Sunday, July 2, 2017

නිවස තුළම සිටින සතුරෝ
බුදුසමය අතිශයින්ම ප්‍රායෝගික දර්ශනයකි. ලෞකික හා ලෝකෝත්තර ජීවිත ක්‍ෂාත් ක්‍ෂාත් කරගත හැකි මාර්ග ඉතා පැහැදිලිව එහි දක්වා තිබේ.
භෞතික ජීවිතය සාර්ථක කරගත හැකි මග කුමක්ද? එහි සාර්ථකත්වය මනිනු ලබන්නේ කෙසේද යන්නත් ඉතා සංකීර්ණ ප්‍රශ්න බව පැහැදිලිය. එහෙත් මේ ජීවිතය යම් ප්‍රමාණයක ඵලදායි බවින් යුතුව පවත්වා ගෙනයාමට අවශ්‍ය මූලික කරුණු බුදු සමයෙහි ගැබ්වේ. සමාජය පවුරක් සේ ගතහොත් මේ සමාජ පවුර අපට හරස්වන අපේ අපේක්‍ෂාවන් බිඳ දමන එකක් වැන්න. අප එය ජය ගැනීමට ගන්නා නිරන්තර අරගලයක්ද වේ. මේ අරගලය අපට තනිව ජයගත නොහැකිය. දෙමව්පියන්, ගුරුවරුන් මෙන්ම මිතුරන්ද එයට අමතරව අප විසින් ලබා ගන්නා ලද දැනුම හා අත්දැකීම්ද ජීවිතයට නොමද අනුබලයකි. ඒවා සත්තකින්ම අපට ශක්තියකි. ආශිර්වාදයකි. ඉච්ඡාභංගත්වයට පත්ව පීඩිතව සිටින මොහොතක මෙබඳු අයෙක් අප වෙත සිටිත් නම් කෙබඳු සහනයක්ද?
අපගේ ජීවන කුසුම පුබුදුකරවීමට අනුග්‍රහය දක්වන එක් පිරිසක් වෙත් නම් ඒ කලණ මිතුරෝය. ඔව්හු අප රකිති. අප වෙනුවෙන් වෙහෙසෙති. සැප ළඟා කර ගැනීමට ද විපත් දුරලීමට ද ඔව්හු අනුග්‍රහ දක්වති. බුදුන්වහන්සේ මේ කල්‍යාණ මිතුරන් සතර දෙනෙක් ගැන විග්‍රහ කර තිබේ. උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්ථක්ඛායී, අනුකම්පක යනු මේ සතර දෙනායි. මේ හැර මිත්‍ර වේශයෙන් ඔබ සොයා එන තවත් සතර දෙනෙක්ද වෙති. ඔව්හු ඔබ සොයා එන්නේ ඔබට අපායේ දොර විවර කිරීමටය. අඳුරු අගාධයට තල්ලු කිරීමටය. මෙම මිත්‍ර ප්‍රතිරූපකයන් ගැනද බුදුහු විග්‍රහ කළහ. මොව්හුද හතරකට බෙදෙති. මිත්‍ර වෙසින් පෙනී සිටිමින් සමාජය ආවරණ කෙරෙන මොවුන් හඳුනා ගැනීම පවා දුෂ්කරය. අඤ්ඤුදත්ථුහර, වචීපරම, අනුප්පියභාණි, අපාය සහාය යනු මේ හතර දෙනාය. මොව්හු පාප මිත්‍රයෝය.
“සමන්තා පාප මිත්තාව“ යනුවෙන් බුදුන්වහන්සේ දේශනා කළේ හාත්පස හෙවත් හැම තැනම වාසය කරන මෙබඳු පාප මිත්‍රයන්ගෙන් ආරක්‍ෂාවීමට සත්පුරුෂ ඥානවන්තයා බුද්ධිමත් විය යුතු බවය.
ලෝකය යහපත් වන්නේ ජගත් සමාජය යහපත් වුවහොත්ය. මන්ද ලෝකය නිමවෙන්නේ විවිධ සමාජ හා විවිධ ජනතාවගෙනි. මේ විවිධත්වය නිසාම හොඳ නරක පිළිබඳවද විනිශ්චය විවිධ වේ. සුරාව, ප්‍රාණඝාතය, බුදු දහමට එකඟ නැත. එහෙත් ඒවා සමාජයක අනිවාර්ය අංග ලෙස පිළිගත් රටවල් තිබේ. බුදුන් වදාළ මිථ්‍යාදෘෂ්ටි හා සම්‍යක්දෘෂ්ටි විග්‍රහයද මෙහිදී සිහිපත් වේ. බුදුසමය සම්මාදෘෂ්ටිය හෙවත් නිවැරදි දැක්ම අවධාරණය කරයි. එනිසා බෞද්ධ සමාජය තුළ අගයන දේ අපට වැදගත්ය. මත්පැන් දුරාචාරයට හේතු වන අයුරු ඉතා ප්‍රායෝගිකව බුදු දහම පෙන්වා දෙයි. එහෙත් බේබදුකම තුළ ගිලුනු බෞද්ධයෝ කොපමණ සිටිත්ද? මේ විනාශයට පොළඹවන පාප මිත්‍රයෝද සිටිති.
