Wednesday, January 10, 2018

පූර්ණා දාසිය


මේ මනෝරථපූරණී නම් අටුවාවේ සප්තක නිපාත වර්ණනාවේ එන කථාවකි.

එක් කලෙක තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වස් වැස පවාරණය කොට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා හා දක්ෂිණාගිරියට චාරිකාවේ යම්හයි නික්මුණු සේක. පසේනදී කොසොල් රජතුමා හා අනේපිඬු මහසිටුහු ද විශාකා මහා උපාසිකාව හා තවත් බොහෝ ජනයා ද එක් වී බුදුන් වහන්සේගේ ගමන නවත්වන්නට උත්සාහ කළහ. ඔවුනට බුදුන් වහන්සේ නැවැත්විය නො හැකි විය. අනේපිඬු සිටුතුමා තථාගතයන් වහන්සේ නො නැවැත්විය හැකිවීම ගැන සිතමින් ජන ශූන්‍ය ස්ථානයක වාඩි වී සිටියේය. සිටු නිවසේ වැඩ කරන පූර්ණා නම් දාසිය නො සතුටින් හිඳිනා සිටුතුමා දැක “හිමියනි, ඔබතුමා නො සතුටින් හිඳිනා සේ පෙනෙන්නේ කුමක් නිසා දැ” යි කීවාය. එකල්හි සිටුතුමා “තථාගතයන් වහන්සේ චරිකාවෙහි වැඩම කරන්නාහ. උන්වහන්සේ ඉක්මනින් පෙරලා වැඩම කරන සේක් ද නැත දැයි මම කල්පනා කරමින් හිඳිමි”යි කීය. එකල්හි දාසිය “තාථාගතයන් වහන්සේගේ ගමන නැවැත්වුව හොත් මට කුමක් කරන්නහුදැ”යි කීවාය. තිට එසේ කළ හැකිවුව හොත් තී නිදහස් කරමි”යි සිටුතුමා කීය. දාසිය වහා ගොස් බුදුන් වහන්සේට වැඳ “ස්වාමීනි නවතින සේක්වා” යි කීවාය. තථාගතයන් වහන්සේ “අප නැවතුන හොත් තී කුමක් කරන්නෙහිදැ”යි වදාළහ. “ස්වාමීනි, දාසියක් වූ මට කිසිවක් නැති බව ඔබ වහන්සේ දන්නාහ. මට කළ හැකි අන් කිසිවක් නම් නැත. ඔබ වහන්සේ නවතින සේක් නම් මම තිසරණ සහිත පඤ්ච ශීලයෙහි පිහිටා සිල් රකිමි”යි කීවාය. ධර්මගරුක වූ තථාගතයන් වහන්සේ ඇගේ ආරාධනය පිළිගෙන එක් පියවරකුදු ඉදිරියට නො තබා පෙරලා වැඩම කළ සේක. පූර්ණා ද බුදුන් වැඩමවා දී නිදහස ලබා මෙහෙණි සස්නෙහි පැවිදි වූවා ය.

පඤ්ච ශීලය තථාගතයන්වහන්සේ උසස් කොට සලකන ශීලයක් නොවේ නම් රජුන්ගේ සිටුවරුන්ගේ ආරාධනාව නො පිළිගත් තථාගතයන් වහන්සේ පඤ්ච ශීලය රකිමි” යි කී පූර්ණා දාසියගේ ආරාධනාව නො පිළිගන්නා සේක.
බුදුන් වහන්සේ දේශනා කරන ශීලය පඤ්ච ශීලය නොව ආජීවාෂ්ටමක ශීලය යයි ඇතැමුන් කියන නමුත් බුදුන් වහන්සේ විසින් හෝ ශාරිපුත්‍රාදි බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා විසින් හෝ කිසිවකුට ආජීවාෂ්ටමක ශීලය සමාදන් කරවූ බවක් පිටකත්‍රයේ සඳහන් වී තිබෙනු නො දක්නා ලදී. ඵසේ ආජීවාෂ්ටමක ශීලය සමාදන් වූ පුද්ගලයකු ගැන ද පිටකත්‍රයේ සඳහන්ව තිබෙනු නොදක්නා ලදී.

