Wednesday, January 10, 2018

තිසරණ ගත උපාසක කෙනෙකුට දෙන දානයේ විපාක මෙපමණය කියා කිව නො හැකි ය

සරණගමනිය හිමි අනෝමදස්සිී බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි නිසභ තෙරුන්ගෙන් තිසරණ සමාදන් විය. ඒ හිත පහදා ගෙන තැම්පත් සිතින් තිසරණ ගත් පිනින් අසූවාරයක් සක් දෙවිඳුව උපන්නේ ය. හැත්තෑපස් වාරයක් සක්විති රජකම ලැබුනේ ය. මේ බුදු සසුනේ දී හත් අවුරුදු වියේදී ම රහත් වීමට ද ඒ පින උපකාරී විය. (අපදානපාලියේ 23 වන අපදානය)

පඤ්ච සීල සමාදනීය හිමි පෙර ඒ නිසභ හිමිගෙන් පන්සිල් සමාදන් වු පිනින් තිස් වතාවක් සක් දෙවිඳු විය. හැත්තෑ පස් වතාවක් සක්විති රජකම ලැබුණා. අප බුදු සසුනේ දී විශාලා මහනුවර දී පන්සිල් ගැනීමේ දී ම රහත් වීමට ඒ පෙර පින ද උපනිශ්‍රය වි ඇත. (අපදාන පාලියේ 24 වන අපදානය)

යමෙක් පැහැදුනු සිතින් බුදුන් දහම් සඟුන් සරණ කොට පිහිට කොට වාසය කරයි නම් ඒ අය අපායට නො යන බව මෙසේ දක්වා ඇත.

“යේ කේචි බුද්ධං සරණං ගතාසේ න තේ ගමිස්සන්ති අපායං පහාය මානුසං දේහං දේවකායං පරිපුරෙස්සන්ති”

මෙයින් දක්වා තිබෙන්නේ බුදුන් සරණ යන අය අපායට නො යන බව ය. ඒ වගේ ම තමයි ධර්මය ද සංඝයා ද යමෙක් පිහිට කොට සරණ කොට වාසය කරයි නම් ඒ අයද සුගති පරායනය වේ. එසේ ම එක තිරිසන් සතෙකුට දානයක් දෙන ලද්දේ නම් ආත්ම සියයක් ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥාවන් ගෙන දේ. එසේම මසුන් මරණ අනුන්ට පීඩාකර ජීවත් වන දුස්සීල පුහුදුන් පුද්ගලයෙකුට දානයක් දෙන ලද්දේ නම් ආත්ම භාව දාහක් ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥාවන් ගෙන දේ. එසේම ඇති අගුණ වහන ස්වභාව නැති, නැති ගුණ පෙන්වන ස්වභාව නැති, අනුන් නො පෙළා දැහැමෙන් සෙමෙන් කෘෂි වෙළඳ ආදී කර්මාන්ත වල යෙදී ජීවත් වන පුහුදුන් සිල්වතෙකුට දුන් දානයේ විපාක ආත්ම භාව ලක්ෂයක් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාවන් ගෙන දේ. තව ද කර්ම ඵල විශ්වාස කරන කර්ම වාදී, කිරිය වාදී කාමයන් කෙරෙහි වීතරාගී සිත් ඇති ලෞකික පඤ්ච අභිඤ්ඤාවන් ඇති බාහිර තාපසයෙකුට දෙන දානයේ විපාක ආත්ම භාව කෝටි ලක්ෂයක් ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥාවන් දෙන්නා හ.

තිසරණ ගත උපාසක කෙනෙකුට දෙන දානයේ විපාක මෙපමණය කියා කිව නො හැකි ය. අසංඛෙය්‍ය අප්පමෙය්‍ය වශයෙන් මජක්‍ධිම නිකා අටුවාවේ දක්වා ඇත. එයට වඩා පංච සීලයෙහි පිහිටියෙකුට දෙන දාන මහත් ඵලවේ. ඊටත් වඩා දස සීලයක පිහිටියෙකුට දෙන දාන මහත් ඵල වේ. ඊටත් වඩා වත්ත සම්පන්න භික්ෂුවකට දෙන දානය මහත් ඵලය. එයටද වඩා අරඹන ලද විදර්ශනා ඇති භික්ෂුවකට දෙන ලද දානය මහත් ඵල වේ. සෝවාන් උතුමෙකුට දෙන දානයට ද වඩා අරඹන ලද විදර්ශනා ඇති උතුමෙකුට දෙන දානය මහත් ඵල වන බව දක්ඛිණාවිභඩ්ග අටුවාවේ දක්වා ඇත.

තව ද වේලාම සුත්‍රයට අනුව සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක සකෘදාගාමි කෙනෙකුට ද සකෘදාගාමි සියදෙනෙකුට දෙන දානයට වඩා එක් අනාගාමී උතුමෙකුට දෙන දානය ද අනාගාමී උතුමන් සියදෙනෙකුට දෙන දානයට වඩා එක් රහතන් වහන්සේ නමකට දෙන දානය ද රහතන් වහන්සේලා සියක් නමකට දෙන දානයට වඩා එක් පසේබුදු කෙනෙකුට දෙන දානයේ විපාක සතසහස්ස ගුණයෙන් වැඩි වන්නා හ. ඒ වාගේ ම පසේබුදුන් සියයකට දෙන දානයට වඩා එක් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට දෙන දානය මහත් ඵල මහානිසංස වේ. එයටත් වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දානය මහත් ඵල මහානිසංස වන්නා හ.

