ්ඨානයකින් කටයුතු කළොත්, ජයගන්නට පුළුවනි. එ් බව මෙම කථාවෙන් ඉතාමත් ලස්සනට පැහැදිලි වෙනවා.
එ් කාලයේ සැවැත් නුවර එක්තරා ගොවියෙක් හිටියා. මොහුටත් රහතන් වහන්සේලාගෙන් උතුම් ධර්මය අසන්නට ලැබුණා. එ් ධර්මය කෙරෙහි පැහැදීමකුත් ඇති වුණා. හැබැයි එ් පැහැදීම ඇතිවුණේ නුවණින් මෙනෙහි කරලා නෙවෙයි. නුවණින් නොවිමසන නිසා සිත ධර්මය තුළ ස්ථිරව පිහිටියෙත් නෑ. නමුත් මෙම ගොවියාටත් පැවිදි වීමේ ආශාවක් ඇතිවුණා. දිනක් මොහු ගෙදරට දන්වා පැවිදි වෙන්න ගියා. පැවිදි වෙන්න යද්දී තමා කුඹුරු වැඩ කළ උදැල්ල කටු පඳුරක සඟවා ගියා. ඉතින් මොහු භික්ෂූන් වහන්සේලා වෙත ගිහින් පැවිදි වුණා.
පැවිදි වී දින කිහිපයක් යන විට ධර්මය කෙරෙහි ඇති පැහැදීම වෙනස් වුණා. බිරිඳ මතක් වෙන්නට පටන් ගත්තා. තමා නැති නිසා තම බිරිඳ අයාලේ ගොස් නොමනා ලෙස හැසිරෙන්නට ඉඩ ඇති බවත් මතක් වුණා. ඉතින් මේ භික්ෂුව තමන් තුළ නූපන් රාගය ඉපදෙන ආකාරයට නුවණින් තොරව සිතන්නට පටන් ගත්තා. මොහු තුළ අකුසල් වැඩුණා. එය ප්රහාණය කිරීම සඳහා ප්රමාණවත් අධිෂ්ඨානයක් මොහු තුළ තිබුණේ නෑ. භාවනා කරන්නට වාඩි වූ විට ආයෙමත් සඟවා පැමිණි උදැල්ල මතක් වුණා. බිරිඳ මතක් වුණා. පංච කාමය මතක් වුණා. අරතිය වැඩි වුණා. ධර්මය කෙරෙහි ඇල්ම නැතිව ගියා. මොහු රහසේම සිවුරු හැර උදැල්ලත් රැගෙන ගෙදර ගියා.
පැවිදි වෙන්නට ගිය ස්වාමියා නැවත කුඹුරේ වැඩ කරනු දැක බිරිඳ ගොඩාක් සතුටු වුණා. හොඳින් කෑම බීම දී උපස්ථාන කළා. නමුත් ටික දවසක් යද්දී බිරිඳ ඇනුම් පද කියන්නට පටන් ගත්තා. එතකොට මොහු ආයෙමත් කළකිරුණා. ‘නුඹත් සමඟ ගත කරන මේ ජීවිතයට වඩා පිඬු සිඟා අනුභව කරමින් ගතකරන හුදෙකලා වාසය මොනතරම් වටිනවාද?’ කියා නැවතත් උදැල්ලත් රැගෙන පිටත් වුණා. අර කටු පඳුර අස්සේ උදැල්ල ගැහුවා. ස්වාමීන් වහන්සේලා වෙත ගොස් පැවිදි වුණා.
ටික කලක් ගතවුණා. ආයෙමත් ගිහි ජීවිතය මතක් වෙන්නට පටන් ගත්තා. බිරිඳ විසින් උයා පිහා දෙන කෑමවල රස මතක් වුණා. බිරිඳගේ ආදර බස් මතක් වුණා. ‘අනේ…. මට භාවනා කරගන්නට අමාරුයි. හිත විසිරෙනවා…. ගෙදර ගිහින් නිදහසේ ඉන්නට ඇත්නම් කියලයි හිතෙන්නේ…’ මෙම භික්ෂුවට දැඩි වීරියක් ගැනීමේ හැකියාවක් තිබුනේ නෑ. සිත විසිරෙද්දී කලබල නොවී සිටීමට හැකියාවක් තිබුණේ නෑ. කාම සිතුවිලි ඇතිවෙද්දී සතර සතිපට්ඨානය සිහි කරන්නට හැකියාවක් තිබුණේ නෑ. අවස්ථානුකූලව බෝධිපාක්ෂික ධර්ම ගලපා ගන්නට හැකියාවක් තිබුණෙ නෑ. ආයෙමත් උදැල්ල මතක් වුණා. හොරෙන්ම පිටත් වුණා. සිවුරු හැර උදැල්ලත් රැගෙන කුඹුරට ගියා. එදත් බිරිඳට හරිම සතුටුයි. ආදරෙන් කතා බස් කළා. රසවත් කෑම බීම දුන්නා. ටික දවසයි ගියේ. ආයෙමත් ඇනුම් පද ඇසෙන්නට පටන් ගත්තා. බිරිඳගේ වෙනස්කම්වලට මුහුණ දෙන්නට සිදුවුණා. ‘නුඹ සමඟ ගත කරන දීගෙට වඩා මහ වනයේ ගස් සෙවණක නිකම් වාඩිවෙලා සිටියත් සැපයි’ කියල උදැල්ලත් අරගෙන පිටත් වුණා.
