Wednesday, March 13, 2019

සප්ත භාර්‍යාවෝ

සප්ත භාර්‍යාවෝ

"පුරුෂයෙකුට මේ භාර්‍ය්‍යා සත් දෙනෙක් වෙති. කවර සත් දෙනෙක යත්:
       1. වධකසමා ය
       2. චොරීසමා ය
       3. අර්‍ය්‍යසමා ය
       4. මාතුසමා ය
       5. භගිනීසමා ය
       6. සඛීසමා ය
       7. දාසිසමා ය

ඒ විස්තරය මෙසේ ය. 

1. වධකසමා
යම් බිරියක් දුෂ්ට සිත් ඇත්තී ද, හිතානුකම්පා නැත්තී ද, පරපුරුෂයන් කෙරෙහි ඇලුනී ද, සිය සැමියා ඉක්ම සිතා ද, ධනයෙන් විකොට ගෙන වධ කිරීමට උත්සුක වේ ද, පුරුෂයකුට සිටිනා මෙබඳු බිරිය වන්නී වධකසමා යැයි කියනු ලැබේ.

2. චෞරිසමා
ස්ත්‍රියගේ හිමි තෙම ගොවිකම් ආදිය කරමින් යම් ධනයක් ලබා ද, ස්ත්‍රිය ඒ ධනයෙන් අල්පයක් හෝ පැහැරගනු කැමැති වෙද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම්, ඇය චෞරිසමා යැයි කියනු ලැබේ.

3. ආර්‍යසමා
ගේ දොර කටයුතු නොකරන්නී අලස වූවා බොහෝ කොට අනුභව කරන්නී රළු වූවා සැඬ වූවා කැකුළු තෙපුල කියන්නී හිමිහුගේ උත්ථානසම්පදාවට බාධා කරන්නී වී ද, පුරුෂයාගේ මෙබඳු ඒ බිරිය ආර්‍ය්‍යසමා යැයි කියනු ලබයි.

4. මාතෘසමා
යම් බිරියක් හැම විට හිතානුකම්පා ඇත්තී මවක් පුතකු සෙයින් හිමියා රක්නී ද, ඔහු විසින් උපයනලද ධනයත් රක්නී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම් ඈ මාතෘසමා යැයි කියනු ලැබේ.

5. භගිනිසමා
දෙටු බෑයා කෙරෙහි කණිටු බුහුන යම්සේ පවත්නී ද, එසෙයින් සිය හිමිහු කෙරෙහි ගෞරව සහිත වේ ද, ලජ්ජා සිත් ඇත්තී ද, හිමිහුගේ වශය අනුව වැටෙන්නී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම් ඇය භගිනිසමා යැයි කියනු ලැබේ.

6. සඛීසමා
මෙ ලොවෙහි යම් බිරියක් බොහෝ කලෙකින් පැමිණි යහළුවකු දැක තුටු වන යෙහෙළියක සෙයින් සිය හිමිහු දැක ප්‍රමුදිත වී නම්, කුලසපන් වූවා සිල්වත් වූවා පතිව්‍රත ඇත්තී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම් ඇය සඛීසමා යැයි කියනු ලැබේ.

7. දාසිසමා
(හිමියා විසින්) දඬු ගෙණ තර්ජනය කරණලද්දී පවා නොකිපුනි ම දුෂ්ට චිත්ත නැත්තී හිමිහට ක්ෂමා කරන්නී ද, නො කිපෙනසුලු වූවා හිමියාගේ වශයෙහි වැටෙන්නී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම්, ඈ දාසිසමා යැයි කියනු ලැබේ.

මෙ ලොව්හි යම් බිරියක් වධකා යයි කියනු ලබා නම්, යම් බිරියක් චොරී ය යි ද අය්‍යා යි ද කියනු ලබා නම්, දුඃශීලස්වභාව ඇති රළු වූ ආදර නැති ඔවුහු මරණින් මතු නිරයට යති.

මෙ ලොව්හි යම් බිරියක් මාතෘභාර්‍ය්‍යා යයි ද භගිනිභාර්‍ය්‍යා යයි ද සඛීභාර්‍ය්‍යා යයි ද දාසිභාර්‍ය්‍යා යයි ද කියනු ලබා නම්, ශීලයෙහි පිහිටි සිත් ඇති චිරරාත්‍රයෙහි සංවෘත වූ ඔවුහු මරණින් මතු සුගතියට යති.

(අ.නි. සප්තක නිපාත - සත්තභරියා සූත්ත)

ප්‍රේත ලෝක දොළහ.

ප්‍රේත ලෝක දොළහ .
•••••••••••••••••••••••••••

(01) සෙම සොටු ආහාර කොට ඇති වත්තාස නම්  ප්‍රේත ලෝකය.

(02)  මිනිසුන් ගේ හා සතුන්ගේ මළකුණු ආහාර කොට ඇති කුණපාස නම් ප්‍රේත ලෝකය.

(03)  අසුචි ආහාර කොට ඇති ගුථඛාදක නම් ප්‍රේත ලෝකය.

(04)  කටින් නික්මෙන්නා වු ගිනි දැල් ඇති  අග්ගිජාල මුඛ නම් ප්‍රේත ලෝකය.

(05)  ඉදිකටු මලකය පමණ වු මුඛයක් ඇති මහ සැලිසිලික් පමණ බඩ ඇති සුවිමුඛ නම් ප්‍රේත ලෝකය.

(06)  සාගින්නෙන් හා පිපාසයෙන් නිතර පෙලෙන බැවින් ආහාර පාන ආශාවෙන් පෙළෙන තණ්හාටිවික නම් ප්‍රේත ලෝකය.

(07)  ගින්නෙන් දා ගිට කණුවක් මෙන් වියලී ගිය ශරීර ඇති සුනිජ්ඤාමක නම් ප්‍රේත ලෝකය.

(08)  ආයුධ වැනි වු තියුණු තමාගේ ශරීරයම කැපෙන නිය ආදි ශරීර අවයව ඇති සතංග නම් ප්‍රේත ලෝකය.

(09)  පරවිත නම් විශාල ශරීර ඇති පබ්බතංග නම් ප්‍රේත ලෝකය.

(10)  පිඹුරන්ගෙනන් ශරීර වැනි ශරීර ඇති අජහරංග නම් ප්‍රේත ලෝකය  .

(11)  විමාන වල ඉපිද සැප දුක් දෙකම කලින් කල  විඳින්නා වු වේමානික නම් ප්‍රේත ලෝකය. .

(12)  කැලෑවල වාසය කරන්නා වු මහත් වු සෘද්ධි ද ඇති මහිංධික නම් ප්‍රේත ලෝකය.

තෙරුවන් සරණයි !!!

                   
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

අට මහ නරකය පිළිබඳ තොරතුරු මේ ලිපියෙන් දැක්වේ. .

අට මහ නරකය පිළිබඳ තොරතුරු මේ ලිපියෙන් දැක්වේ.
.
පාළි භාෂාවෙහි නිරය යන වචනය පරමත්ථජෝතිකාව නම් විනය අටුවාවේ විස්තර කර ඇත්තේ සතුට හෝ සැපත මුළුමනින් ම තොර වූ ස්ථානය යනුවෙනි. වැරැදි කරන්නවුන් මරණයෙන් පසු ඔවුන්ගේ පාපකාරී ක්‍රියා නිසා නැවත උපදින අපාය භූමිවලින් එකක් වන්නේ නිරය යි.

ඒ ඒ පුද්ගලයා විසින් කරන ලද පව්කම්වල ප්‍රමාණය හා ඒවායේ විපාක දීමේ ශක්තිය අනුව නිරයට වැටෙන ඇතැම්හු ඉතා සුළු කාලයක් ද, ඇතැම්හු ගණනය කළ නොහැකි තරම් දිගු කාලයක් ද නිරයෙහි දුක් විඳිති. මේ සඳහා හොඳ උදාහරණයක් ලෙස දෙව්දත් තෙරණුවන් පෙන්වා දිය හැකි ය. උන් වහන්සේ බුදු රජාණන් වහන්සේට ද, සංඝ සමාජයට ද එරෙහි ව යෑම හේතුවෙන් මරණින් මතු ඉතා දරුණු දුක් ලබා දෙන අවීචි මහා නරකයෙහි උපන් සැටිත්, පැවිදි ව සිට රැකි සීලාදි ගුණධර්මයන්ගේ යහපත් විපාක වශයෙන් ඉතා දීර්ඝ කාලයකට පසු අවීචි මහා නරකයෙන් මිදී අවුත් අනාගතයේදී සට්ඨිස්සර නම් පසේබුදුවරයකු වන බවත් සම්බුදු මුවින් ම ප්‍රකාශ කොට ඇත.

අද අපි මෙම ලිපියෙන් මහා නිරය අට පිළිබඳ ව සරල ව විමසා බලමු. මේ මහා නිරය අට නම්:

1. සංජීව නරකය
2. කාළසුත්ත නරකය
3. සංඝාත නරකය
4. රෞරව නරකය
5. මහාරෞරව නරකය
6. තාප නරකය
7. ප්‍රතාප නරකය
8. අවීචි නරකය

▬▬▬▬▬

1. සංජීව නරකය
සංජීව නරකයෙහි වැටුණු පව් කළ අය එම නිරය පාලකයන් විසින් දිලිසෙන රත් වූ ආයුධවලින් තළා පොඩි කර කෑලිවලට කපනු ලැබේ. ඔවුන්ගේ පව් කම් විපාක දී අවසන් වන තෙක් ම ඔවුහු මේ දඬුවම නැවැතනැවැතත් විඳිති. තමා කළ පවට අනුරූප ව නැවැතනැවැතත් එක ම දඬුවම බොහෝ කල් විඳින්නට සිදු වන නිසා මේ නිරය සංජීව නරකය ලෙස හැඳින්වේ.

වෙහෙර-විහාර පෙති පිළිමාදිය කැඩුවෝ ද, අවැඩදායි තැන්වල නිර්මල බුදු රදුන්ගේ ප්‍රතිමා රූප තබා නිග්‍රහ කිරීමට සැලසුවෝ ද දහම් බණ පොත් විනාශ කළෝ ද, සිල්වත් ගුණවත් උතුමන්ට නින්දා අපහාස කළෝ ද, වන්දන-මානන කරනු ලබන බෝ රුක් වැනසුවෝ ද වඳින-පුදන තැන් අපවිත්‍ර කළෝ ද, ගෙවල් ගිනි තැබුවෝ ද, උන්–හිටි තැන් නැති කළෝ ද, නැති සිල් පෙන්වා ජනතාව මුළා කළ පැවිද්දෝ ද මෙම සංජීව නරකයට වැටී මහා භයානක දුක් විඳින්නෝ ය.