එයට ද වඩා සතර දිගින් වඩිනා මහා සංඝයා උදෙසා විහාරයක් කරවන්නේ නම් එය මහත්ඵල මහානිසංස වන්නා හ. එයටද වඩා යමෙක් ප්‍රසන්න සිතින් බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය සරණ යා නම් මහත්ඵල වේ. එයටද වඩා යමෙක් පැහැදුනු සිතින් තිසරණ සහිත පන්සිල් සමාදන් වන්නේ නම් මහත්ඵල මහානිසංස වන්නා හ. එයටද වඩා යමෙක් සුවඳක් ආඝ්‍රාණය කරන තරම් සුළු කාලයක් නමුදු මෙත් සිත පතුරවන්නේ නම් එය මහත්ඵල මහානිසංස වන බව දත යුතු ය. මෙයට ද වඩා අසුරු ක්‍ෂණයක් තරම් කාලයක් නමුදු අනිත්‍ය සංඥාව වඩයි නම් මහත් ඵල මහානිසංස වන බව වේලාම සුත්‍රයේ දක්වා ඇත.

සබ්බදානං ධම්ම දානං ජිනාති

තිලොවක තිලක වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ “සබ්බදානං ධම්ම දානං ජිනාති” යැ යි වදාරා ඇති පරිදි ධර්ම දානමය පින සියලුම දානමය පින්කම් අභිභවනය කරන බව හා එහි ඇති අගය මෙසේ දත යුතු ය.

ඉදින් වනාහි සක්වල ගැබ සිට නේවසඤ්ඤානාසඤ්ඤායතන අරූපි බඹලොව දක්වා අතරක් නැතිව සිටින සේ වඩා හිඳුවා බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලාට කෙසෙල් බඩ (ගොබ) මෙන් අතිශයින් ම දුහුල් සිනිදු සිවුරු දෙන්නේ වේ ද, ඒ චීවර දානමය පිංකමට ද වඩා එහි සතර පද ගාථාවකින් කරන ලද ධර්ම අනුමෝදනාව ශ්‍රේෂ්ඨ වේ කියා ය. තව ද, “තං හි දානං තස්සා ගාථාය සෝළසිං කලං නාග්ඝති” යැයි එහි වදාරා ඇති පරිදි ඒ සක්වල ගලේ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතුන් වඩා හිඳුවා දුන් දානයෙහි විපාකය සතර පද ගාථාවකින් අනුමෝදනා බණ කියා ලද විපාකයෙන් සොලොස් කලාවකුදු (දහසයෙන් කොටසකදු) නො වටී යනුවෙන් දක්වා ඇත. මෙසේ බුදු බණ පදයක් නමුදු දේශනා කිරීම ශ්‍රවණය කිරීම මහත් ඵල ගෙන දේ යැ යි වදාරා ඇත .

සක්වල ගැබ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා වඩා හිඳුවා දෙන ලද ප්‍රණීත පිණ්ඩපාත දානයට ද වඩා ධර්ම දානමය පිංකම ශ්‍රේෂ්ඨ වේ. එසේම වඩා හිඳුවා පාත්‍ර පුරවා දෙන ලද ගිතෙල් ආදී බෙහෙත් දානයට ද වඩා ධර්ම දානමය පිනම ශ්‍රේෂ්ඨ වේ. එසේම මහා විහාරයන්ට සමාන විහාර ද, එසේම ලෝවාමහාපාය වැනි ප්‍රාසාදයන් නොයෙක් සියදහස් ගණනින් කරවා දෙන ලද සේනාසන දානයට ද වඩා ධර්ම දානමය පිනම උතුම් වේ.

අනාථ පිණ්ඩික සිටුතුමා දෙව්රම් වෙහෙර සඳහා කළ පනස් හතර කෝටියක ධන පරිත්‍යාග චේතනාවට ද වඩා යටත් පිරිසෙයින් සතර පද ගාථාවකිනුදු අනුමෝදනා ධර්ම දේශනයක් සිදුකෙරේ නම්, ධර්ම දානමය පිංකමක් සිදු කෙරේ නම් ඒ ධර්ම දානමය පිංකම ම දානමය පිංකම් අතර අග්‍ර වේ, ශ්‍රේෂ්ඨ වේ, උතුම් වේ යැ යි දක්වා ඇත.

එයට හේතුව නම් ඉහත කී සිවුරු පිදීම පිණ්ඩපාත දාන සෙනසුන් ඉදිකිරීම් ආදී පුණ්‍ය කර්ම කරනුයේ ධර්මය අසා දැන ගත් බැවිනි. ධර්මය දැන කියා ගැනීමට නො ලැබුණි නම් කැඳ සරලුවකුදු බත් හැන්දකුදු නො දෙන බව ධර්මයේ පෙන්වා ඇත. මේ කරුණින්ද ධර්ම දානමය පිංකම ම සියලු දන් පරදවන බව දත යුතු ය. තව ද රහත් බෝධියෙන් නිවන් දුටු පිරිස අතර අගතැම්පත් සැරියුත් ස්වාමින් වහන්සේට කල්පයක් මුළුල්ලෙහි වසින වර්ෂාවේ දියබිඳු ප්‍රමාණය කීමට තරම් මහා නුවණක් ඇත්තේ ය. මේ තරම් නුවණක් ඇති සැරියුත් හිමිට ද බණ පදයක් දැන ගැනීමට නො ලැබුණි නම් නිවන් දැකීමට නො හැකි වන්නේ ය. මේ හේතුවෙන් ධර්ම දාන ම ය පින ම සියලු දාන ම ය පිංකම් වලට වඩා ශ්‍රේෂ්ඨ වන බව අග්‍ර වන බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳුට වදාරන්නට යෙදුනේ ය.