ආර්‍ය්‍ය අට්ඨංගික මාර්ගයේ ඇතුළත් වන්නේ ආජීවාෂ්ටමක ශීලය බව සැබෑ ය. එහි සම්මා වචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යනුවෙන් කියැවෙන්නේ ආජීවාෂ්ටමක ශීලය ය. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය, වැඩිය යුත්තේ පඤ්ච ශීල, අෂ්ටාංග ශීල, දශ ශීල, චතුපාරිශුද්ධි ශීල යන මේ ශීලවල පිහිටා විදර්ශනා භාවනාවෙහි යෙදීමෙනි. විදර්ශනා වැඩීමෙහි යෙදෙන කල්හි මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීවයන්ට හේතු වන ක්ලේශයන් දුරුවීමෙන් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්ගාංගයෝ වැඩෙති. ප්‍රථම මාර්ගය වන සෝතාපත්ති මාර්ගයට පැමිණි තැනැත්තාට "අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති" යන සතරවන අංගය ඇතිවන්නේ එහෙයිනි. එය ශීලසමාදානයකින් ඇතිවන්නක් නොවේ. ප්‍රාණඝාතාදියට හේතුවන ක්ලේශයන් දුරු වූ නිසා ඔහුට ඒවා නො කළ හැකි තත්ත්වයක් ඇති වේ. අරියකන්ත ශීලයෙන් යුක්තවීම යයි කියනුයේ ඒ තත්ත්වයට පැමිණීම ය.

පිටකත්‍රයේ කොතැනකවත් සඳහන් නො වන, අටුවා ටීකාවල සඳහන් නොවන පැරණි සිංහල බණ පොත්වල සඳහන් නොවන මේ ආජීවාෂ්ටමක ශීලයේ සිකපද අට කවර කලෙක කවුරු විසින් පිළියෙල කරන ලද දැයි එහි ඉතිහාසය නො දනිමු. සිකපද පිළියෙල කළ තැනැත්තාට එක් අවුලක් වී ඇති බව නම් පැහැදිලිය. දැනට භාවිත කරන ආජීවාෂ්ටමක ශීලයේ සිකපද යොදා ඇති පිළිවෙළ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග දේශනයට නොගැලපේ. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග දේශනයේ ශීලය දක්වා ඇත්තේ සම්මා වාචා, සම්මා කම්මන්තො, සම්මා ආජීවෝ යි වාග්දුශ්චරිතයෙන් වැළකීම මුල්කොට ය. කායදුශ්චරිතයෙන් වැළකීම දෙවැනි තැනට ය. ඒ නිසා ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග දේශනාව අනුව ආජීවාෂ්ටමක ශීලයේ සිකපද පිළියෙළ කරනවා නම්-

මුසාවාදා වේරමණී, පිසුනාය වාචාය වේරමණී, ඵරුසාය වාචාය වේරමණී, සම්ඵප්පලාපා වේරමණී, පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමෙසු මිච්ඡාචාරා වේරමණී, මිච්ඡා ආජීවා වේරමණී යන පිළිවෙළට ය. පාණාතිපාතා වේරමණී යන්න මුලට ගෙන තිබෙන්නේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය අනුව නොව පඤ්ච ශීලය අනුව යාමෙනි.

ආජීවාෂ්ටමක ශීලය සමාදන් කරවීම, සමාදන් වීම අපේ පොත්වලට ද ඇතුළත් වී ඇත. එසේ වී තිබෙන්නේ බාල කාලයේ අප ඇසුරු කළ තෙරුන් වහන්සේලාගේ ඉගැන්වීම අපත් අවිචාරයෙන් පිළිගෙන සිටි බැවිනි. අපේ පොත් නැවත නැවත මුද්‍රණය කරවීමේ දී ඒ ශීලය ඒවායින් ඉවත්කිරීමට උපදෙස් දී ඇත.

No comments:

Post a Comment