බේබදුකම සමාජශීලි ගුණයක් සේ සලකන මුග්ධයෝද සිටිති. බේබදුකමින් ලබන “සෝෂල් බව“ ව්‍යාජයකි. පුද්ගල ජීවිතය අඳුරට හෙලන මේ මිත්‍ර ප්‍රතිරූපකයෝ කොහි සිටිත්ද? මෙයට දිය හැකි සරල පිළිතුර නම් ඔවුහු ඔබ සමඟ ඔබ නිවසේම සිටිති යන්නය. ඇතැම් විට ඔබේ ස්වාමියා ලෙසද ඔබේ බිරිඳ හෝ සැමියා ලෙසද මව හෝ පියා ලෙසද දරුවන් ලෙසද මේ මිත්‍ර ප්‍රතිරූපකයෝ සිටිති. ඔවුන්ගෙන් කවුරුන් හෝ ඔබ අගතියකට යොමු කරයිද එසේ නම් ඔහු හෝ ඇය නිසැකවම පසමිතුරෙක් සේ දතමනාය.
“මාතා මිත්තං සකේ ඝරේ” ගෙදර සිටින හොඳම මිත්‍රයා මව බව බුදු වදනකි. එහෙත් මේ මිත්‍ර රූපය හෙවත් මව සිය දරුවා දෙස බලන ආකාරය තුළ ඔහුට දෙන විනය හා ශික්ෂණය මත ඇයගේ සතුරු මිතුරු ගුණ රැඳෙනු ඇත. මවුපියන්ට දරුවා තරම් සම්පතක් නැත. එනිසාම දරුවා නොමග නොයැවීමට අවශ්‍ය සියල්ල සම්පාදනය කිරීම නැණැති මවකගේ ලක්ෂණයයි. සාරය හා අසාරය හැඳින ගැනීමට දරුවාට රුකුල් දිය යුතුය. ජීවිතය යහපත්ව හා ධාර්මිකව පවත්වා ගැනීමට වුවමනා දේවල් අතර යහපත් සිතිවිලිද ප්‍රධානය.
දුසිරිත් දුරුකොට සුසිරිත් වඩන මග දරුවාට පෙන්වා නොදෙන මව මිත්‍ර වෙසින් සිටියද සතුරෙකි. ළමා වියෙහි හුරතලයට කරන වැරදි වියපත් වූ විට ජීවන වෘත්තීය බවට පත් වන්නේද මේ මන්දබුද්ධික මවුවරුන් නිසාය. දරුවාට ආදරය කරන මවක් සියල්ල ඉවසා දරුවා කවා පොවා මහත් කිරීමට පමණක් වෙහෙසේ නම් එයම ඒ දරුවාගේ විනාශය වනු ඇත. ඔහුගේ සිරුර වැඩෙයි. මනස නොවැඩෙයි. ඔහු සොරකු හෝ අපරාධකරුවකු විනා යහපත් සත්පුරුෂයකු නොවේ.
තම ස්වාමියා විනාශ මුඛයට ඇද දමන භාර්යාවෝ කොපමණ සිටිත්ද? පිරිමිකම ප්‍රදර්ශනය කරන මිම්මක් ලෙස බේබදුකම පිළිගන්න මේ බිරියන් සිදු කරන විනාශය අප්‍රමාණය.
“අනේ මගේ මහත්තයානං ඉඳල හිටල බොන්නෙ. ඔය පාටියකට ගියාම විතරයිනෙ. එහෙම නොබිව්වොත් කොන් වෙනවනේ” කියන නෝනාවරු තම මහත්වරුන් ඇද දමන්නේ මහා ප්‍රපාතයකටය. බෝතලයට ඇදී එන අනෙක් පාප මිත්‍රයන් සමඟ රැඳෙමින් ඔවුන්ට අඩුවැඩිය සපයන නෝනලාද සිටිති. ඔවුන් කියන්නේ ගෙදරදී බීම වරදක් නොවන බවකි. නොකළ යුත්ත යනු කොතැනකදී හෝ නොකළ යුත්තකි. පිටදී කරන වරද ගෙදරට රැගෙන ඒමට අනුබල දෙන නෝනලා නිසා ගෙදරම තැබෑරුමක් බවට පත් නොවේද? එපමණක් නොව එය වැඩෙන දරුවාගේ සිතට කරන බලපෑම කුමක්දැයි සිතා බලන්න.
මේවා මිත්‍රයන්ගේ අනුග්‍රහයෙන් නොව පස මිතුරන්ගේ විනාශකාරී පෙළඹවීමය. මතට, දුමට තම ආදරවන්තයා පොළඹවන අය කරන්නේ උදවුවක්ද? ඉන් වැනසෙන්නේ පවුලම නොවේද? ගෙදර තැබෑරුමක් වූ විට එහි රැඳෙන ශාන්තිය කුමක්ද?
ගංගොඩවිල සෝම හිමි.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

No comments:

Post a Comment