සම්බුදු රජාණන් වහන්සේගේ සිරි පතුලේ උතුම් මඟුල් ලකුණු 108

කරුණා නිධාන වූ සම්බුදු රජාණන් වහන්සේගේ සිරි පතුලේ උතුම් මඟුල් ලකුණු 108 ක්‌ පිහිටා ඇති බව ථෙරවාදී බෞද්ධයන් පිළිගනිති. ඒ මඟුල් ලකුණු එකසිය අට වන්නේ 
(1) ස්‌වස්‌තිකය
(2) ශ්‍රී මතස්‍යය 
(3) නද වටය 
(4) සොවැතිය 
(5) අවතංසකය
(6) වර්ධමානකය.
(7) භද්‍ර පීඨය
(8) ප්‍රාසාදය
(9) තොරණය
(10) ශ්වේත ච්ඡත්‍රය
(11) ඛංගය
(12) තාල වෘතය
(13) මයුර හස්‌තය
(14) චාමරය
(15) උණගීසය
(16) මණිය
(17) සුමනාදාමය
(18) නීලොතපලය
(19) රක්‌කොත පලය
(20) රක්‌ත පද්මය
(21) ශ්වේත පද්මය
(22) පුන් කලස
(23) පූර්ණ පාත්‍රය
(24) සතර සමුදාය
(25) චක්‍රවාල පර්වතය
(26) හිමාලය
(27) මහාමේරු පර්වතය
(28) සූර්ය මණ්‌ඩලය
(29) චන්ද්‍ර මණ්‌ඩලය
(30) සතර මහා ද්වීපය
(31) චක්‍ර වර්තිය
(32) දක්‍ෂිණ වෘත ශ්වේත සංඛය
(33) ස්‌වර්ණ මත්‍යය
(34) චක්‍රායුදය,
(35 - 41) සප්ත මහා ගංගාය
(42 - 48) සප්ත මහා පර්වතය
(49 - 55) සප්ත මහා සීදන්ත සාගර
(56 - 62) සප්ත මහා තඩාග
(63) සුපර්ණ රාජය,
(64) ශිශූමාරය
(65) ධජය
(66) පතාකය
(67) ස්‌වර්ණ මාල විජනිය
(68) කෛලාස පර්වතය
(69) සිංහරාජය,
(70) ව්‍යාඝ්‍රරාජය
(71) අශ්ව රාජය
(72) පෞෂඨ හස්‌ති රාජය 

(73) වාසුකි නාගරාජය, 
(74) හංස රාජය
(75) වෘෂභ රාජය
(76) ඵෙරාවන හස්‌තිය
(77) ස්‌වර්ණ මකරය
(78) ස්‌වර්ණ නෞකාය
(79) සවත්සක ධෙනුය
(80) කිම්පුරුෂය
(81) කින්නරිය
(82) කුරවිකය
(83) මයුර රාජය
(84) කෞංච රාජය
(85) චක්‍රවාක රාජය
(86) ජීවංජීවක රාජය
(87-92) සදිව්‍ය ලෝකය
(93-108) බ්‍රහ්මලෝක දහසය යන මංගල ලකුණුය.

