පින්වතුනේ බුදු කෙනෙක් ගැන අල්පමාත්‍රයක් හරි සිතේ ප්‍රසාදයක් ඇති කර ගත්තොත් ඒක පුංචි දෙයක් නෙවෙයි එය අපේ ජීවිතයට ලොකු ජයග්‍රහණයක්. පින්වතුනි ඒකට තිරිසන් සතුන්ටත් කලාතුරකින් වාසනාව ලැබෙනවා. හැබැයි පුදුමයි සමහරු මිනිසුන් වෙලත් ඒ වාසනාව නෑ.ඉතින් බුදු රජාණන් වහන්සේ දැකලා සිතේ සතුටක් ඇති කර ගත් දියකාවෙක් ගැන කතාවක් තමයි දැන් කියලා දෙන්නේ.
පින්වතුනි මේ සිද්ධිය සිද්ධ වුණේ කල්ප අනූදෙකකට කලින් ඒ කාලේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා හිටියා " තිස්ස" නමින්. ඉතින් තිස්ස නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය අහලා දෙව් මිනිසුන් කෙළෙස් ගිනි නිවා ගත්තා. ගත වෙලා ගිය සුන්දර කාල පරිච්ඡේදයක්. ඒ තිස්ස නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු.
මේ කාලයේ දී පින්වතුනි එක්තරා විලක් තිබුණා හරිම ලස්සනයි නොයෙක් ජලජ පුෂ්පයන්ගෙන් පිරිලා තිබුණා ඒ වගේම ජලයේ ජීවත් වන නොයෙක් මසුන් ඇතුළු සතුන්ගේ හොඳ වාසස්ථානයක් වෙලා තිබුණා. ඒ වගේම ආහාර සොයා එන පක්ෂීන් ඇතුළු සතුන්ගේ ප්‍රියතම ස්ථානයක් වුණා. පින්වතුනි එක්තරා දවසක බුදු රජාණන් වහන්සේ මේ විල දෙසට අහසින් වඩිනවා විලේ හිටපු දියකාවෙක් දැක්කා. මේ දියකාවට හරි පුදුමයි.මීට කලින් අහසින් යන සතුන් ඕන තරම් දැකල තියෙනවා. නමුත් මේ තැනැත්තා එහෙම නෙවෙයි හරිම වෙනස් කලබලයෙන් අත් තටු සලමින් ඉගිලෙන කෙනෙක් නෙවෙයි. කුඩා ශරීරයක් ඇති කෙනෙකුත් නෙවෙයි. නපුරු පෙනුමක් ඇති කෙනෙකුත් නෙවෙයි. කාටවත් හිරිහැරයක් ඇති කෙනෙකුත් නෙවෙයි. හරිම ලස්සනයි බබලනවා.තමන්ට උදව් කරන්න එන කරුණාවන්ත කෙනෙක් විය යුතුයි කියලා මේ දියකාවට හිතුනා. ඉතින් පින්වත්නි හරිම ආශ්චර්යක් වෙන කවදාවත් නැති විදියට මේ සතාගේ සිත බුදු රජාණන් වහන්සේ නිසා ප්‍රීතියට පත් වෙලා. මේ දියකාවා පීනගෙන ගිහිල්ලා තමාගේ තුඩින් නෙලුම් මලක් කඩා ගෙන ගිහින් බුදු රජාණන් වහන්සේට යොමු කෙරුවා පූජා කෙරුවා. බලන්න පින්වතුනි බුද්ධ පූජාවක අසිරිය කෙතරම්ද? ඊටපස්සේ මේ දියකාවා මරණින් මත්තෙහි ඒ පිනෙන් දෙව්ලොව ඉපදුනා. ගෞතම බුද්ධ ශාසනය තෙක් අපායේ ගියේ නෑ. මෙයින් හැත්තෑතුන් වන කල්පයේ මනුස්ස ලෝකයේ සක්විති රජ වුණා. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේදී දඹදිව ඉපදිලා මහණ වෙලා උතුම් අරහත්වයට පත් වුණා. ඒ තමයි" නළිනකෙසරිය" මහ රහතන්වහන්සේ. පින්වතුනේ උන්වහන්සේ තම අතීත සංසාරයේ කරපු පින්කම් පිළිබඳව විමසන විට තමයි මේ දියකාවෙක් වෙලා කරපු පින්කම දැක්කේ.ඉතින් පින්වතුනි අපි මෙහිදී කල්පනා කර බැලිය යුත්තේ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය කොතරම්ද? ඒ භාග්‍යවතුන් වහන්සේ මගේ නේද කියලා කියන්නට උපතින්ම අප ලද වාසනාව කෙතරම්ද? අනේ මේ පැහැදීම ස්ථීර කර ගන්නට ඇත්නම් (සෝතාපන්න වීමට) කෙතරම් අගනේද? එයට අපිට ඇති බාධක මොනවාද? කියලයි. පින්වතුනි අනාගත ලොකය ධර්මයේ හැසිරෙන්නට සුදුසු තැනක් නොවේ.ඉතින් ඒ අනාගත බිය දැකලා අප්‍රමාදීව කුසල් වැඩීමයි කළ යුත්තේ. ඒ සඳහා හැම දෙනාටම ශක්තිය වාසනාව ලැබේවා.
තෙරුවන් සරණයි!
No comments:
Post a Comment