එහෙත්, ලෝකයේ මතුවන එක්තරා ප්‍රශ්න විශේෂයක්, ලොව්තුරා සර්වඥයන් වහන්සේලා විසින් ද පිළිතුරු නොලබන්නේය.
බුදුන් වහන්සේලාට යොමුවන ප්‍රශ්න වර්ග 4ක් ඇත.
1) එකංසව්‍යාකරණීය ප්‍රශ්නය
2) විභජ්ජව්‍යාකරණීය ප්‍රශ්නය
3) පටිපුච්ඡාව්‍යාකරණීය ප්‍රශ්නය
4) ඨපනීය ප්‍රශ්නය
සිංහලාර්ථයෙන් ගත් කළ,
1. ඇසූවිට එකවර පිළිතුරු දෙන ප්‍රශ්න
2. ප්‍රශ්නයක් ඇසූවිට බුදුන්වහන්සේ ද ප්‍රශ්නයක් නඟා පිළිතුරු දීම.
3. ප්‍රශ්නයකට විග්රහකොට පිළිතුරුදීම.
4. පිළිතුරු නොදී අතහරින ප්‍රශ්න
මෙහි ඨපනීය ප්‍රශ්න යනු බුදුන් වහන්සේ ඍජු පිළිතුරු නොදෙන ප්‍රශ්නය.
මේ ඨපනීය ප්‍රශ්න යනු මොනවාදැයි සොයා බැලීමේදී විවිධ ලේඛන වල විවිධාකාරයෙන් දක්වා ඇති මුත්, මෙහිදී මිලින්ද ප්‍රශ්නයෙහි සඳහන් නාගසේන මහරහතන් වහන්සේ විසින් වදාළ "ඨපනීය ප්‍රශ්න" මින් මතු සඳහන් කිරීමට කැමැත්තෙමි.
1) "ලෝකය නිත්‍යද?" යි කියා ශාස්වත දෘෂ්ටි වශයෙන් විචාරීම
2) "ලෝකය තෙම අනිත්‍යය, මරණින් මතු නැත ද" කියා උච්ඡේද දෘෂ්ටි වශයෙන් විචාරීම
3) කසිණාලෝකයෙන් චක්‍රාවාටය(අප මන්දාකිණිය?) පර්‍යන්ත කොට දැක "ලෝකය *අන්තය" යි කියා ගන්නා වූ අන්තවාදදෘෂ්ටි වශයෙන් ප්‍රශ්න විචාරීම
4) කසිණාලෝකයෙන් චක්‍රාවාටය පර්‍යන්ත කොට බොහෝ සක්වළවල් දැක "ලෝකය *අනන්තය" යි කියා ගන්නාවූ අනන්තවාදදෘෂ්ටි වශයෙන් ප්‍රශ්න විචාරීම
5) "මේ ලෝකය උඩින් යටින් කෙළවර ඇත. සරස අනන්ත ය" යි කියා දැක ගන්නාවූ අන්තානන්තවාද දෘෂ්ටි වශයෙන් ප්‍රශ්න විචාරීම
6) "මේ සත්ත්ව ලෝකය නොම *අන්තය. *අනන්තත් නොවේ" කියා විතර්ක සිතීමෙන් වැටහුණු පමණකට ගන්නාවූ නෙවන්තනානන්තවාද දෘෂ්ටි වශයෙන් ගෙන ප්‍රශ්න විචාරීම
7) "තං ජීවං තං සරීරං" යනුවෙන් "ඒ ජීවිතයම ඒ ශරීරය" යි කියා උච්ඡේදදෘෂ්ටි වාදයෙන් ප්‍රශ්න විචාරීම.
8) "අඤ්ඤං ජීවං අඤ්ඤ්ං සරීරං" යනුවෙන් "ජීවිතය අනිකෙකය. ශරීරය අනිකකැ" යි කියා ශාස්වතවාදයෙන් ප්‍රශ්න විචාරීම
9) "සත්ත්වතෙම මරණින් මත්තෙහි නොවන්නේය" යි කියා ද "නොවන්නේ නොවෙ" යි කියා ද(මරණින් මතු ඇත හෝ නැත යන දෙකම) මෙසේ අමරාවික්ෂෙපිකදෘෂ්ටි වශයෙන් ප්‍රශ්න විචාරීම
(මෙහි 7) යනු හේතුවාදී/මානවවාදී/භෞතිකවාදී බහුතරය නූතනයේ එල්බගෙන සිටින "මොළය නම් මනස වේ" යැයි ගන්නාවූ දෘෂ්ටියම මිස අනෙකක් නොවේ යන්න මාගේ හැඟීමය)
මෙම ප්‍රශ්න ආකාර 9 ට බුදුන් වහන්සේ නමක් ඍජු පිළිතුරු නොදෙයි.
බුදුන් වහන්සේ සත්ත්වයාට දේශනා කළ කොටසේ හා උන්වහන්සේ අවබෝධ කළ කළ කොටසේ ප්‍රමාණයන් සංසන්දනාත්මකව උන්වහන්සේ උපමා මඟින් ද දක්වා ඇත.
එය එසේ වූයේ ගුරුමුෂ්ටි නිසා නොව, සර්වඥානයන්ට පමණක් වටහාගත හැකි හා ඨපනීය වූ දැනුම ද උන්වහන්සේගේ අවබෝධ පරාසයේ පවතින බැවිනි.
ශාස්වත , උච්ඡේද වාදයන් නම්, උපතිස්ස(සැරියුත් මහ තෙරුන් ගිහි කළ) පිරිවැජිතෙම අස්සජී මහරහතන් වහන්සේගේන් ද විමසූ කළ ඍජු පිළිතුරු නොදුන් ප්‍රශ්න බව ඔබ දන්නවා ඇති.
ඨපනීය ප්‍රශ්නයන්ට බුදුන් වහන්සේලා පිළිතුරු නොදෙන්නේ මන්ද යන්න, නාගසේන මහරහතන් වහන්සේගේ වදනින්ම සඳහන් කර ලිපිය නිමා කරමි
"ප්‍රශ්නයතෙම කවර කාරණයකින් ඨපනීය විද? යත්- ඒ ප්‍රශ්නයාගේ දැක්වීමෙන් සසර දුක් නසන නිවන් පිණිස හේතුයෙක් හෝ කාරණයෙක් හෝ නොම ඇත්තේය. එහෙයින් ඒ ප්‍රශ්නය ඨපනීය වී ය. භාග්‍යවත් වූ අනන්ත බුදුවරයන් වහන්සේලාගේ අකාරණ වූ අහේතුක වූ වචන කිමෙක් නැත"
-නාගසේන රහතන් වහන්සේ
No comments:
Post a Comment