පින හා පව පිළිබඳ පිළිනොගන්නා මිථ්‍යාදෘෂ්ඨික පිරිස්a

ඛුද්දක නිකායට අයත් විමාන වස්තු හා පේ‍්‍රත වස්තු යන ග්‍රන්ථ පරිශීලනය කරන විට පින හා පව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඉතා පුළුල් අවබෝධයක් ඇති කර ගැනීමට හැකිය. පින හා පව පිළිබඳ පිළිනොගන්නා මිථ්‍යාදෘෂ්ඨික පිරිස්ද වෙසෙන සමාජයක, තාක්ෂණික දියුණුව ‘දියුණුව‘ යැයි කියා සිතාගෙන සිටින බොහෝ දෙනකුට තම මිථ්‍යාමත සුණු විසුණු කර දමා ගැනීමට තිබෙන හොඳම සාක්‍ෂිය නම් විමාන වස්තු හා පේ‍්‍රත වස්තු පාලියයි. මෙම කොටස් වලින් ඉදිරිපත් කෙරෙන කතා කියවා බැලීමෙන් අපට පුණ්‍ය විපාක හා පාප විපාක ක්‍රියාත්මක වෙන අකාරය ඉගෙන ගැනීමට පුළුවන.
යම් කෙනකු මෙම කතා පුවත් ඉතා හොඳින් කියවා බැලුවහොත් පාප ක්‍රියාවන්ගෙන් වෙන් වී පුණ්‍ය ක්‍රියාවල යෙදීමට අනිවාර්යයෙන්ම සිතට ගනු ඇත. එමෙන්ම පව්කම්වල යෙදීම සම්පූර්ණයෙන්ම අත්හැර දමනු ඇත. විවිධ පාප කර්ම වලට අනුව විඳීමට සිදුවී ඇති වචනයෙන් විස්තර කළ නොහැකි, ඉතා අමිහිරි, අප්‍රසන්න, කඨෝර , කටුක දුක් වේදනා පිළිබඳ දැනගත් විට, අවබෝධයක් තිබෙන කිසිවකු පාප කර්ම කිරීමට කැමැතිවේද යන්න සැක සහිතය.
මෙම ලිපිය මගින් අප දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන්නේ කතා කිහිපයක් පමණක් උදාහරණ වශයෙන් දක්වමිනි. එහෙත් මෙම කතා වැඩි ප්‍රමාණයක් කියවා ගැනීමට ඔබ උත්සාහ කළ යුතුයි. වාණිජමය පදනම මත පමණක් රැඳී සිටිමින් හුදු විනෝදාස්වාදය පිණිස ටෙලිනාට්‍ය , චිත්‍රපට, වේදිකා නාට්‍ය, නවකතා හා කෙටි කතා ආදිය නිර්මාණය කරන, රචනා කරන නිර්මාණකරුවන්ට හරවත් වස්තු බීජ රාශියක් මේ කතා තුළින් ලබා ගත හැකිය. ඒ තුළින් මෙලොව පරලොව යහපත සලසා දීමේ මහඟු වැඩපිළිවෙළක් දියත් කිරීමට ඔවුන්ට හැකියාව සැලසේ. ඒ ඔස්සේ එම නිර්මාණකරුවන්ට සුගති සම්පත් සලසා ගැනීමේ ඉඩ ප්‍රස්ථාවද සලසා ගත හැකිවේ.
අනෙක් අතට පුද්ගල සන්තානය තුළ රාග, ද්වේෂ සහ මෝහ ජනනය කරන නිර්මාණ ඉදිරිපත් කිරීම එම නිර්මාණකරුවන්ට අහිත පිණිස පවතින අතර තමන් පිළිගත්තත් නොපිළිගත්තත් මරණින් මතු දුගතියට යෑමට සිදුවීමේ ඉඩ ඇත. ඒ බව අප මෙහි දී දක්වන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනයට අනුවය. මේ වන විට කුඩා දරුවන්ගේ සිත් සතන් හුදු විනීදාස්වාදයටම බර කරන කාටුන් වැඩසටහන් අප රටේ ඉතාමත් ජනපි‍්‍රයව පවතී. ඒවා තුළින් දරුවාට රට , දැය , සමය ආදිය පිළිබඳ කිසිදු ආකාරයක හැඟීමක් හෝ අපගේ ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ ජාතික වීරවරුන් ගැන කිසිදු තොරතුරක් හෝ අධ්‍යාපනයක් හෝ ලබා නොදෙයි. ඒවායින් දරුවාට ලැබෙන කිසිදු දහම් දැනුමක්ද නැත. දරුවාගේ පෞරුෂ වර්ධයක් ඒ තුළින් සිදු නොවේ. දැනට ශ්‍රී ලංකාවේ විකාශය වන සමහර කාටුන් පිටරටවලින් ආනයනය කරන ඒවා වන අතර ඒවාට කෝටි ගණන් මුදල් යට කිරීමට සිදු බව වාර්තා වෙයි.
එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම බෞද්ධ රූපවාහිනි නාලිකාව වන, ගෞරවනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පවත්වාගෙන යනු ලබන බෞද්ධයා නාලිකාව ඔස්සේ අප බෝධී සත්වයන් වහන්සේගේ චරිත කතා මුල් කරගෙන ඉතා වටිනා කාටුන් වැඩසටහන් පුංචි දරුවන්ට නැරැඹීමට අවස්ථාව සලසා දී තිබීම අප කවුරුත් අගය කළ යුතුය. එමෙන්ම මේ රටේ චිර ප්‍රසිද්ධ චිත්‍ර කතා රචකයන් දෙපොළක වන සඳලංකාවේ සුමතිපාල හා ජෝතිපාල දෙසොහොයුරන් එකල විකට හා ආදර කතා වැනි සාමාන්‍ය චිත්‍ර කතා රචනා කළත් දැන්, පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, බුද්ධ කාලීන භාරතයේ සිදුවූ සත්‍ය සිද්ධී මුල්කොට ඉතාමත් වටිනා චිත්‍රකතා පෙළක් නිර්මාණය කොට තිබේ. සෑම දරුවකුම කියවිය යුතු චරිත කතා පෙළක් ලෙස ඒවා හැඳින්විය හැකිය. බාහියදාරුචීරිය මහරහතන් වහන්සේ, අංගුලිමාල මහරහතන් වහන්සේ සහ සුමන සාමණේරයන් වහන්සේ වැනි උදාර චරිත මෙම කතා පෙළෙහි දක්නට ලැබේ. කර්ම විපාක විඳීමට සිදුවන ආකාරය ආදිය එම කතා තුළින් විමසා දත හැකිය.
දැන් අපි පේ‍්‍රත වස්තු පාලියේ දෙවැනි වර්ගය වන උබ්බරීවර්ගයෙ දෙවැනි කතාව මඳක් විමසා බලමු. එහි නම් සාරිපුත්ත ථෙරස්ස මාතු පේත වත්ථු ‘ නම්වේ. එනම්, පෙර භවයක සාරිපුත්ත තෙරුණ්ගේ මව ගැන කියැවෙන පේ‍්‍රත වස්තුවයි. කලින් භවයකදී සැරියුත් මහ රහතන් වහන්සේගේ මෑණී කෙනෙකුව සිටි තැනැත්තියක් තමන් විසින් කරන ලද පාප කර්ම මුල් කරගෙන පේ‍්‍රත ලෝකයේ ඉපදුණි. ඇය සැරියුත් මහ රහතන් වහන්සේ බැහැ දකින්නට වූ පැමිණ තමන් විඳින අනන්ත දුක් විස්තර කළාය. තමන් මහා බඩසයින් පෙළෙන බවත් ආහාර පිණිස ගැනීමට සිදු වී ඇත්තේ කාරා විසි කරන කෙළ ,සොටු, සෙම, පිලිස්සෙන මළසිරුරුවලින් උතුරන වුරුණූ තෙල්, දරුවන් වදද්දී ගලන ලේ , තුවාලවලින් වැගිරෙන ලේ, සැරව, ස්ත්‍රී පුරුෂ ශරීරවලින් ගලන වෙනත් අසූචි සහ සත්තුන්ගේ ලේ සැරව ආදිය බවත් ඇය විසින් පවසන ලදී. පිහිට පිළිසරණක් නැති ඇය අමු සොහොනේ නිදාගන්නා බවත් පැවසුවාය. ඒ නිසා ඇය ඉල්ලා සිටියේ ලේ, සැරව අනුභව කරන ජීවිතයෙන් ගැලවීමට දානයක් දී පින් අනුමෝදන් කරන ලෙසයි.