මිනිස් හට පණස් අවුරුද්දක් චාතුම්මහාරාජිකයෙහි දෙවියන්ට එක් දවසකි. එදවසින් තිස් දවසක් මසක් වෙයි. එමසින් දොළොස් මසක් අවුරුද්දක් වේ. ඒ අවුරුද්දෙන් එකී දෙවියනට පන්සියයක් අවුරුදු ආයුෂ ය. ඒ දිව්‍යායුෂ වූ අවුරුදු පන්සියය සංජීව නරකයෙහි එක් දවසක් වේ. එදවසින් තිස් දවසක් මසක් වෙයි. එමසින් දොළොස් මසක් අවුරුදු වෙයි. ඒ අවුරුද්දෙන් පන්සියයක් අවුරුදු ඒ නරකයෙහි ආයුෂ ය. මේ අනුව මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ අනූ ලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි.

එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු වසර පන්සියයක් සංජීව නරකයෙහි ආයුෂ ප්‍රමාණය වේ.

▬▬▬▬▬

2. කාළසුත්ත නරකය
කාළසුත්ත නරකයෙහි යම පල්ලන් විසින් මෙහි උපදින්නන්ගේ සිරුරු කළු පැහැ ගත් නූලකින් සලකුණු කරන ලද සීමාවන් අනුව වෑයෙන් සසිනු ලැබේ. මේ දඬුවම තමන් විසින් කරන ලද පාපකර්මයේ ශක්තිය හා ප්‍රමාණය අවසන් වන තෙක් විඳීමට ඔවුන්ට සිදු වේ. මේ නරකයෙහි වැටුණු නිරි සතුන්ගේ සිරුරු කළු නූලකින් සලකුණු කෙරෙන නිසා එම නරකයට කාළසුත්ත (කළුනූල) යන නම ව්‍යවහාර කරනු ලැබේ.

තම මවු-දෙමවුපියන්ට අගරු කළ, නොසැලකූ, හිංසා පීඩා කළ, දුර්ජන පුද්ගලයෝ ද, සුරාවට-සූදුවට, අනාචාරයට ඇබ්බැහි වී තම අඹු-දරුවන්ට හිරිහැර හිංසා පීඩා කළ පුද්ගලයෝ ද නිවැරදි අයට විවිධ අසත්‍ය චෝදනා ඉදිරිපත් කොට අවමන් කළෝ ද සේවය කළ අයට නිසි පරිදි සැලකිලි නොකොට වැටුප් ආදිය නොගෙවූවෝ ද නොසැලකිලිමත් ලෙස ක්‍රියා කොට අන් අය මරණයට හිංසාවට පීඩාවට අහේනියට නැතිබැරි තත්ත්වයට පත් කළෝ ද අන් සතු වස්තුව වංචා සහගත අයුරින් රවටා ලියා-කියාගත්තෝ ද අසරණ දුකට පත් අයට කිසි විටෙකත් උපකාරයක් නොකළෝ ද කතාබස් කරන විටදී ද හිත් රිදෙන වචන ඇණුම් පද සහ නපුරු වචනවලින් කතා-බස් කළෝ ද, සත්ත්ව ඝාතනය කළෝ ද, වස-විස කවා හදි-හූනියම් කොට අන් අය විනාශ කළෝ ද මෙම කාල සූත්‍ර නරකයෙහි පහළ වී, අනන්ත විඳි.

මිනිස් හට සියක් අවුරුදු තව්තිසා වැසි දෙවියන්ට එක් දවසක් වෙයි. ඒ දවසින් එහි දෙවියන්ට පූර්වෝක්ත ක්‍රමයෙන් දහසක් අවුරුදු ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සහස්‍රය කාළසුත්ත නරකයෙහි එක් දවසක් වෙයි. ඒ දවසින් දහසක් අවුරුදු එම නරකයෙහි ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වසර තුන්කෝටි හැටලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු වසර දහසක් කාළසුත්තයෙහි ආයුෂ ප්‍රමාණය වේ.

▬▬▬▬▬

3. සංඝාත නරකය
සංඝාත නරකයෙහි උපන් පව් කළ තැනැත්තේ දිලිසෙන උණුසුම් කඳු වළල්ලකින්, දූවිලි තරමට කුඩා කැබැලිවලට කඩාදමන හෙයින් මෙම නරකයට සංඝාත යන නම ව්‍යවහාර වේ.

මෙම සංඝාත නමැති භයානක නරකයෙහි උපත ලබන්නෝ කෙබඳු පාපකර්ම කරගත්තෝ දැ යි බලමු. අසරණ අහිංසකයනට අයත් ඉඩම-කඩම හෝ අනෙක් වස්තුවක් හෝ රැකගෙන සිට මුදලක් හෝ සටකපටකම්වලින් වංචා කොට ගසාකෑවෝ ද, පොදු මහජන සන්තක දේ රජයේ දේපළ ගසාකෑවෝ ද අවි-ආයුධවලින්, පොලු-මුගුරුවලින් පහර දී ගව මහීෂාදීන් පමණක් නො ව, මිනිසුන් පවා දුකට වේදනාවට මරණයට පත් කළෝ ද, හදිසියකට, විපතකට කෙනකුගෙන් ලබාගත් මුදල් හැකියාව තිබියදී ආපසු නොගෙවා මගහැරියෝ ද මිල-මුදලට වාසියට ප්‍රයෝජනයට තම අතදරුවන් අකරුණාවන්ත ලෙස විකිණූ දුර්ජන ස්ත්‍රී-පුරුෂයෝ ද, අකාරුණික ලෙස සේවක- කාරකාදීන්ගෙන් මෙන් ම ගවමහීෂාදීන්ගෙන් වැඩ ගත්තෝ ද මේ සංඝාත අපායෙහි උපත ලබති.

මිනිස් හට දෙසීයක් අවුරුදු යාම දෙව්ලොව දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් එහි දෙවියන්ට දෙදහසක් අවුරුදු ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සංඝාත නරකයේ එක් දවසක් වෙයි. එදවසින් දෙදහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වසර දාහතර කෝටි හතළිස් ලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු වසර දෙදහසක් සංඝාත නරකයේ ආයුෂ වේ.

▬▬▬▬▬

4. රෞරව නරකය
රෞරව නරකයේ ඉපදුණු පව් කළ සත්ත්වයෝ නිතර ම ඉතා උස් හඬින් හඬන්නේ ඉතා බියකරු හානි දායක විෂ දුමකින් ඔවුන්ගේ සිරුරු පිලිස්සෙන බැවිනි. මේ නිසා මේ නරකයට ධූම රෝරුව හෙවත් රෞරව නරකය යැ යි කියනු ලැබේ.

සතුන් මැරුවෝ ද, සොරකමට අනුබල දුන්නෝ ද මං පැහැරුවෝ ද, මිල-මුදලට විවිධ වැරදි දේ සහ මනුෂ්‍ය ඝාතන කළෝ ද, ගෙවල්-දොරවල් ගිනි තැබුවෝ ද ගංගා ඇළ දොළ, වැව් පොකුණු අපිරිසුදු කළෝ ද ඒවා විනාශ වී යෑමට කටයුතු කළෝ ද කෝපයෙන් ක්‍රෝධයෙන් ජනයා පරිහරණය කරන ළිං පොකුණු වසා දැමුවෝ ද, මත්ද්‍රව්‍ය, මත් පැන්, මත් කුඩු ආදි විනාශකාරී දේ ජනයා අතර ප්‍රචලිත කළෝ ද, අනාචාරයෙහි යෙදුණු ස්ත්‍රී-පුරුෂයෝ ද, පාපකාරී දරුණු පුද්ගලයන්ට අත-හිත දී උපකාර කොට ඔවුන් ලවා විවිධ අපරාධ කරවූවෝ ද රෞරව නරකයෙහි පැසෙන්නා හ.

මිනිස් හට හාරසියයක් අවුරුදු තුසිත පුරයේ දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් හාරදහසක් අවුරුදු එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ රෞරව නරකයේ එක් දවසක් වෙයි. එදවසින් හාරදහසක් අවුරුදු ඒ නරකයෙහි ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ පණස්හත් කෝටි හැටලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින 30ක් මාසයකි. මාස 12ක් අවුරුද්දකි. එබඳු වසර හාරදහසක් රෞරව නරකයේ පරමායුෂ වන්නේ ය.

▬▬▬▬▬

5. මහාරෞරව නරකය
මහා රෞරව නරකයෙහි උපදින සත්ත්වයෝ රෞරව නරකයේ ඉපදුණු අයට වඩා මහ හඬින් විලාප දෙති. මහා රෞරව යන වචනය එයට ව්‍යවහාර කරන්නේ ඒ හේතුවෙනි. එසේ ම මේ නරකයෙහි උපදින සත්ත්වයෝ අපායේ ගිනිදැල්වලින් නිරන්තරයෙන් පිලිස්සෙමින් දුක් විඳිති. එහෙයින් ඊට ජාල රෝරුව යන නම ද යෙදේ.

මෙලොවක් නැත, පරලොවක් නැත, දීමෙහි කුසල විපාකයක් නැත, කෙසේ හෝ තමා ජීවත් විය යුතු ය, ඒ සඳහා කවර වරදක් කළ ද නරක විපාකයක් නැත… ආදි මිථ්‍යා දෘෂ්ටි ඇත්තෝ ද ගවයන්, ඌරන් එළුවන් කුකුළන් හා නොයෙක් පක්‍ෂි වර්ග ද අල්ලාගෙන ගසා තළා පෙළා මරාගෙන මස් කෑවෝ ද මවු-පිය-ගුරුවරු ආදීන්ට අකෘතඥ වී ඔවුන්ගෙන් ලද සේවය ගැන නොසලකා ඔවුන්ට හිංසා-පීඩා කළෝ ද, උන් හිටි තැන් නැති කළෝ ද නැති-බැරි අහිංසක මිනිසුන් දුක සේ උපයාගත් මිල-මුදල් ආදිය විපත් අවස්ථාවලදී ගැනීමට විශ්වාසය තබා භාර දුන් විට එම විශ්වාසය කඩා එම ධනය ගසාකෑ වංචනිකයෝ ද මෙම මහා රෞරව නරකයෙහි වැටෙන්නෝ ය.