වෙනද වගේම උදැල්ල කටු පඳුර අස්සේ හැංගුවා. ආයෙමත් පැවිදි වුණා. පැවිදි වුණු මුල් දවස් කීපයේ නම් මෙම භික්ෂුව ඉතාමත් හොඳයි. නමුත් එ් ශ්රද්ධාව රඳවා ගන්නට බැහැ. නැතිවෙලා යනවා. වීරිය රඳවා ගන්නට බැහැ. නැතිවෙලා යනවා. සිත ධර්ම මාර්ගය තුළ ස්ථිරව පිහිටුවා ගන්නට බැහැ. ආයෙමත් ගෙදර මතක් වෙනවා. ‘මොනවා කිව්වත් එයා මගේ බිරිඳ නෙව. මට රසවත් කෑම බීම හදල දෙනව නෙව. ඕනෙම ගෙදරක ඔය හැලහැප්පිලි තියෙන එකේ මං විතරක් මොකටද එ් ගැන අමතුවෙන් කලකිරෙන්නෙ?’ ඉතින් මේ භික්ෂුවට සතර සතිපට්ඨානය අමතක වුණා. කටු පඳුර අස්සේ සඟවපු උදැල්ලමයි මතක් වුනේ. ආයෙමත් සිවුරු හැරියා. උදැල්ලත් අරගෙන ගෙදර ගියා. මේ විදිහට මේ භික්ෂුව හය වතාවක් සිවුරු හැරියා. හිතේ පැහැදීම ඉක්මනින් වෙනස් වෙනවා. අධිෂ්ඨානය ඇති කරගන්නටත් බෑ.
දිනක් කුඹුරට ගොස් පැමිණෙද්දී බිරිඳ පැදුරක් එලාගෙන උඩුබැල්ලෙන් නිදාගෙන හිටියා. ඇයගේ හිස කෙස් අවුල් වෙලා. විසිරිලා තිබුණා. කට ඇරිලා තිබුණා. කුණු කෙල වැගිරෙමින් තිබුණා. ඇය ගොරව ගොරවා සිටියා. මේ දර්ශනය දුටු ගමන් මොහුගේ සිතට මහත් සංවේගයක් හටගත්තා. හැමදෙයක්ම එපා වුණා. බිරිඳටත් නොකියාම මහණ වෙන අදහසින් ආයෙමත් උදැල්ලත් අරගෙන පිටත් වුනා. කටු පඳුර ලඟට ආවා. එතකොට සිහිනුවණ ඇතිවුණා. ‘මේ උදලු කෙටිය තමයි හැම විපතකටම මුල. මේ උදලු කෙටිය කටු පඳුරේ හංගපු එක තමයි කැරකි කැරකි පල දුන්නේ. ආයෙමත් නම් මේ මෝඩ වැඬේ කරන්නෙ නැහැ. ආයෙ කිසි දවසක මේ හිස් ජීවිතය උදෙසා උදලු කෙටිය මේ අත් දෙකෙන් අල්ලන්ට මට ඕන කමක් නැහැ’ කියල හැකිතාක් වීරිය අරගෙන ඈත ගැඹුරු මඩවලකට වීසි කළා. එදා මොහුට මහ සතුටක් ඇතිවුණා. සතුටින් යුතුව ස්වාමීන් වහන්සේලා සොයා ගෙන ගියා. ආයෙමත් පැවිදි වුණා. මොහු වසඟ වූ සිතටම හසුව සිටි නිසා ‘චිත්තහත්ථ’ යන නම පටබැඳුණා.
මොහුට බාධාව වශයෙන් තිබුණ උදලුකෙටිය අත්හළ නිසා හිතට වීරිය ගෙන භාවනා කළා. අරතිය එනකොට මැඬගත්තා. ශ්රද්ධාව හොඳින් පිහිටුවා ගත්තා. ධර්මය අවබෝධ කිරීමේ අරමුණ සිත තුළ ස්ථිර කරගත්තා. සතර සතිපට්ඨානයේ සිත මනාව පිහිටියා. චතුරාර්ය සත්ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වුණා. රහතන් වහන්සේ නමක් බවට පත්වුණා.