ඉන්පසුව සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇගේ වචනයට කන්දි මුගලන් මහ රහතන් වහන්සේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේ හා කප්පිත මහරහතන් වහන්සේ යන මහ රහතන් වහන්සේට මේ පිළිබඳ දැනුම් දී කුටියක් සාදා සිව් දිශාවෙන් වඩින මහා සංඝරත්නයට පූජා කොට ආහාරපාන ආදියත් මහා සංඝරත්නයට පූජා කොට ඒ පින ඒ මැණියන්ට අනුමෝදන් කළ සේක. එසැණින්ම ඇගේ සිරුර පිරිසිදු වී පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුණු අතර ඒවා කසී සළුවලටත් වඩා උසස් වූ අතර ඉන්පසුව ඇය සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැසීමට පැමිණියාය. ඉන්පසුව මහ රහතන් වහන්සේට ඇය දකින්නට ලැබුණේ සෑම දිශාවකින්ම බබළන ඕෂධී තාරුකාවක් මෙනි. ඇයට එවැනි දිව්‍යමය තත්ත්වයක් හා බැබළීමක් ලැබුණේ සැරියුත් මහරහතන් වහන්සේ සිදුකරන ලද පින අනුමෝදන් වීමෙනි.
ඇතැම් අය සිතාගෙන සිටින්නේ තමන් කොයි ආකාරයෙන් ජීවත් වුවත් සිදුවන විශේෂ අයහපතක් නැති බවයි. එහෙත් ශාරිපුත්ත මහ රහතන් වහන්සේට මීට පෙර භවයක මැණියන් වූ තැනැත්තියටත් මෙවැනි භයානක ඉරණමකට මුහුණදීමට සිදුවූවා නම් අප ගැන කවර කතාද? එතුමිය ගලවා ගැනීමට එදා සාරිපුත්ත තෙරුණ් වහන්සේ වැඩ සිටියා වුවත් අද අපව ගලවා ගන්නේ කවුද?
එමෙන්ම ‘මත්තා ‘ පේතවත්ථූවේද අපට ඉතාමත් වැදගත් වන , එමෙන්ම වර්තමාන සමාජයටත් ඉතාමත් අත්‍යවශ්‍ය කතා ප්‍රවෘත්තියක් දක්නට ලැබේ. ‘තිස්සා ‘ සහ ‘මත්තා ‘ නම් වු බිරින්දෑවරුන් දෙදෙනකු අතරින් මත්තා නම් තැනැත්තිය විවිධ අකුසල කර්ම කිරීම නිසා පේ‍්‍රත ලෝකයේ ඉපිද අපමණ දුක් විඳින ආකාරයත් පසුව පින් අනුමෝදන් වී ඒ තත්වයෙන් මිදුණූ ආකාරයත් දැක්වේ. ඇගේ සිරුරේ නූල් පොටක්වත් නොතිබූ අතර කෙට්ටු, නහරවැල් පෑදුණූ, ඉලඇට ඉල්පී ඇති සිරුරක් ඇයට හිමි විය. එයට හේතු වූයේ මිනිස් ලොව සිටිද්දි ඇය සතු වු දුර්ගුණයන්ය. එනම් නපුරු බව, පරුෂ වචන කීම, ඊර්ෂ්‍යා කිරීම, මසුරුකම හා කෛරාටික වීමයි. එමෙන්ම ඇගේ මුළු සිරුර පුරාම පස් තැවරී තිබුණි. එයට හේතුව තිස්සා නම් බිරිඳ නා පිරිසුදු වී ලස්සනට හැඳ ගෙන සිටින අවස්ථාවක මත්තා කළේ ඊටත් වඩා අලංකාර වීමයි. ඉන්පසුව තිස්සා ස්වාමියාත් සමග කතා කිරීම නුරුස්නා ලද මත්තා ඊර්ෂ්‍යාවෙන් හා ක්‍රෝධයෙන් පස් අහුරකින් තිස්සාට දමා ගැසීමේ පව මේ තත්ත්වයට පත්වීමට හේතුව විය. එමෙන්ම එකී පේ‍්‍රතිය සිටියේ සිය ශරීරය පුරාම කසමිනි.එයට හේතු වූයේ මේ දෙදෙනා කැලයට බෙහෙත් සොයා ගිය විටෙක තිස්සා බෙහෙත් ගෙනාවත් මත්තා කහඹිලියා ගෙඩි ගෙනැවිත් ඒවා නිස්සාගේ ඇෙඳ් විසුරුවා දැමීමයි.
ඊළඟට ඇයට නිර්වස්ත්‍රයෙන් සිටීමට සිදු වූයේ තවත් එබඳුම අකුසල කර්මයක විපාක වශයෙනි. එකල යහළුවන් හා නැදැයන් එකතු වූ අවස්ථාවකට ආරාධනාව ලැබුණේ. ස්වාමියාටත් තිස්සාටත්ය. ඒ අවස්ථාවේදි මත්තා \ස්සාගේ වස්ත්‍රයක් සොරකම් කිරීම හේතුවෙන් මෙම කර්ම විපාකය ලැබුණි. එමෙන්ම ඒ පේ‍්‍රතියගේ ශරීරයෙන් අසූචි ගඳක් හැමීය. එයට හේතුව වූයේ තිස්සා නම් බිරිඳගේ සුවඳ වර්ග, මල් මාලා සහ වටිනා සුවඳ විලවුන් මත්තා විසින් වැසිකිළි වළක දමනු ලැබීමයි. මේ අනුව අපට පැහැදිලි වන්නේ යමකු යම් අකුසල කර්මයක් කළහොත් ඒවායේ විපාක මේ ආකාරයෙන් ලබා දෙන බවයි.
වත්මන් සමාජයේද බොහෝ දෙනෙක් කිසිදු ගණනකට නැතිව මෙවැනි අකුසල කර්ම හා අකටයුතුකම් සිදු කරති.
ඒ අයටද මේ අයුරින් පේ‍්‍රත ලෝකයේ ඉපදී විපාක විඳීමට සිදු වීමේ අවදානම ඇත. එසේ නැතිනම් නිරය, තිරිසන් අපාය සහ අසුරකාය ආදියට යෑමේ අවදානම ඇත.
පේ‍්‍රත වස්තු ඇසුරෙන් අකුසල විපාක විඳීමට සිදුවන ආකාරය කතාපුවත් දෙකකින් ඉහත ගෙන හැර දක්වනු ලැබිණි. දැන් අප පුණ්‍ය විපාක පිළිබඳව විමසා බැලීම වටී. පැහැදුණූ සිතින් යුක්තව කුඩා හෝ පිනක් කර ගත්තද ඒ සඳහා යහපත් පුණ්‍ය විපාක හිමිවන බව විමාන වස්තුවේ ඇති කතා ප්‍රවෘත්ති වලින් ප්‍රකට වේ. එයට උදාහරණ විමාන වස්තුවේ පීඨවිමාන කතා වස්තු ඇසුරෙන් පැහැදිලි කරමු. එක් තැනැත්තියක මනුෂ්‍ය ලෝකයේ සිටින කාලයේදි ස්වාමීන් වහන්සේට එමෙන්ම මහ රහතන් වහන්සේට වැඩ සිටීමට ආසනයක් පිළියෙළ කොට වන්දනා කොට නමස්කාර කොට දානයක් පූජා කර ගැනීමෙන් ලබාගත් පුණ්‍ය විපාක අනුව දිව්‍ය ලෝකයේ දේවතාදුවක් ලෙස ඉපිද උසස් සැප අනුභව කිරීමට වරම් ලබා තිබේ. ඒ අනුව අලංකාර දිව්‍ය සළුපිළි සහ දිව්‍ය මල්මාලා ඇයට හිමි විය. හිඳ ගැනීමට තිබෙන ආසනයද මනරම් දැකුම් කළු වූවකි. එය රනින් නිමවූවක් වන අතර තමා කැමැති දිශාවට සිතේ වේගයෙන් ගමන් කරයි. එවිට ඇය බබළන අතර වළාකුළු ඇතුළෙන් දිලිසෙන විදුලිය වැන්න.
ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ නමකට පුටුවක් පූජා කර ගැනීම තුළින් මෙවැනි මහානුභාව සම්පන්න තත්ත්වයක් ඇතිවේනම් තවත් පින්කම් කරන්නේ නම් ලැබෙන ආනිශංස ගැන කවර කතාද? එබැවින් අප ඒ තථාගත බුදුරජාණන් වහන්සේ සරණ ගොස් ඒ ශි‍්‍ර සද්ධර්මය පිළිගෙන කටයුතු කළහොත් අපට පේ‍්‍රත ලෝක ආදියේ කටුක දුක් වේදනාවලින් මිදී දිව්‍යාලෝකවල දිව්‍යමය සැප අනුභව කිරීමට අවස්ථාව ලැබේ. කෙසේ වෙතත් ඒ සැපත් තාවකාලික බැවින් අප උත්සාහ කළ යුත්තේ පරම සැප වූ නිවන් සැප මේ ජීවිතයේදීම සාක්ෂාත් කර ගැනීමටය. ඔබ සැම දෙනාටම ඒ භාග්‍යය උදාවේවා!
තෙරුවන් සරණයි!
පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