තව ද: සැදැහැ සිතින්, හැකි පමණින් පින්වත් මිනිසුන් විසින් පූජා කරන ලද සඟ සතු දේපළ, මහජන දේපළ අයුතු ලෙස පරිහරණය කළ ගිහියෝ මෙන් ම පැවිද්දෝ ද, අභ්‍යන්තරයෙහි කරුණා මෛත්‍රී සීලාදිය නැති ව අන් අය මුළා කරනු පිණිස නැති ගුණ පෙන්වා ජනයා මුළා කොට මිලමුදල් සම්පත් ලද්දෝ ද මෙම නරකයට වැටෙන්නෝ ය. තම දරුවන් බැළ-මෙහෙවරකම්වලට විකිණුවෝ ද අහිංසක දූ-දරුවන් අනාචාරයෙහි යොදවා මිල මුදල් ඉපයූවෝ ද, කුලියට මිනී මැරුවෝ ද කාන්තාවන් රවටා ස්ත්‍රී දූෂණ කළෝ ද, රජවරුන්ට, මැති-ඇමතිවරුන්ට, ජන ප්‍රධානීන්ට කේළම් කියා ඔවුනොවුන් බිඳුවා නිවැරදි අහිංසක ජනයාට විවිධාකාර පීඩා කළෝ ද, කිසිවකුගේ හෝ හොඳක් හොඳක් හැටියට නොපිළිගෙන අනුන්ගේ අගුණ ම පවසමින් අන් අය අපහාසයට, උපහාසයට ලක් කරමින් වාචාල කතා කියන අසත්පුරුෂයෝ ද යන සියලු දෙනා ද මෙම රෞරව නරකයට වැටී කල්ප ගණන් බිහිසුණු දුක් විඳින බව දේවදූත සූත්‍ර වර්ණනාවේ දැක්වේ.

මිනිස් හට අටසියයක් අවුරුදු නිම්මාණරතියෙහි දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් අවුරුදු අටදහසක් එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ මහා රෞරව නරකයෙහි එක් දවසක් වෙයි. එදවසින් අටදහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ දෙසිය තිස් කෝටි හතළිස් ලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු අවුරුදු අටදහසක් මහා රෞරව නිරයට ආයුෂ වන්නේ ය.

▬▬▬▬▬

6. තාප නරකය
තාප නරකයෙහි උපන් සත්ත්වයෝ තමන් කළ කර්මානුරූප ව රත් වීමෙන් රත් පැහැ ගැන්වුණු තියුණු යකඩ උල්වලින් සිරුර පසා කරගෙන යන ලෙස විදිනු ලබන කල්හි තද වේදනාවෙන් පෙළී නිසොල්මන් ව සිටිති. ඔවුන් කළ පාප කර්මය ගෙවී අවසන් වන තෙක් ම ඔවුහු මේ නරකයෙහි දුක් විඳිති. ගිනි ගත් අයෝමය දණ්ඩෙන් සිරුරු විදිනා කල්හි එයින් බොහෝ කලක්, තැවිතැවී දුක් විඳිනා හෙයින් මේ නරකය තාපන හෙවත් චුල්ල තාපන නරකය නමින් හැඳින්වේ.

අදමිටු අයුරින් සතර අගතියෙන් බැඳී රට-රාජ්‍යයන්, ප්‍රදේශයන් පාලනය කළ රාජ-රාජ-මහාමාත්‍යවරු ද, ඔවුන්ගේ පුරෝහිතයෝ ද, වංක ලෙස කටයුතු කළ රජයේ නිලධාරීහු ද, නිසි ලෙස සේවය නොකොට අයථා පරිදි රාජ්‍ය දේපළ සූරා කෑවෝ ද, රාජ්‍ය සේවය නිසි පරිදි ඉටු නොකොට අයුතු ලෙස ධන සම්පත් ගසා කෑ නිලධාරීහු ද මේ බිහිසුණු නරකාදියට වැටෙන්නෝ ය. රජයට ධනය ලැබෙන්නේ පහළ මට්ටමේ දිළින්දාගේ පටන් මහා ධන කුවේරයන් දක්වා වූ සකලවිධ ජනතාවගෙන් ලබාගන්නා අය බදුවලිනි. යමකු බදු වංචා කරන්නේ නම් රජුට රට වෙනුවෙන් කළ යුතු සේවය නොකළ හැකි වන්නෝ ය. බදු වංචා කරන්නන් මෙන් ම, තමා ගන්නා වේතනයට සරිලන අයුරින් සේවය නොකොට ගතමනාව ලබාගන්නෝ ද රටට ණයකාරයෝ වන්නෝ ය. මේ වංචනික ක්‍රියාවන්ගේ අකුසල පක්‍ෂය විසින් ඔවුහු තාපය නම් අපායට හෙළනු ලබති.

මිනිස් හට එක්දහස් හයසියයක් අවුරුදු පරනිම්මිත වසවත්තියෙහි වැසි දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් අවුරුදු දහසය දහසක් එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සොළොස් දහස තාපන නරකයෙහි එක් දවසක් වෙයි. එදවසින් දහසය දහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ නවසිය විසිඑක් කෝටි හැට ලක්‍ෂයක් මේ නිරයට එක් දවසකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු අවුරුදු දහසය දහසක් තාප නරකයට ආයුෂ වන්නේ ය.

▬▬▬▬▬

7. ප්‍රතාප නරකය
මහා තාපන නරකය ලෙස හැඳින්වෙන නරකයෙහි නිරය පාලකයෝ නිරයෙහි උපන් සත්ත්වයන් ගිනි ගෙන දිලිසෙන අයෝමය කඳු මුදුන්වලට යවති. ඔවුහු එහි නැඟි වහාම තද උණුසුම් සුළඟකින් තල්ලු වී පහළට රූරා වැටෙති. ඔවුන් පහළට රූරා වැටෙන්නේ ද පහළ ඇති ගිනියම් වූ අයෝමය තහඩු මතට ම ය. එයින් ඔවුහු වඩවඩාත් දරුණු පීඩාවට ලක් වෙති. තමන් මෙයට පෙර ආත්ම භවයේදී කළ බලවත් පාප කර්මයන්ගේ ශක්තිය අවසන් වන තුරු ඔවුහු මෙසේ අනන්ත දීර්ඝ කාලයක් අපමණ දුක් විඳිති.

පණපිටින් සත්ත්වයන් සහ මනුෂ්‍යයන් පිලිස්සුවෝ ද, ගෙවල් ගිනි තැබුවෝ ද ආහාරපාන ගිනි තබා පුලුස්සාදැමුවෝ ද, ගහ කොළ වන සම්පත් ගිනි තබා විනාශ කළෝ ද, කන-බොන ආහාර-පානාදියට වස-විෂ යෙදුවෝ ද, අපිරිසිදු ආහාර-පාන අලෙවි කළෝ ද, හොරට කිරුම්-මිනුම් සිදු කොට ආහාර-පාන හා නොයෙක් වෙළෙඳ ද්‍රව්‍ය විකිණුවෝ ද, තුනුරුවන් සන්තක දේ අනිසි ලෙස පරිහරණය කළ ගිහියෝ සහ පැවිද්දෝ ද මෙම නිරයට වැටෙන්නෝ ය.

මෙම ප්‍රතාප නම් සත්වන නරකයෙහි අන්තඞකල්පයකින් අර්ධයකට ආයුෂ වන්නේය.

▬▬▬▬▬

8. අවීචි නරකය
අවීචි මහා නරකය සියලු නරකයන්ට වඩා ඉතා පහළින් වූ ද, භයානක වූ ද නරකය යි. මෙම අපායෙහි දැඩි දුක් වේදනා විඳින බලවත් පාප කර්ම කළ සත්ත්වයෝ ඉතා දැඩි උණුසුමකින් පීඩා විඳිති. මේ අපායෙහි දුක් විඳින පාපකාරී සත්ත්වයන් හා එහි ඇති බුරබුරා නැඟෙන ගිනි දැල් අතර පරතරයක් නැත. එහෙයින් මේ නරකයට අවීචි යන නම භාවිත වේ. මෙම නරකය සැලසුම් වී ඇත්තේ ඉතා බරපතළ පාප කර්මයන් වන පංචානන්තරීය කර්ම කළවුන්ට දරුණු විපාක ලබා දීමේ අරමුණෙනි.

ආනන්තරීය පාපකර්ම සිදු කළ පුද්ගලයෝද මිථ්‍යාදෘෂ්ටි ගත් පුද්ගලයෝ ද, රජ-මැති-ඇමැතිවරු මෙන් ම මිත්‍රයනුත් බොරුවෙන් කේළමෙන් භේද කරන්නෝ ද, සමගියෙන් සමාදානයෙන් වෙසෙන අඹු-සැමියන්, සහෝදර-සහෝදරියන්, සිල්වත් ගුණවත් මහණ බමුණන්, ආචාර්යවරුන් භේද-භින්න කරන්නෝ ද අවීචි මහා නරකාදියට වැටෙන්නෝ ය. තව ද, පූජනීය ස්ථාන විනාශ කරන්නෝ ද ඒවායේ දියුණුව කඩාකප්පල් කරන්නෝ ද, නිරන්තර ඊර්ෂ්‍යා සහගත සිතින් ක්‍රියා කරන පුද්ගලයෝ ද, සිව්පසය අනිසි ලෙස පරිහරණය කරමින් නැති සිල් පෙන්වමින් ජීවත් වුණු, සීලයෙන් ගුණයෙන් පිරිහුණු පැවිද්දෝ ද ක්රූර ලෙස අවි ආයුධ භාවිත කරමින් රට වැසියන් විනාශ කරන කැරලිකරුවෝ ද අවීචි මහා නරකාදියට ම වැටෙන්නෝ ය.

අවීචි මහා නරකයෙහි ආයුෂ ප්‍රමාණය එක් අන්තඞකල්පයකට සමාන ය.