චිත්තහත්ථ තෙරුන් වහන්සේ ඉතාම සතුටින් සැනසිල්ලේ කල් ගත කරන ආකාරය දුටු ස්වාමීන් වහන්සේලා “ඇයි… දැන් ආයෙමත් ගෙදර යන්න හිතෙන්නෙ නැද්ද…? කියලා ඇසුවා. “ගෙදර විතරක් නෙවෙයි, මං ආයෙ සසරෙවත් යන්නෙ නෑ කියල පිළිතුරු දුන්නා. මේ තුළින් උන්වහන්සේ අරහත්වය ප්රකාශ කළා කියල ඇතැම් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා සිටියා. එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ ඉල්පෙන ශ්රද්ධාව තිබුණොත් ප්රඥාව වැඩෙන්නෙ නැති බවයි. එ් බව සඳහන් කරමින් මෙහි පළමු ගාථාව වදාළා. කාම අරමුණු වලින් ඇතිවෙන රාගයෙන් සිත තෙමා නොගත්, පින් පව් ප්රහාණය කළ නිදි වරමින් භාවනා කරන රහතන් වහන්සේ කෙනෙකුට කිසි දිනෙක කෙලෙසුන්ගෙන් භයක් හටගන්නේ නැහැ කියලා දෙවන ගාථාව වදාළා.
අනවට්ඨිතචිත්තස්ස
සද්ධම්මං අවිජානතෝ
පරිප්ලවපසාදස්ස
පඤ්ඤා න පරිපූරති
සසරින් එතෙර වීමට
නොපිහිටන විට මේ සිත
එ් උතුම් සිරි සදහම්
තේරුම් නොගෙන සිටි විට
කිසි අරුතකුත් නොමැතිව
වහා පැහැදෙන සිතක් ඇති විට
ඔහු තුළ කිසි දිනක
නැත නුවණ නම් දියුණු වන්නේ
අනවස්සුතචිත්තස්ස
අනන්වාහතචේතසෝ
පුඤ්ඤපාපපහීනස්ස
නත්ථි ජාගරතෝ භයං
කෙනෙකුගේ සිත තුළ
නොවැගිරෙයි නම් රාගය
ද්වේෂයෙන් කිසි කලෙක
පහරකන සිත් නැති විට
පින් පව් හැමදෙයම
දුරු කළ සිතින් සිටිනා
නිදිවරන එ් රහතුන්
කිසිදිනක තැති නොගනිති
‘මම මේ වැඩේ කරනවා’ කියලා තමා කරන කටයුත්ත ගැන ස්ථිරව සිත පිහිටුවා ගන්නෙ නැත්නම් කිසි දෙයක් සාර්ථක කරගන්නට බැහැ. පොඩි දරුවන්ට පොත පත පාඩම් කිරීමට වුණත් එහෙම තමයි. තමන් තුළ ලොකු අධිෂ්ඨානයක් තිබෙන්නට ඕන. එතකොට බාහිර දේවල් වලට සිත යොමුවෙන්නෙ නැහැ. ටීවී බල බල ඉන්න සිත යොමු වෙන්නෙ නැහැ. සෙල්ලමටම සිත යොමු වෙන්නෙ නැහැ. විකාර දේවල්වලට යොමු නොවී පොත පතේ වැඩ වුණත් හොඳින් කරගන්නට පුළුවන්. පැවිදි කෙනෙකුට විශේෂයෙන්ම බලපානවා. එහෙම නැතිවුණොත් තමන් පැවිදි වූ අරමුණ කලක් යන විට මුළුමනින්ම වෙනස් වෙලා යනවා. එහෙම වෙනස් වුණොත් ධර්මය අවබෝධ කරනවා තියා චතුරාර්ය සත්යය යන නම ඇහෙන කොටත් කේන්ති යනවා. මගඵල ලබනවා යන නම ඇහෙන කොටත් තරහා එනවා. නිවන කියන වචනයටත් විහිළු කරනවා. මේකට හේතුව සිත තුළ පැවිදි ජීවිතය නිවන් මගට යෙදවීමේ අධිෂ්ඨානය නැතිකමයි. එතකොට හිත පහදින්නෙ නැහැ. ශ්රද්ධාව පිහිටන්නෙ නැහැ. එක එක දේවල්වලට පහදිනවා. එහෙම කෙනෙකුට ප්රඥාව වැඩෙන්නෙ කොහොමද?
නමුත් සිත රැකගන්නවා නම් එ් කෙනා බේරෙනවා. සිත රැක ගන්නට තියෙන්නේ සතර සතිපට්ඨානය තුළමයි. සතර සතිපට්ඨානය තුළ හොඳින් සිත රැකගන්නා කෙනා තම සිත රාග අරමුණු වලින් තෙමෙන්නට දෙන්නෙ නෑ. එ් වගේම ද්වේෂය ඇතිවෙන අරමුණු වලින් බැට කන්නට දෙන්නෙ නෑ. හැම තිස්සේම සිත රැකගන්නවා. භාවනාව දියුණු කරනවා. සීලයත්, සමාධියත්, ප්රඥාවත් හොඳින් ප්රගුණ කරනවා. එ් තුළින්ම පින් පව් ප්රහාණය කරලා නිවන ස්පර්ශ කරනවා. නිදි වරමින් බණ භාවනා කරන එ් වීරියවන්ත රහතන් වහන්සේ හට භයක් ඇතිවන්නට කිසි කරුණක් නැහැ.No photo description available.