පූර්ණා දාසිය


මේ මනෝරථපූරණී නම් අටුවාවේ සප්තක නිපාත වර්ණනාවේ එන කථාවකි.

එක් කලෙක තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වස් වැස පවාරණය කොට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා හා දක්ෂිණාගිරියට චාරිකාවේ යම්හයි නික්මුණු සේක. පසේනදී කොසොල් රජතුමා හා අනේපිඬු මහසිටුහු ද විශාකා මහා උපාසිකාව හා තවත් බොහෝ ජනයා ද එක් වී බුදුන් වහන්සේගේ ගමන නවත්වන්නට උත්සාහ කළහ. ඔවුනට බුදුන් වහන්සේ නැවැත්විය නො හැකි විය. අනේපිඬු සිටුතුමා තථාගතයන් වහන්සේ නො නැවැත්විය හැකිවීම ගැන සිතමින් ජන ශූන්‍ය ස්ථානයක වාඩි වී සිටියේය. සිටු නිවසේ වැඩ කරන පූර්ණා නම් දාසිය නො සතුටින් හිඳිනා සිටුතුමා දැක “හිමියනි, ඔබතුමා නො සතුටින් හිඳිනා සේ පෙනෙන්නේ කුමක් නිසා දැ” යි කීවාය. එකල්හි සිටුතුමා “තථාගතයන් වහන්සේ චරිකාවෙහි වැඩම කරන්නාහ. උන්වහන්සේ ඉක්මනින් පෙරලා වැඩම කරන සේක් ද නැත දැයි මම කල්පනා කරමින් හිඳිමි”යි කීය. එකල්හි දාසිය “තාථාගතයන් වහන්සේගේ ගමන නැවැත්වුව හොත් මට කුමක් කරන්නහුදැ”යි කීවාය. තිට එසේ කළ හැකිවුව හොත් තී නිදහස් කරමි”යි සිටුතුමා කීය. දාසිය වහා ගොස් බුදුන් වහන්සේට වැඳ “ස්වාමීනි නවතින සේක්වා” යි කීවාය. තථාගතයන් වහන්සේ “අප නැවතුන හොත් තී කුමක් කරන්නෙහිදැ”යි වදාළහ. “ස්වාමීනි, දාසියක් වූ මට කිසිවක් නැති බව ඔබ වහන්සේ දන්නාහ. මට කළ හැකි අන් කිසිවක් නම් නැත. ඔබ වහන්සේ නවතින සේක් නම් මම තිසරණ සහිත පඤ්ච ශීලයෙහි පිහිටා සිල් රකිමි”යි කීවාය. ධර්මගරුක වූ තථාගතයන් වහන්සේ ඇගේ ආරාධනය පිළිගෙන එක් පියවරකුදු ඉදිරියට නො තබා පෙරලා වැඩම කළ සේක. පූර්ණා ද බුදුන් වැඩමවා දී නිදහස ලබා මෙහෙණි සස්නෙහි පැවිදි වූවා ය.