ඉතා බරපතළ පාප කර්ම කළ කිහිප දෙනකු අවීචි මහා නරකයට ගිය ආකාරය දැක්වෙන කතා පුවත් බෞද්ධ ධර්ම ග්‍රන්ථවල සඳහන් ය. තම නෑනා වූ උප්පලවණ්නා තෙරණිය දූෂණය කළ නන්ද ඒ බලවත් පාප කර්මයේ විපාක වශයෙන් අවීචි මහා නරකයෙහි වැටී දුක් විඳියි. බුදුන් වහන්සේගේ ශ්‍රී දේහයෙහි ලේ සෙලවූ, සංඝ භේදය කළ දේවදත්ත තෙරණුවෝ එහි විපාක වශයෙන් අවීචියෙහි දුක් විඳිති. ඔහුගේ ශරීරය යොදුන් සියයක් උස ය.

ඔහුගේ හිස හා කන හරහා ගිනි ගෙන දිලිසෙන අයෝමය ඉන්නක් ඇතුළු වේ. ඔහුගේ දෙපා වළලුකර දක්වා ගිනි ගෙන දිලිසෙන අයෝමය බිමක එරී යයි. තල් ගසක කඳක් තරම් මහත අයෝමය ඉන්නක් බටහිර බිත්තියෙන් පැමිණ ඔහුගේ කන මත්තෙන් විනිවිද ගොස් නැඟෙනහිර බිත්තිය දක්වා දිව යයි. එවැනි ම තවත් අයෝමය ඉන්නක් දකුණු පස බිත්තියෙන් පැමිණ ඔහුගේ සිරුර විනිවිද ගොස් වම් පස බිත්තිය දක්වා දිව යයි. එහි සිවිලිමෙන් වෑහෙන ගිනිදැල්වලින් ඔහුගේ සියලු ශරීරය ම විනිවිද යමින් වියළා දමන අතර, පහත බිමෙන් පැන නගින ගිනි ගෙන දිලිසෙන රතු පැහැ අයෝමය ඉන්නක් සිරුර විනිවිද යයි. ඔහුගේ දෑත් ගිනි ගෙන දිලිසෙන රතු පැහැ අයෝමය දම්වැලකින් බැඳ තිබේ.

මේ අටමහා නිරයට අමතරව තවත් නිරයන් බොහෝ ගණනාවක් තිබෙනවා. ඒවා අතුරින් ප්‍රසිද්ධ නිරයන් කිහිපයක් මෙහිලා සඳහන් කරමු.

▬▬▬▬▬

කුඩා නිරයන් – ගූථ නිරය, කුක්කුල නිරය, අසිපත් වන නිරය, සම්බලිවන නිරය කියා කුඩා නිරයන් වර්ග හතරක් තිබෙනවා. ගූථ නිරය කියන්නේ, කැකැරුණු අසූචියෙන් පිරුණු මෙහි වැටෙන නිරසතුන්ගේ ශරීරයේ ඇටමිදුළු දක්වාම විදගෙන යන, උණ ගස්, පොල්, ගස්, තල් ගස් පමණ මහත පණුවන් ගැවසිගත් තැනක් කුක්කුල නිරය කියන්නේ යටින් ගිනි අඟුරු ඇති අළුවලින් පිරුණු තැනක්. අසිපත් වන නිරය කියන්නේ, කඩු වගේ දෙපැත්ත කැපෙන කොළ ඇති ගස් සහ දැලි පිහිය වගේ කොළ ඇති තණ ඇති නිරයයි. සිම්බලිවන නිරය කියන්නේ, ඉතාම තියුණු කටු සහිත ගස් ඇති නිරයයි.තවත් මෙවැනි බොහෝ නිර තිබෙන බව බුදුරජාණන් වහන්සේ සම්බුදුනුවණින් දැන වදාළා.

▬▬▬▬▬

ලෝකාන්තරික නිරය – ලෝකාන්තරික නිරය කියන්නේ අතිශයින්ම සීතල නිරයකි. මේ නිරය හැම කාලයේම අඳුරේ තිබෙනවා. මේ නිරය පතුලේ අතිශයින්ම සීතල ජලය තිබෙනවා. මෙහි ඇති නිර සතුන් වවුලන් මෙන් පර්වතවල එල්ලීගෙන එහෙ මෙහෙ යනවා. තවත් සත්ත්වයෙක් සිටින බව දැනෙනවිට කෑමක් කියා සිතා අල්ලගන්න උත්සාහ කරනවිට ඒ සත්වයන් දෙදෙනාම පර්වතයෙන් ලිස්සා දියට වැටෙනවා. මෙහි වැටෙන සතුන් උණු තෙල් භාජනයකට දැමු පිටි බැදෙනවා වගේ ඔවුන්ගෙ ශරීර පුපුරා පුපුරා ශීතලෙන් බැදෙනවා. මේ ලෝකාන්තරික නිරය පවා එකම එක අවස්ථාවක පමණක් ආලෝකවත් වෙනවා. ඒ තමයි සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළවන සමයේය.

▬▬▬▬▬

යම රජ
මේ මහා නිරයන් පාලනය කරන්නා ‘යම’ නම් වේ. යම යනු ‘තීරණය කරන්නා’ යන අරුත් දේ. එක් මහා නිරයකට යම රජවරුන් සිව් දෙනා බැගින් මහා නිරය අටට යම රජවරු තිස් දෙදෙනෙක් සිටිති. ඔවුහු එම නිරයන්හි සිව් දිග දොරටු පාලනය කරති. මේ යම රජවරුන් හැර ‘නිරය පාල’ නමින් හැඳින්වෙන විශාල පිරිසක් ද මෙහි සිටිති. යම රජවරුන්ගේ ප්‍රධාන රාජකාරිය වන්නේ අපාගත සත්ත්වයන්ට දිය යුතු දඬුවම් තීරණය කොට, ඒවා ක්‍රියාත්මක කිරීමට අණදීම යි. නිරයපාලයන්ගේ රාජකාරිය වන්නේ හැම නිරයක ම උපන් පුද්ගලයන්ට නියම කළ දඬුවම් පැමිණවීම යි.

බොහෝ බෞද්ධයෝ පවා මෙබඳු කතා හුදු ප්‍රබන්ධ ලෙස සලකති. රාජ්‍ය පාලනයේ පහසුව සඳහා පුද්ගලයා දුසිරිතෙන් ඈත් කොට තැබීමට නිර්මාණය කරන ලද සංකල්පයක් ලෙස ඔවුහු අපාය හඳුන්වති. එසේ ම මෙම කතා සත්‍ය නම් වඩාත් ම දරුණු දුක විඳින්නේ නිරයට පැමිණෙන අප්‍රමාණ සත්ත්වයන්ට දඬුවම් පමුණුවමින්, නිරයේ ම කල් ගෙවන යම රජු නො වේ දැ යි ඔවුහු ප්‍රශ්න කරති. එහෙත් යම රජවරු ද, නිරයපාලයෝ ද සැබැවින් ම අපාගත පුද්ගලයෝ නො වෙති. ඔවුහු චාතුම්මහාරාජික දිව්‍යලෝකයට අයත් වූවෝ වෙති. ඔවුන් හැඳින්වෙන්නේ ‘වේමානික පේතා’ යන නමිනි. ඔවුහු තමන් පෙර ආත්මභාවවල කළ යහපත් කර්මයන්ගේ විපාක වශයෙන් දිව්‍ය සම්පත් අනුභව කරති. එසේ ම තමන් විසින් පෙර ආත්මභාවවල කරන ලද ඇතැම් පාපකර්මයන්ගේ විපාක ඔවුහු වශයෙන් නිරයෙහි රාජකාරි ඉටු කිරීම සඳහා යවනු ලබති.

නිරයෙහි අධිපති හෙවත් පාලක තනතුර දරනුයේ පෙර ද කී සේ යම රජු ය. නරකාදිය, අපාය ආදි නම්වලින් නිරය හඳුන්වන්නා සේ ම යම රජු ද විවිධ අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලැබේ. අපක්‍ෂපාත විනිශ්චයකරුවා යන අර්ථයෙන් ‘සමවෘත්ති’ යන නාමය ද, පින් පව් දෙක බේරුම් කරන්නා යන අර්ථයෙන් ‘සමථ’ යන

නාමය ද, දිවි කෙළවර කරන්නා යන අර්ථයෙන් ‘කෘතාන්ත’ යන නාමය ද, මුගුරක් දරන්නා යන අර්ථයෙන් ‘ධන්සි’ යන නාමය ද, නියමිත කාලයට පැමිණෙන්නා යන අර්ථයෙන් ‘කාල’ යන නාමය ද යම රජු වෙනුවෙන් ව්‍යවහාර කැරෙන බව පොතපතෙහි සඳහන් වේ.

යම රජුගේ මුහුණ පෙනුමෙන් බියකරු ය.

මුළු ශරීරය ම තද කොළ පැහැයෙන් යුක්ත ය. එක් අතකින් මල පුඬුවක් සහිත රැහැනක් ද, අනෙක් අතින් මුගුරක් ද දරයි. නිරතුරු ව ම රතු පැහැති වස්ත්‍රයකින් සැරසී සිටී. යම රජුගේ වාහනය මී ගවයෙකි. යම රජුගේ වාසභවන ‘කාලිච්’ නමින් හැඳින්වේ. ඔහු අසුන් ගෙන සිටින ආසනය ‘විචාරභ’ නම් වේ.

Tuesday, March 12, 2019

"සට්‌ඨිස්‌සර" නමින් පසේබුදු වන්නේ කවරෙක්‌ද?

"සට්‌ඨිස්‌සර" නමින් පසේබුදු වන්නේ කවරෙක්‌ද?

