Sunday, July 2, 2017

කල්‍යාණ මිත්‍රයා හා පාප මිත්‍රයා
බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනකුන්ට පණ්ඩිත අමාත්‍යයෙක් සිටියේය. රජතුමා සෙසු ඇමතියන්ට වඩා හිතවත් කමක් ඔහුට දැක්වීය. මේ නිසා සෙසු ඇමතියෝ පණ්ඩිත ඇමතිට ඊර්ෂ්‍යා කළහ.
රජු ඔහු කෙරෙහි බිඳුවීමේ අදහසින් ඔහුගේ නැති වැරදි ඇතිසේ පෙන්නූහ. රජතුමාද විචක්ෂණයකු වූ හෙයින් ඔහු නොමග යැවීමට ඒ ඇමතිවරු අසමත් වූහ. දිනක් රාජසභාවේ ඇමතිවරුන් ඉදිරිපිටදී මේ අවුල විසඳීමට රජතුමා තීරණය කළේය. යම් පුද්ගලයකු මිත්‍රයකු වශයෙන් හෝ අමිත්‍රයකු වශයෙන් පිළිගැනීමට ඒ පුද්ගලයාගේ 
කවර ක්‍රියා කවර වචන හේතුවන්නේ දැයි රජතුමා විමසුවේය.
මීට පිළිතුරු වශයෙන් කල්‍යාණ මිත්‍රයා හඳුනා ගැනීම සඳහා කරුණු සොළොසක්ද මිත්‍ර ප්‍රතිරූපකයා හෙවත් පාපමිත්‍රයා හඳුනාගැනීමට කරුණු සොළොසක්ද ඒ පණ්ඩිත අමාත්‍යයා විසින් පෙන්නා දෙන ලදී.
කල්‍යාණ මිත්‍රයාගේ ලක්‍ෂණ :-

1. මිතුරා තමාගෙන් ඈත තැනක වාසය කරන්නේ නම් නිතර සිහිපත් කිරීම.
2. මිතුරා පැමිණිවිට දැක සතුටුවීම.
3. මිතුරාගේ අන්‍ය මිතුරන්ද සුහදව ඇසුරු කිරීම
4. යම්කෙනකු මිතුරාගේ නුගුණ කියනු ඇසුනොත් එය වැළැක්වීමට උත්සාහ කිරීම.
5. මිතුරාගේ ගුණ කියන්නන්ට ප්‍රසංසා කිරීම ඊට අනුබල දීම.
6. තමාගේ රහස් මිතුරාට කීම.
7 . මිතුරාගේ රහස් හෙළිදරව් නොකිරීම.
8. මිතුරාගෙන් ලැබුණු සුලු දේ වුවත් ඉහළින් අගය කිරීම.
9. මිතුරාගේ බුද්ධිය උසස්කොට සැලකීම.
10. මිතුරාට අභිවෘද්ධියක් යහපතක් සිදුවූ විට සතුටු වීම.
11. මිතුරාට කරදරයක්, අලාභයක් සිදුවූවිට සංවේග වීම.
12. දුර්ලභ ආහාර පානාදියක් ලැබුණුවිට මිතුරාටත් දී නැතහොත් මිතුරාටත් දෙන්න ඇත්නම් හොඳයයි සිතා අනුභව කිරීම.
13. මිතුරාට කිසියම් කරදරයක් සිදුවුවහොත් ඔහු ද ඔහුගේ අඹුදරුවන් හා දේපළ ද ආරක්‍ෂා කිරීම.
14. මිතුරා අයහපත් – පාපක්‍රියාවල යෙදේ නම් ඉන් වළකා යහපත් ක්‍රියාවල යෙදවීම.
15. මිතුරාට යම්දෙයක් අවශ්‍ය වූ විට, අවශ්‍ය ප්‍රමාණයටත් වැඩියෙන් දීම.
16. මිතුරා නොදන්න දේ කියාදීමෙන් ඔහුගේ දැනුම වර්ධනය කිරීම.
මිත්‍ර ලීලාවෙන් සිටින මිත්‍ර ප්‍රතිරූපකයාගේ ලක්‍ෂණ
1. ඇසුරු කරන්නා දැකීමෙන් සතුටු නොවීම.
2. ඇසුරු කරන්නා කතාකරනු ඇසීමෙන් සතුටු නොවීම.
3. ඇසුරු කරන්නා තමාදෙස බලන විට අහක බැලීම.
4. ඇසුරු කරන්නා කියන කරුණට එකඟ නොවීම. විරුද්ධ වීම.
5. ඇසුරු කරන්නාගේ සතුරන් හා සම්බන්ධතා පැවැත්වීම.
6. ඇසුරු කරන්නාගේ වැදගත්, උසස් ගතිගුණ, දක්‍ෂතා ආදී ගුණාංග අගය නොකිරීම.
7. ඇසුරු කරන්නාගේ බුද්ධිය අගය කොට නොසැලකීම. ඊට ප්‍රශංසා නොකිරීම.
8. ඇසුරු කරන්නාට විපතක් කරදරයක් සිදුවූවිට ඊට සතුටු වීම.
9. ඇසුරු කරන්නාට ලාභයක්, අභිවෘද්ධියක් සිදුවූ විට සතුටු නොවීම.
10. දුර්ලභ ආහාර පානාදියක් ලැබුණුවිට ඉන් කොටසක් දීමට අදහස් නොකිරීම.
11. හිස් අතින් ඇසුරු කරන්නා වෙත පැමිණ ඔහුගෙන් යමක් ගෙන යන්න උත්සාහ කිරීම.
12. උදවු - උපකාර සියල්ල වචනයට පමණක් සීමාවීම.
13. ඇසුරුකරන්නා කරන්න යන ක්‍රියාවෙන් ඔහුට හානියක් සිදුවන බව පෙනී ගියත් ඒ ක්‍රියාව අනුමත කොට ඊට අනුබල දීම.
14. ඇසුරු කරන්නා සුරාව-සූදුව වැනි පාපක්‍රියාවලට යොමු කිරීම.
15. තමන්ට පැමිණි බිය දුරුවෙන තුරු පමණක් මිත්‍රලීලාවෙන් ඇසුරු කිරීම.
16. තමන්ගේ ප්‍රයෝජනය සඳහාම ඇසුරු කිරීම.

පණ්ඩිත ඇමතිවරයා විසින් මේ කරුණු දක්වනු අසා උන් රජතුමා ඔහු කෙරෙහි වඩාලාත් පහන් වූ සිත් ඇතිව වැඩි වැඩියෙන් සම්පත් සලසා දීමට පියවර ගත්තේය.
කැලිගම විජිතනන්ද හිමි
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

No comments:

Post a Comment