පඤ්ච ශීලය තථාගතයන්වහන්සේ උසස් කොට සලකන ශීලයක් නොවේ නම් රජුන්ගේ සිටුවරුන්ගේ ආරාධනාව නො පිළිගත් තථාගතයන් වහන්සේ පඤ්ච ශීලය රකිමි” යි කී පූර්ණා දාසියගේ ආරාධනාව නො පිළිගන්නා සේක.
බුදුන් වහන්සේ දේශනා කරන ශීලය පඤ්ච ශීලය නොව ආජීවාෂ්ටමක ශීලය යයි ඇතැමුන් කියන නමුත් බුදුන් වහන්සේ විසින් හෝ ශාරිපුත්‍රාදි බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා විසින් හෝ කිසිවකුට ආජීවාෂ්ටමක ශීලය සමාදන් කරවූ බවක් පිටකත්‍රයේ සඳහන් වී තිබෙනු නො දක්නා ලදී. ඵසේ ආජීවාෂ්ටමක ශීලය සමාදන් වූ පුද්ගලයකු ගැන ද පිටකත්‍රයේ සඳහන්ව තිබෙනු නොදක්නා ලදී.

ආර්‍ය්‍ය අට්ඨංගික මාර්ගයේ ඇතුළත් වන්නේ ආජීවාෂ්ටමක ශීලය බව සැබෑ ය. එහි සම්මා වචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යනුවෙන් කියැවෙන්නේ ආජීවාෂ්ටමක ශීලය ය. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය, වැඩිය යුත්තේ පඤ්ච ශීල, අෂ්ටාංග ශීල, දශ ශීල, චතුපාරිශුද්ධි ශීල යන මේ ශීලවල පිහිටා විදර්ශනා භාවනාවෙහි යෙදීමෙනි. විදර්ශනා වැඩීමෙහි යෙදෙන කල්හි මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීවයන්ට හේතු වන ක්ලේශයන් දුරුවීමෙන් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්ගාංගයෝ වැඩෙති. ප්‍රථම මාර්ගය වන සෝතාපත්ති මාර්ගයට පැමිණි තැනැත්තාට "අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති" යන සතරවන අංගය ඇතිවන්නේ එහෙයිනි. එය ශීලසමාදානයකින් ඇතිවන්නක් නොවේ. ප්‍රාණඝාතාදියට හේතුවන ක්ලේශයන් දුරු වූ නිසා ඔහුට ඒවා නො කළ හැකි තත්ත්වයක් ඇති වේ. අරියකන්ත ශීලයෙන් යුක්තවීම යයි කියනුයේ ඒ තත්ත්වයට පැමිණීම ය.

පිටකත්‍රයේ කොතැනකවත් සඳහන් නො වන, අටුවා ටීකාවල සඳහන් නොවන පැරණි සිංහල බණ පොත්වල සඳහන් නොවන මේ ආජීවාෂ්ටමක ශීලයේ සිකපද අට කවර කලෙක කවුරු විසින් පිළියෙල කරන ලද දැයි එහි ඉතිහාසය නො දනිමු. සිකපද පිළියෙල කළ තැනැත්තාට එක් අවුලක් වී ඇති බව නම් පැහැදිලිය. දැනට භාවිත කරන ආජීවාෂ්ටමක ශීලයේ සිකපද යොදා ඇති පිළිවෙළ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග දේශනයට නොගැලපේ. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග දේශනයේ ශීලය දක්වා ඇත්තේ සම්මා වාචා, සම්මා කම්මන්තො, සම්මා ආජීවෝ යි වාග්දුශ්චරිතයෙන් වැළකීම මුල්කොට ය. කායදුශ්චරිතයෙන් වැළකීම දෙවැනි තැනට ය. ඒ නිසා ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග දේශනාව අනුව ආජීවාෂ්ටමක ශීලයේ සිකපද පිළියෙළ කරනවා නම්-

මුසාවාදා වේරමණී, පිසුනාය වාචාය වේරමණී, ඵරුසාය වාචාය වේරමණී, සම්ඵප්පලාපා වේරමණී, පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමෙසු මිච්ඡාචාරා වේරමණී, මිච්ඡා ආජීවා වේරමණී යන පිළිවෙළට ය. පාණාතිපාතා වේරමණී යන්න මුලට ගෙන තිබෙන්නේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය අනුව නොව පඤ්ච ශීලය අනුව යාමෙනි.

ආජීවාෂ්ටමක ශීලය සමාදන් කරවීම, සමාදන් වීම අපේ පොත්වලට ද ඇතුළත් වී ඇත. එසේ වී තිබෙන්නේ බාල කාලයේ අප ඇසුරු කළ තෙරුන් වහන්සේලාගේ ඉගැන්වීම අපත් අවිචාරයෙන් පිළිගෙන සිටි බැවිනි. අපේ පොත් නැවත නැවත මුද්‍රණය කරවීමේ දී ඒ ශීලය ඒවායින් ඉවත්කිරීමට උපදෙස් දී ඇත.