සැරියුත් මහරහතන් වහන්සේ බොහෝ ආත්මභාවයන්හි බෝධි සත්වයන්
වහන්සේගේ පියාද වූවාසේම බෝධිසත්වයෝද බොහෝ ආත්මභාවයන්හි සැරියුත් හිමියන්ගේ පියා විය. මිලින්ද ප්‍රශ්නයෙහි නාගසේන හිමියන් මිළිඳු රඡ්ජුරුවන්ට "කුශලාකුසලකාරී විශේෂ ප්‍රශ්නය" පිළිබඳ පැහැදිලි කරද්දී මේ සංසාරයේදී බොහෝ සත්වයෝ තමන් හට ප්‍රියවූවන් සමග මෙන්ම අප්‍රිය වූවන් සමග ද එක්‌වන බව ප්‍රකාශ කළහ. බුදුරජාණන් වහන්සේට සිය බෑණනුවන් වූ දෙව්දතුන්ගෙන් ලැබුණේ ගරු සැලකිලි නම් නොවේ. සැමවිටම බුදුන්ට සතුරු වූයේ දෙව්දතුන්ය. මේ වෛරය ආරම්භ වන්නේ බොහෝ කල්ප ගණනකට පෙරදීය. එම වෛරය ආරම්භ වන ආකාරය සේරිවාණිජ ජාතකයේ මැනවින් විස්‌තර කර ඇත. දඹදිව සේරීව නමැති ප්‍රදේශයේ උපත ලබා ගෙයින් ගෙට ගොස්‌ වෙළෙ¹ම් කරන මණිබඩු වෙළෙන්දා "කච්ඡපුට" විය. ඒ බෝධිසත්වයන් වහන්සේය. සේරිවාණිජ ලෙස උපත ලැබුවේ දෙව්දතුන්ය. බෝසත් කච්ඡපුට වෙළෙන්දා රන්තලිය මිලදී ගැනීමේ වෛරය නිසා සේරිවාණිජ පපුවේ අත් ගසමින් මහත් වෛරයෙන් යුතුව ගංතෙර අසලදී හෘදයාබාධයකින් මරණයට පත්විය. සේරිවාණිජ ආත්මයේ සිට දෙව්දත් ආත්මය දක්‌වාම අඛණ්‌ඩව පැවත ආවේ මේ වෛරයයි. මේ වෛරය ගැන බුදුන් මෙසේ පවසා ඇත.

අද පමණක්‌ නොව පෙර ආත්මභාවයන්හිදී ද දේවදත්ත මට හිංසා කළ අවස්‌ථා බොහෝය. ඒ සෑම හිංසාකාරී ක්‍රියාවක්‌ම මම මහණෙනි මගේ වාසියට හරවා ගතිමි. ඉහත කී පරිදි බුදු බවට පත්වීමට ප්‍රධාන වශයෙන්ම උපකාරී වූයේ කරුණාවත් මෛත්‍රියත් සීලයත් පරිත්‍යාගයත් සත්‍යවාදී බවත් අධිෂ්ඨානයත් මුල්කරගෙන මවිසින් ගන්නා ලද අතිශයින් සාර්ථක ගුණාත්මක ක්‍රියාවලිය නිසාමය. එය මගේ පමණක්‌ නොව මහබෝසත්වරුන්ගේ ආවේණික චාරිත්‍ර ධර්මයක්‌ බව සැලකිය යුතුය."

කෙසේ නමුත් මේ දෙව්දතුන් ඉහත ආත්මභාවයන්හිදී බෝධිසත්වයන් වහන්සේගේ පියාද විය. බෝධිසත්වයෝ තිරිසන් ආත්ම ලබද්දී දෙව්දත්හු මනුෂ්‍ය ආත්ම ලැබූහ. එක්‌ කලෙක දේවදත්තයෝ බරණැස්‌නුවර බ්‍රහ්මදත්ත රජුගේ පුරෝහිතගේ පුත් ලෙස ඉපිද සිටියදී බෝධිසත්වයෝ ජටක නම් චන්ඩාලයෙක්‌ විය. මගධ රාජ්‍යයේ මහා මහීපති නම් රජ ලෙස දෙව්දතුන් ආත්මභාවය ලබද්දී බෝධි සත්වයෝ එම රජුගේ ඇත්ගාලෙහි ඇත් රජු ලෙස උපන්නේය. අතීතයේ සිට පැවත එන වෛරය මෙතැනදී ද නැවතත් උත්සන්න විය. මහා මහීපති රජුට මේ ඇත් රජු අප්‍රසන්න විය. ඇතා වදදී මරා දැමිය යුතු යෑයි රජුට සිත් විය. වේපුල්ල පර්වතයෙන් පහළට දමා මේ ඇත් රජු මරා දැමීමට රජ කුමන්ත්‍රණ කළ ද අවසානයේ මේ බෝධිසත්ව ඇත් රජු වේපුල්ල පර්වතයෙන් පැන ඉද්ධියෙන් බරණැස්‌ නුවරට ගිය බව මිළින්ද ප්‍රශ්නයෙහි සඳහන් වේ. එක්‌ කලෙක දේවදත්තයෝ බරණැස කලාබූ රජ ලෙස ආත්මභාවය ලබද්දී බෝසතාණෝ අසූකෝටියක්‌ ධනය ඇති බ්‍රාහ්මණ කුලයක ඉපිද සියලු සැප අතහැර තපස්‌ රැකීම සඳහා වනයට වැඩියහ. කාලයක්‌ ගතවූ පසු ලුණු ඇඹුල් සොයනු පිණිස බරණැස්‌ පුරවරයට පැමිණ රජුගේ සේනාපතිගේ ඇප උපස්‌ථාන ලබමින් රජ උයනේ වැඩ සිටියහ. තම උයනේ සිටින තාපසයා දැක රජු උරණ විය. රජු ප්‍රශ්න විමසූ කල තමා ක්‍ෂාන්තිවාදී යෑයි පැවසූ විට තවත් උරණ වූ කලාබුQ රජ නුඹේ ක්‍ෂාන්තිවාදිත්වය මැන බලමි යෑයි පවසා වධකයා ගෙන්වා මේ බෝසත් තාපසයාට කටු මිටියෙන් පහර දෙදහසක්‌ ගැස්‌සවීය. මේ පහර නිසා බෝසතුන්ගේ ශරීරයෙන් ලේ ගලන්නට විය. එවිටද තමා ක්‍ෂාන්තිවාදී බව බෝධිසත්වයෝ පැවසූහ. පසුව මේ රජුගේ අණ පරිදි අත් දෙකද කකුල් දෙක ද සිඳින ලදී. එහෙත් තාපසයා වෙනස්‌ වූයේ නැත. පසුව කන් දෙකද කපා දමන ලදී. එයින් පසු කලාබූ රජු "කූට ජටිලය තෝ කුමනවාදී දැයි ඇසීය. එවිට තාපසයෝ මහරජාණෙනි මම ක්‍ෂාන්තිවාදී යෑයි කීහ. එවිට තවත් කෝප වූ රජ "කූට ජටිලය තාගේ ක්‍ෂාන්තිය තෝම නසාගනුවයි" කියා විලුඹින් බෝධිසත්වයන්ගේ පපුවට ඇන පලා ගියේය. ටික වේලාවකට පසු මේ තාපසයා මරණයට පත්විය. තවත් කලෙක දේවදත්තයෝ බරණස බ්‍රහ්මදත්ත රජු ලෙස කටයුතු කරන කල්හි ඒ රජ හට පුත්‍රව බෝසත්වයෝ මනුෂ්‍ය ආත්මභාවයක්‌ ලබාගත්හ. මේ පුත්කුමරු "මහාපදුම" නම් විය. මේ කුමරා ඉතා රූමත් තරුණයකු විය. මේ කුමරාගේ මව කුඩා කලදීම මිය යැම නිසා බ්‍රහ්මදත්ත රඡ්ජුරුවෝ තරුණ බිසවක්‌ විවාහ කරගත්හ. රජු ඈත ප්‍රදේශයක යුද්ධයක්‌ මෙහෙයවන්නට ගිය කල්හි මේ තරුණ බිසව පදුව කුමාරයාගේ රූපයට වශීවී ඔහු වරදට පෙළඹවීමට වෑයම් කළාය. බිසවගේ මේ ආරාධනයට එකඟ නොවූ බෝසතාණෝ ඇයට වැඳ තමා වරදෙහි බැඳීමට අකැමැති බව ප්‍රකාශ කළේය. මේ ගැන උරණ වූ බිසව රජු නැවත පැමිණ කල මේ පදුම කුමාරයා තමන් වරදේ බැඳගැනීමට උත්සාහ කළ බව පැවසුවාය. මේ පුවත අසා දැඩි කෝපයටපත් රජු, කුමරා මරා දැමීමට අණ කළේය. රන් මල් මාලා දමා මේ කුමරා මහ මඟ දිගේ ගෙන යමින් පහර දෙන විට නගර වැසියෝ බොහෝ කම්පාවූහ. අන්තඃපුරයේ සිටින බිසෝවරුද හඬමින් මේ කුමරා කළ වරදක්‌ නැතැයි පැවසූහ. මේ නිසා රජු නැවත පදුම කුමරා ගෙන්වා ප්‍රශ්න කළේය. එවිට පදුම කුමාරයා "පියාණන් වහන්සේ මා අන්තඃපුරයේ කළ වරදක්‌ නැහැ. මහා මායාකාරි වූ ස්‌ත්‍රීන්ගේ වචනයෙන් නිරපරාධවූ මාගේ දිවි නොනසන්නැයි කියමින් කඳුළු සැලුවද රඡ්ජුරුවන්ගේ හිත වෙනස්‌ වූයේ නැත. "මොහු ගෙනගොස්‌ සොරුන් දමන මහ පර්වතයෙන් පහළට දමන්නැයි රාජපුරුෂයන්ට නියෝග කෙරිණි. චෝර ප්‍රපාත නම් මහ ගලෙන් පදුම කුමාරයා පහළට දමද්දී ඒ පර්වතය අධිගෘහිත වූ දේවතාවා පැමිණ දෑතින්ම මේ කුමරු වඩාගෙන ගොස්‌ පර්වත පාමුල පිහිටා ඇති නාගභවනට ගෙන ගිය බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. මහා ප්‍රතාප රජු ලෙස දේවදත්තයෝ ආත්මභාවය ලබද්දී බෝධිසත්වයෝ මේ රජුගේ පුත් කුමරු ලෙස මෙලොව එළිය දුටහ. ප්‍රතාප රජු තමාගේ පුත් වූ ධර්මපාල කුමාරයාගේ අත් පා සිඳලූ බව සඳහන් වේ.

බෝධිසත්වයන් වහන්සේගේ සෑම ආත්ම භවයකදීම දෙව්දතුන් හමු වූයේ නැත. ආත්මභාව දෙතුන් සියයකට වතාවක්‌ හෝ දහස්‌ ගණනකට වතාවක්‌ දෙව්දතුන් හමුවන්නට ඇත. හමු වූයේ කලාතුරකින් වුවද හමු වූ විට බෝසතුන්ගෙන් පලිගත් බව පැහැදිලිය. අවසානයේ ඡේතවනාරාමය අසලදී දෙව්දතුන් අපාගත විය. ඒ ගැන සැවොම කතාකරන්නට විය. දම්සභා මණ්‌ඩපයේදී මේ ගැන කතාබහට ලක්‌විය. එහිදී බුදුන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ. "මහණෙනි දේවදත්ත මා විසින් කලින් ප්‍රකාශ කළාක්‌ මෙන් මෙවැනි බද්ධ වෛරයක්‌ ඇති කරගෙන පාපකාරී ක්‍රියාවන්හි යෙදුනේ බුදුරජුන් සමගයි. එනම් මා නිසාය. එහෙත් ඔහු රටේ අනෙක්‌ අයට විපත්ති කර නැත. එසේම අවසන් මොහොතෙහි පොලව පැලී අපාගතවෙද්දී "පාණෙහි බුද්ධං සරණ උපේමි" යනුවෙන් බුදුන් සරණ යන්න මැයි කියා මරණයට පත් විය. මේ දේවදත්ත කල්ප ගණනාවක්‌ අපාගතව සිට ඉන් මිදී මිනිස්‌ ආත්ම ලබා තව බොහෝ කාලයකට පසු "සට්‌ඨිස්‌සර" නමින් පසේ බුදු බවට පත්වී නිවන් දකින්නේය යනුවෙන් වදාළහ. කෙසේ නමුත් දෙව්දතුන්ගේ බොහෝ වැරැදි ක්‍රියා නිසාම බුදුන්ගේ උදාර ගුණ ඉස්‌මතුවිය. එම නිසා බුදුගුණ වඩ වඩාත් බැබලෙන්නට වූ බව සටහන් කළ යුතුමය.

Saturday, March 2, 2019

ඨපනීය ප්‍රශ්නය

==ඨපනීය ප්‍රශ්නය==



සර්වඥ වූ ලොව්තුරා බුදුන් වහන්සේ නමක් යනු, කිසිදු ආකාරයකින් ආචාර්‍යමුෂ්ටි නොහොත් ගුරුමුෂ්ටි තබා යමක් දේශනා කරන හෝ නොකරන ශාස්තෲවරයෙක් නොවේ.

එහෙත්, ලෝකයේ මතුවන එක්තරා ප්‍රශ්න විශේෂයක්, ලොව්තුරා සර්වඥයන් වහන්සේලා විසින් ද පිළිතුරු නොලබන්නේය.

බුදුන් වහන්සේලාට යොමුවන ප්‍රශ්න වර්ග 4ක් ඇත.

1) එකංසව්‍යාකරණීය ප්‍රශ්නය
2) විභජ්ජව්‍යාකරණීය ප්‍රශ්නය
3) පටිපුච්ඡාව්‍යාකරණීය ප්‍රශ්නය
4) ඨපනීය ප්‍රශ්නය

සිංහලාර්ථයෙන් ගත් කළ,

1. ඇසූවිට එකවර පිළිතුරු දෙන ප්‍රශ්න
2. ප්‍රශ්නයක් ඇසූවිට බුදුන්වහන්සේ ද ප්‍රශ්නයක්  නඟා පිළිතුරු දීම.
3. ප්‍රශ්නයකට විග්රහකොට පිළිතුරුදීම.
4. පිළිතුරු නොදී අතහරින ප්‍රශ්න

මෙහි ඨපනීය ප්‍රශ්න යනු බුදුන් වහන්සේ ඍජු පිළිතුරු නොදෙන ප්‍රශ්නය.

මේ ඨපනීය ප්‍රශ්න යනු මොනවාදැයි සොයා බැලීමේදී විවිධ ලේඛන වල විවිධාකාරයෙන් දක්වා ඇති මුත්, මෙහිදී මිලින්ද ප්‍රශ්නයෙහි සඳහන් නාගසේන මහරහතන් වහන්සේ විසින් වදාළ "ඨපනීය ප්‍රශ්න" මින් මතු සඳහන් කිරීමට කැමැත්තෙමි.

1) "ලෝකය නිත්‍යද?" යි කියා ශාස්වත දෘෂ්ටි වශයෙන් විචාරීම

2) "ලෝකය තෙම අනිත්‍යය, මරණින් මතු නැත ද" කියා උච්ඡේද දෘෂ්ටි වශයෙන් විචාරීම

3) කසිණාලෝකයෙන් චක්‍රාවාටය(අප මන්දාකිණිය?) පර්‍යන්ත කොට දැක "ලෝකය *අන්තය" යි කියා ගන්නා වූ අන්තවාදදෘෂ්ටි වශයෙන් ප්‍රශ්න විචාරීම

4) කසිණාලෝකයෙන් චක්‍රාවාටය පර්‍යන්ත කොට බොහෝ සක්වළවල් දැක "ලෝකය *අනන්තය" යි කියා ගන්නාවූ අනන්තවාදදෘෂ්ටි වශයෙන් ප්‍රශ්න විචාරීම

5) "මේ ලෝකය උඩින් යටින් කෙළවර ඇත. සරස අනන්ත ය" යි කියා දැක ගන්නාවූ අන්තානන්තවාද දෘෂ්ටි වශයෙන් ප්‍රශ්න විචාරීම

6) "මේ සත්ත්ව ලෝකය නොම *අන්තය. *අනන්තත් නොවේ" කියා විතර්ක සිතීමෙන් වැටහුණු පමණකට ගන්නාවූ නෙවන්තනානන්තවාද දෘෂ්ටි වශයෙන් ගෙන ප්‍රශ්න විචාරීම

7) "තං ජීවං තං සරීරං" යනුවෙන් "ඒ ජීවිතයම ඒ ශරීරය" යි කියා උච්ඡේදදෘෂ්ටි වාදයෙන් ප්‍රශ්න විචාරීම.

8) "අඤ්ඤං ජීවං අඤ්ඤ්ං සරීරං" යනුවෙන් "ජීවිතය අනිකෙකය. ශරීරය අනිකකැ" යි කියා ශාස්වතවාදයෙන් ප්‍රශ්න විචාරීම

9) "සත්ත්වතෙම මරණින් මත්තෙහි නොවන්නේය" යි කියා ද "නොවන්නේ නොවෙ" යි කියා ද(මරණින් මතු ඇත හෝ නැත යන දෙකම) මෙසේ අමරාවික්ෂෙපිකදෘෂ්ටි වශයෙන් ප්‍රශ්න විචාරීම

(මෙහි 7) යනු හේතුවාදී/මානවවාදී/භෞතිකවාදී බහුතරය නූතනයේ එල්බගෙන සිටින "මොළය නම් මනස වේ" යැයි ගන්නාවූ දෘෂ්ටියම මිස අනෙකක් නොවේ යන්න මාගේ හැඟීමය)

මෙම ප්‍රශ්න ආකාර 9 ට බුදුන් වහන්සේ නමක් ඍජු පිළිතුරු නොදෙයි.

බුදුන් වහන්සේ සත්ත්වයාට දේශනා කළ කොටසේ හා උන්වහන්සේ අවබෝධ කළ කළ කොටසේ ප්‍රමාණයන් සංසන්දනාත්මකව උන්වහන්සේ උපමා මඟින් ද දක්වා ඇත.
එය එසේ වූයේ ගුරුමුෂ්ටි නිසා නොව, සර්වඥානයන්ට පමණක් වටහාගත හැකි හා ඨපනීය වූ දැනුම ද උන්වහන්සේගේ අවබෝධ පරාසයේ පවතින බැවිනි.

ශාස්වත , උච්ඡේද වාදයන් නම්, උපතිස්ස(සැරියුත් මහ තෙරුන් ගිහි කළ) පිරිවැජිතෙම අස්සජී මහරහතන් වහන්සේගේන් ද විමසූ කළ ඍජු පිළිතුරු නොදුන් ප්‍රශ්න බව ඔබ දන්නවා ඇති.

ඨපනීය ප්‍රශ්නයන්ට බුදුන් වහන්සේලා පිළිතුරු නොදෙන්නේ මන්ද යන්න, නාගසේන මහරහතන් වහන්සේගේ වදනින්ම සඳහන් කර ලිපිය නිමා කරමි

"ප්‍රශ්නයතෙම කවර කාරණයකින් ඨපනීය විද? යත්- ඒ ප්‍රශ්නයාගේ දැක්වීමෙන් සසර දුක් නසන නිවන් පිණිස හේතුයෙක් හෝ කාරණයෙක් හෝ නොම ඇත්තේය. එහෙයින් ඒ ප්‍රශ්නය ඨපනීය වී ය. භාග්‍යවත් වූ අනන්ත බුදුවරයන් වහන්සේලාගේ අකාරණ වූ අහේතුක වූ වචන කිමෙක් නැත"
-නාගසේන රහතන් වහන්සේ


Tuesday, February 26, 2019

දෙව්දත් තෙර

*දෙව්දත් තෙර*

දෙව්දත් තෙර නව මසක් ගිලන්ව වැස
කෝකාලිකයා ළයට දුන් වැලමිටි පහරෙන් මරණය ළං වූ බව දැක පශ්චිම කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දක්නට යනු කැමැත්තේ තමා එහි ගෙන යන්නැයි සිය සව්වනට දැන්වීය. "ඔබ ශක්තිමත් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේට සතුරු කම් කොට දැන් දුබල වූ විට උන්වහන්සේ දක්නට යනු කැමැත්තෝය. අපි ඔබ එහි ගෙන නොයන්නම්" යි ඔවුහු කීහ. එවිට දෙව්දත් තෙම තමා උන්වහන්සේ කෙරෙහි වෛරී ව සිටියත් උන්වහන්සේ තුළ නම් කෙසඟක් පමණක් තමා කෙරෙහි අමනාපයක් නැතැයි කියා, තමා එහි බුදුරජාණන් වහන්සේ වෙත පමුණුවන ලෙස නැවත නැවත ඉල්ලිය. ඔහුගේ බලවත් ඉල්ලීම නිසා ඔහු ද දෙව්දත් තෙරහු ඇඳකින් ගෙන පිටත් වූහ. එසේ යන්නාහු සැවැත් පුර පැමිණියාහු ජේතවන පොකුණ සමීපයට වන්හ.

ඔහු එහි පොකුණු තෙර ඇඳ තබා නාන්නට දියට බටහ. දෙව්දත් තෙර ද ඇඳෙන් නැගිට දෙපා බිම තබා හුන්නේය. එකෙණෙහිම පොළොව පැළී ක්‍රමයෙන් දෙව්දත් එහි ගිලුණේය.
බෙල්ල දක්වා ගිලී හනු ඇටය පොළොව සැපී සිටි කල්හි,
"මේ හනුකාස්ථීන් නිමිති කොටගෙන නොහොත් මේ කරුණු කොට, අග්‍ර පුද්ගල වූ දෙවියන්ට අධිදේව වූ, පුරුෂදම්‍ය සාරථී වූ සමතැස් ඇති සිය පින් ලකුණු ඇති ඒ සර්වඥයන් වහන්සේ දිවිහිමියෙන් සරණ ගියෙම් වෙම්"
කියා බුදුන් සරණ ගියේ ය. හෙතෙම පොළෝහි ගිලී මැරී අවීචි නිරයෙහි උපන්නේය.

දෙව්දත් තෙරුන් පොළොවෙහි ගිලුණු බව භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. මේ කාරණය ඇරැබ එයින් පෙරත් දෙව්දත් තමන් වහන්සේට ද්‍රෝහි ව පොළොවේ ගිලුණු බව දැක්වීම් වශයෙන් ඡද්දන්ත ජාතකය ද ඒ ගැන කතා ඇති වූ තවත් අවස්ථාවලදී ක්ෂාන්තිවාදී ජාතකය හා චුල්ල ධම්මපාල ජාතකය ද දෙව්දතුන්ගේ මරණින් බොහෝ නුවර වැස්සන් සතුටුවන බව භික්ෂූන් දැන්වූ විට, පෙරත් ඔහු මළ කල මහජනයා සතුටු වූ බව දක්වමින් පිංගල ජාතකය ද වඳාළ සේක.
"දෙව්දත් තෙර කොහේ උපන්නේ දැයි?" භික්ෂුහු ඇසූහ.අවීචි නිරයේ උපන් බව වඳාරා
"පව් කරන්නා මෙලොවත් තැවෙයි. පරලොවද තැවේ. මා විසින් පව් කරන ලදැ යි සිත සිතා මෙලොවදී තැවේ. දුගතියට ගොස් දුක් විපාක විඳිමින් බොහෝ සෙයින් තැවෙයි" යැයි වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ දෙව්දතුද ඇරැබ ඒ අවස්ථාවකදී ,

"දෙව්දත් මෙසේ අපරාධකාරයකු වූවත් පෙර බොහෝ කල් පෙරුම් පිරුවෙකි යි ද, නිරයෙන් මිදී අවුත් පින් දහම් පුරා මතු කලෙක සට්ඨිස්සර නම් පසේ බුදු වන්නේ " යැ යි වදාළ සේක.

~~~ බුද්ධ චරිතය~~~
අති පූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නාහිමිපාණන් විසින් රචිතයි.~~~

පෘථිවියෙන් එපිට වෙනත් ග්‍රහලෝකයක පහල වූ අභය බුදුන්වහන්සේ

"පෘථිවියෙන් එපිට වෙනත් ග්‍රහලෝකයක පහල වූ අභය බුදුන්වහන්සේ'

(”ස්වාමීනී වැටහේ. . මේ කසළ ශෝධකගේ දානයට අසදෘෂ දාන සියයක් වත් සම කළ නොහැක. එහි ආනිශංස ගැන දැනගැනීමට කැමැත්තෙමි")
සහා ලෝක ධාතුවට ආලෝක වර්ෂ ශත සහස්‍ර ගණනකට එපිටින් පිහිටි ලෝක ධාතුවක අප පෘථිවියට බොහෝ දුරට සමාන වූ ජිව්හා නම් ග්‍රහයකු විය. මධ්‍යකාලීන යුගයක් පැවති සමයෙක ශ්වේතකේතු නම් චක්‍රවර්ති රජවරයකු දසරාජ ධර්මයෙන් ජනයාට සංග්‍රහ කරන කාලයක එහි අභය නම් බුදුවරයකු පහළ විය.
උන් වහන්සේ හා ශ්‍රාවක සංඝයා වෙනුවෙන් රජු විසින් අගනුවරට එපිටින් ආරාම, සන්ථාගාර, ගිලන්හල්, ධර්මශාලා හා උපාසක උපාසිකාවන්ට විශ්‍රාමශාලා වලින් යුතු ආරාමයක් පූජා කර තිබුණි. මෙම ආරාමයේ පිවිසුම සම්බන්ධවූයේ නගරයේ ප්‍රධාන මාර්ගයටයි.
එක් දිනක උදෑසන බුදුන් වහන්සේ අග්‍ර උපස්ථායක වූ සාවිත්‍ර තෙරුන් සමඟ ආරාමයෙන් පිටතට පිඬු සිඟා යාම පිණිස නගරයට දෙසට වඩින්නට විය. මාර්ගය දෙපස තිබූ වාධූර්ය ගස් වලින් ගිනි රතු පැහැ පත්‍ර මාර්ගය පුරා වැටී තිබුණි. එම ගස් වල දැඩි සුලඟකට වුවත් නොවැටෙන වසන්තයට පමණක් පිපෙන තද කොළ පැහැ අති සුගන්ධවත් වාධූර්ය මල් වැනෙන්නට විය. දූවිලි හා පත්‍ර අවුස්සමින් විටින් විට මඳ සුලඟක් හමායන්නට විය. ගස් පෙළ අවසන් වූයේ නගරයේ එකිනෙකට යාබදව සාදා තිබූ නිවෙස් පේළිය සමඟය.
නගරය ඉසිළුවේ දැඩි පාළු සහගත ස්වභාවයකි. මාර්ගය ජනශූන්‍ය වූ අතර දක්නට ලැබුණේ අයාලේ ගිය සුනඛ රංචුවක් පමණි.
මේ අතර ඈතින් රුවක් ඇදෙන්නට විය. රුව ළංවත්ම සාවිත්‍ර තෙරුන් ඔහුව පහසුවෙන් හැඳුනා ගත්හ. දුර්වර්ණ වූ දිගු ඇඳුමකින් සිරුරම වසා ගත්, තවත් රෙද්දකින් ඇස් පමණක් නිරාවරණය වන සේ මුහුණ ආවරණය කරගත් පැමිණිමෙන් සිටියේ එම පෙදෙසේ නිවෙස් වල කසළ බැහැර කරන්නෙකු වූ ශෝධකයෙකි.
එක් කකුලක් අද්දමින් දූවිලි මඳක් අවුස්සමින් පැමිණි ඔහු තමන් කරා මුහුණට මුහුණ ලා එලැඹෙන බුදුන් වහන්සේ හා සාවිත්‍ර තෙරුන් දුටුවේ, හොඳටම ළං වූ පසු බිමට පාත් කළ හිස ඔසවා බැලීමේදීයි. ඔහුගේ දෑස් මහත්ව වික්ෂිපත් වී උන් වහන්සේලා මඟ හැරීමට නොහැකිවීම ගැන පසුතැවිල්ලෙන් මාර්ගයෙන් පසෙකට වී බිම බලාගෙන හුන්නේය.
බුදුන් වහන්සේ ඔහු පසුකරයාමට ගියා පමණි:ඒ පුද්ගලයා ඇසිල්ලකින් උන්වහන්සේ කරා එලැඹ සිය ඔලොගුවෙන් ගත් දෙයක් බුදුන් වහන්සේගේ පාත්‍රයට දමා හිස නවාගෙනම වැඳීමක් වත් නොකරම වේගයෙන් කකුල අද්දමින් එතැනින් නික්ම ගියේය.
බුදුන් වහන්සේ මඳකට නැවතුණු සේක. උන්වහන්සේගේ මුහුණේ ආශ්චර්යවත් මඳහසක් මතුවන්නට විය. සාමාන්‍ය මිනිසුන් මෙන් බුදුවරු අකාරණයේ සිනා පහළ නොකරන වග දත් සාවිත්‍ර තෙරුන් වහන්සේ ඊට හේතුව විමසා සිටිහය.
”සාවිත්‍රය තොප දන්න පරිදි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මහත්ඵල මහානිශංස ලැබෙන දානමය පුණ්‍යකර්මය කළේ කවරෙක්ද?”
සාවිත්‍ර තෙරුන් මෙසේ පිළිවදන් දුණි.
”භාග්‍යවතුන් වහන්ස. . ශ්වේතකේතු රජු දුන් අසදෘෂ දානය මහත්ඵල මහානිශංස ලෙස දකිමි. . ”
බුදුන් වහන්සේ පාත්‍රයට අතදමා ශෝධක විසින් පූජා කළ වියළි ශාක පත්‍රයකින් ඔතා පිටි හා පැණි මිශ්‍ර කර සෑදූ කැවිල්ල ශ්‍රී හස්තයට ගත්හ. ඉක්බිති සාවිත්‍ර තෙරුන් ඇමතූහ.
”සාවිත්‍රය තොප මේ දානය ගැන කුමක් කියන්නේද??”
සාවිත්‍ර තෙරුන් මඳක් විපිළසර වී බුදුවරු විසුළු නොකරන වග දන්නා බැවින් මෙසේ පිළිවදන් දුන්හ.
”එය අසදෘෂ දානය හා සංසන්දනය කළ නොහැක භාග්‍යවතුන් වහන්ස!. . ජල බිඳුවක් හා ගංගාවක් මම කෙසේ සංසන්දනය කරම්ද?”
ඉන්පසු බුදුන් වහන්සේ මේ පැනය විචාලහ. .
”සාවිත්‍රය . . අසදෘශ දානය අනෙක් සියළුම දාන ඉක්මවා මහත්ඵල මහානිශංස වන්නේ කෙසේද??”
සාවිත්‍ර තෙරුන් දීර්ඝ පිළිතුර ඇරඹූහ. .
”ස්වාමීනී. . ඔබ වහන්සේ වෙනුවෙන් පෙරමන් ආවේ චක්‍රවර්ති රජුය, ඔබ වහන්සේව ඔහු පාසෝදා පිළිගත්හ, ප්‍රධාන රහතන් වහන්සේලා අනික් රාජකීයයන් විසින්ද, අවශේෂ සංඝයා සෙනෙවිරත් වරුන්ගෙන් හා සෙබළුන් මඟින්ද එසේ පිළිගන්නා ලදී. . අප වෙනුවෙන්ම භෝජනාගාර හා මණ්ඩප ඉදිකර තිබුණි. ලොව හොඳම කැටයම් කරුවන් ඒවා අලන්කෘත කර තිබුණි. ඔබ වහන්සේ වෙනුවෙන් දියමන්තියෙන් සෑදූ අසුනක් පනවා තිබුණි, චිත්‍ර ශිල්පීන් භෝජනශාලා හ ධර්මශාලා තමන්ගේ විචිත්‍රභාවයෙන් නොඅඩුව පුරවා තිබුණි, එක් එක් භික්ෂුව වෙනුවෙන් එක් එක් මෙහෙකරුවකු සේවයේ යොදවා තිබුණි, අරක්කැමියන් සෑම ආකරයකටම අහාර වට්ටෝරු සාදා තිබුණි. දානය අවසානයේ ධර්මශාලාවට අප වැඩියේ ඇතුන් අල්ලා සිටි මුතුකුඩ සෙවණක් යටිනි. ධර්ම දේශනාවෙන් පසු ඉස්තරම්ම පිරිකර ඔවුන් පිළිගන්වන ලදී. රජු අවසානයේ ඔබ වහන්සේට වැඳ දෑස් වසා තම දානයේ ආනිශංස ලෙස යමක් පැතුවේය. . .
මේ කාරණා නිසා මම එය මහත්ඵල මහානිශංසයැයි කියමි. . ”
බුදුන් වහන්සේ මඳක් තූෂ්ණිම්භූතව හිඳ මෙසේ කියූහ. .
”සාවිත්‍රය ඊයේ ඇරඹුණු වසන්ත සැණකෙලිය සඳහා නුවරුන් මෙහින් නික්ම අගනුවර කරා ගොස් ඇත. උත්සවය කෙළවර වන්නේ අද සවසයි.
මේ පුද්ගලයා දිනපතා ආහාර සොයාගන්නේ කසළ එකතු කර බැහැර කිරීමට භාර ගන්න නිවෙස් වලිනි. දිනකට පෙර සවස් යාමයේ මොහු නිවෙසකට ගිය විට එහි සිටි කාරුණික ස්වාමිදුව නුවරුන් සියල්ලම වසන්ත උළෙලට යන බව දැන මොහුට ආහාර නිසි පරිදි නොලැබේයයි අනුකම්පාවෙන් මෙම කැවිලි සතරක් ඔහුට පරිත්‍යාග කළාය. මොහු වැඩ නොමැති බැවින් ඊයේ ප්‍රමාණවත් ආහාරයක් නොලැබ මෙම කැවිලි අරපිරිමැස්මෙන් අනුභව කරන ලදී. අද උදෑසන ඔහුට ඉතුරු වූයේ එක් කැවිල්ලක් පමණි. අපට පින්ඩපාතයේ යාමේදී මේ ජනශුන්‍ය දිනවල ඇතිවන අපහසුව දත් රජු විසින් මේ දින දෙකට එවන ලද ආහාර හා අරක්කැමියන් ගැන ඔහු කිසිවක් නොදැන සිටියේය. මමද මොහු කෙරේ කරුණාවෙන් කිසිවෙක් නැති මේ නගරයේ පිඬු සිඟා වැඩියෙමි.
මොහුහට මා දක්නට බලාපොරොත්තුවක් නොතිබුණි. වෙනදා මෙන් මිනිසුන් නැති නිසා මොහු ප්‍රධාන මාර්ගයේ ගමන් කළේය. මා දුටු විගස මොහු මඟහැරීමට අතුරු පාරක් සෙවීය. නැවත් නොහැරුණේ වේගයෙන් ඇවිදීමට නොහැකි බැවිනි. . මොහු දැකීමට ලැබීම බොහෝ මිනිසුන් අශුභ ලකුණක් සේ සලකති.
පෙර භවයක මොහු එක් සෙනෙවියෙක්ව අල්ලාගන්නා ගත් සතුරන් කැකෑරුණු තෙල් කටාරම් වල දමා සෙමෙන් ගිනි අවුලා ඔවුන්ගේ දුක් විඳීම මහත් ප්‍රීතියෙන් බලා සිටීමට ලොල් විය. මරණයෙන් පසු බොහෝ දුක් විඳි ඔහු මේ භවයේ උපන්නේ සිරුර පුරා කුෂ්ඨ දැමූ අනාථයකු ලෙසය. මිනිසුන් මොහු දැක කම්පනයකටත් දැඩි පිළිකුලකටත් පත්වූහ. මොහු මෙසේ සිරුරම ආවරණය කරන්නේ එම කුෂ්ඨ නොපෙනීමටයි.
ඉදින් මොහුට මා මඟහැරීමට අවකාශයක් නොතිබුණි. අයිනකට වූ ඔහු කල්පනා කළේ මේ පාළු නගරයේ කුමක් නිසා බුදුන් පිඬු සිඟා වඩියිද යන්නයි. මිනිසුන් නැති බැවින් බුදුන්ට පිණ්ඩපාතය නොලැබී නිරාහාර වන්නට වේ යැයි ඔහු තුල චිත්ත වික්ෂේපයක් හට ගැනුණි.
තමන් කුසගින්නේ සිට හෝ බුදුන්ට පිණ්ඩපාතය දීමට ඔහුට අවශ්‍ය විය. නමුත් ප්‍රධාන සෙනෙවිගේ පවුලට උපන් කුඩා කල සිට සැප සම්පත් ලද , දැන් රාජකීයයන්ගෙන් පවා බුහුමනට පාත්‍ර වන භාග්‍යවතුන් වහන්සේ තම රළු ආහාර පිළිගනීදැයි විපිළිසර වෙමින් සිටියේය. . මම ඔහුට ළන්වත්ම පාත්‍රයෙන් සිවුර මඳක් මෑත් කළෙමි. මම ඔහුගේ චිත්තය හඳුනාගත් බව දුටු ඔහු මා කෙරේ මහත් ස්නේහයෙන් හා කරුණාවෙන් මෙය පුදා ආනිශංසයක් ගැන නොසිතා වැඳීමක් වත් නොකරම යන්නට ගියේය. .
සාවිත්‍රය. . තොපෙන් මේ ප්‍රශ්න විචාරමි පිළිතුරු දෙනු. .
ශ්වේත කේතු රජ මේ දානයට කොපමණ මුදලක් වැය කළේද??”
”ස්වාමීනී, අසූ කෙළකි”
”සාවිත්‍රය ඒ ඔහුගේ සියළු වත්කමද?”
” නැත ස්වාමීනී. . එමෙන් දස ගුණයකටත් වඩා ඔහුගේ භාන්ඩාගාරය පොහොසත්ය”
”රජු මේ ධනය රැස් කරගත්තේ කෙසේද??”
”ස්වාමීනි. . එය ප්‍රවේණිගත ධනයකි. තව අයබදුද අය කෙරේ. ”
”රජු දානය වෙනුවෙන් කුමක් කළේද?ආහාර පිසුවේදම්?කැටයම් කැපුවේද?සැරසීම් කළේද? මණ්ඩප සෑදීමට ගත් කණුවක් එසවීමට්වත් උදවු වූවේද??”
”නැත ස්වාමීනී. . ඔහු එය මෙහෙයවූවා පමණි. . ”
”රජු දානය දුන්නේ මා කෙරේ හුදු භක්තිය නිසාද??”
”ස්වාමීනී. . ඔහු භක්තිමත් බව දනිමි. . එහෙත් ඔහු ආනිශංස බලාපොරොත්තු විය. ”
”සාවිත්‍රය සිහි එළවා ගනු. මේ මනුෂ්‍යයා අපහසුවෙන් වැඩ කර, තමන් කුස ගින්නේ ඉන්නට වන බව දැන දැන සන්තකයේ වූ සෑම දේ වන එම කැවිල්ල භාග්‍යවතුන් වහන්සේ කෙරේ ආදරයෙන් උන්වහන්සේ නිරාහාර වේ යැයි බියෙන් කිසි ආනිශංසයක් නොසිතා පූජා කළේය. . තොප කුමක් සිතයිද?”
සාවිත්‍ර තෙරුන් කාරණය වටහා ගත්හ. ඉන්පසු බිම බලාගෙන මෙසේ විචාලහ. .
”ස්වාමීනී වැටහේ. . මේ කසළ ශෝධකගේ දානයට අසදෘෂ දාන සියයක් වත් සම කළ නොහැක. එහි ආනිශංස ගැන දැනගැනීමට කැමැත්තෙමි. ”
බුදුන් වහන්සේ පිළිවදන් දුන්හ.
”සාවිත්‍රය, ආනිශංස පවා නොසලකා ආත්මාර්ථය හැර ඔහු කළ මේ දානයේ ඵල අධිකය. .
හෙට දින මොහු පියගැට පෙළකින් වැටී හිස කැඩී ක්ෂණයකින් මිය යන්නේය. එය වේදනා රහිත ශාන්ත මරණයක් වන්නේය. ඔහුගේ අයහපත් කර්මඵල එයින් අවසාන වන්නේය.
මළ විගස තවුතිසාවේ ඉපිදෙන්නේය. ශක්‍ර දේවේන්ද්‍ර වන්නේය. ඉන්පසු කල්ප අටසියයක් ශක්‍ර දේවේන්ද්‍ර ලෙසම චුත වෙමුන් ඕපපාතිකව පහළවන්නේය. .
කල්ප දහසක් මහේශාක්‍ය දෙවියකු වන්නේය.
සියදහස් වාරයක් සක්විති රජවන්නේය. ගණන් කළ නොහැකි තරම් වාරයක් ප්‍රදේශ රජ වන්නේය.
අවසානයේ රජ පවුලක ඉපිද නෛෂ්ක්‍රමණය කර සර්ව මිත්‍ර ලෙස ධර්මය නැති කාලයක පසේ බුදු වන්නේය. .
සාවිත්‍රය මේ ඔහුගේ කැවිලි පූජාවේ ආනිශංස වේ!”
මේ නියත විවරණය සමඟම මඳ සුලඟක් හැමුවේය. ගස් සෙමෙන් පැද්දෙන්නට විය. තුරු සෙවණේ ඇවිදිමින් සිටි ශෝධක වාධූර්ය මලින් නැහැවීගියේය.