ක්‍ෂණ සම්පත්තිය

ක්‍ෂණ සම්පත්තිය
අඬ්ගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ පඨම පණ්ණාසකයේ ගනපති වග්ගයට අයත් “ අක්ඛණ සුත‍්‍රය” ක්‍ෂණ සම්පත්තිය පිළිබඳව පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරන උසස් ඉගැන්වීමකි. මෙම සුත‍්‍ර ධර්මය අනුව ධර්මාවබෝධය ලැබීමට බාධා වශයෙන් බලවත්වන කාල අටකි. ඒවා අෂ්ට දුෂ්ට ක්‍ෂණ වයෙන් ද ප‍්‍රකටය.
දෙව්මිනිස් සැමට ශාස්තෘ වන සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකයෙහි පහළ වී උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට ධර්මය දේශනා කරන කල්හි එම ධර්මය අවබෝධ කර ගැනීමට කිසිම අයුරකින් අවස්ථා නොලැබෙන උත්පත්තීන් අට මෙසේය.
  • 1. අඥාන පුද්ගල තෙමේ නිරයෙහි උපන්නේවේද බඹසර විසීමට මේ පළමුවන ඉඩක් නොලැබෙන අකාලයයි.
  • 2. මේ අඥාන පුද්ගල තෙමේ තිරිසන් යෝනියෙහි උපන්නේවේද බඹසර විසීමට අවස්ථාවක් නොලැබෙන මේ දෙවන අකාලය වේ.
  • 3. මේ අඥාන පුද්ගල තෙමේ පෙ‍්‍ර්ත ආත්මයක උපන්නේවේද මේ උතුම් බඹසර විසීමට අනවකාශ තෙවන අකාලය වේ.
  • 4. මේ පුද්ගල තෙමේ දීර්ඝ ආයුෂ ඇති අසංඥ තලයෙහි උපන්නේ නම් එය ද බඹසර විසීමට අනවකාශ මේ සිව්වන අකාලයයි.
  • 5. මේ පුද්ගල තෙමේ අතිශය අඥාන, මිලේච්ඡ ව ප‍්‍රත්‍යයන්ත දේශයක උපන්නේ ද උතුම් බඹසර විසීමට මෙයද අනවකාශ පස්වැනි අකාලය වේ.
  • 6. මේ පුද්ගල තෙමේ මිථ්‍යා දෘෂ්ටිකව උපන්නේවේද උතුම් බඹසර විසීමට මෙය ද බාධාකර සයවැනි අකාලය වේ.
  • 7. තවද අද , ගොළු, බිහිරි, අඥාන ව ලබන මිනිස් ආත්මය ද ධර්මාවබෝධයට බාධාවකි.
  • 8. එසේම අබුද්ධෝත්පාද කාලයක පරිපූර්ණ මිනිසෙක්ව මධ්‍ය දේශයේ ඉපදුන ද එයින් ඵලක් නොවේ.

මෙම අක්ඛණ සුත‍්‍ර දේශනාවෙන් පෙන්නුම් කරන උත්පත්තීන් අට අපායගාමීව ඉපදීම, අසඥතලයෙහි ඉපදීම, අබුද්ධෝත්පාද කාලයක ඉපදීම බුද්ධෝත්පාද කාලයක දුර්වලව ඉපදීය වශයෙන් අකුසල හා කුසල කර්ම විපාක අනුව සිදුවන බව පැහැදිලිය.
එසේ කෙබදු උපතක් ලැබුව ද ඒවා අර්ථවත් වූ උත්පත්තීන් නොවන්න් බ‍්‍රහ්මචර්යා සංඛ්‍යාත ධර්මයන් ප‍්‍රගුණ කිරීමට එම ජීවිතවලින් පිහිටක් නොවීමයි. මෙයින් අවධාරණය කරන්නේ සංසාරික තත්ත්වයන් මැනවින් වටහා ගැනීමට සුදුසු වන පරිදි ලබන උපත ශ්‍රේෂ්ට බවයි.
සියළු බාධාකර ධර්මයන්ගෙන් මිදී එවන් උපතක් ලැබීම ඉතාම දුර්ලභය. කණ කැස්බෑ නෙත විය සිදුරෙන් අහස බැලීමටත් වඩා දුර්ලභ වූවකි. සර්ව සම්පූර්ණ උපතක් ලැබීම. ඒ අනුව මාර්ගඵල අවබෝධ
යෙන් නිවන් දැකීමට යෝග්‍ය උපතක් වන්නේ ඉහත දැක් වූ අෂ්ට දුෂ්ට ක්‍ෂණයන්ගෙන් මිදී ලබන උපතයි.
  • බුද්ධෝත්පාද කාලයක් වීම.
  • මිනිස් ආත්මභාවයක් ලැබීම.
  • අංග විකල මන්දබුද්ධික තත්ත්වයෙන් මිදී උපත ලැබීම.
  • මිථ්‍යා දෘෂ්ටික නොවූ පවුලක, පරිසරයක ඉපදීම.

  • ශ‍්‍රද්ධා සීලා දි ගුණ දම් ඇති මව්පියන්හට දරුවෙකු ව පිරිපුන් කායික හා මානසික තත්ත්වයක බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ සමයක යමෙකු ලබන උපත ඉතාම උසස් වූවකි.

ඊට හේතුව සසර හෙවත් භව උත්පත්තිය, ජාති, ජරා, ව්‍යාධි, මරණ යන ධර්මයන්ට ගොදුරු වූවකි. උපත ලබන කිසිවෙකුට මේ තත්ත්වයෙන් මිදීමක් නම් නැත්තේමය. මෙම දුක්ඛදායක තත්ත්වය තේරුම් ගැනීමට නොහැකිව ලබන උපත නිස්සාර වූවකි.
අප බුදු රජාණන් වහන්සේගේ ශී‍්‍ර සද්ධර්මයෙන් අවධාරණය කරන්නේ ධර්මාවබෝධය ලැබීමට ප‍්‍රමාණවත් උසස් උපතක් ලද ඔබ අප වැනි අය එම උපත අර්ථවත් වූ උපතක් කර ගැනීමට එනම් සසර දුක, දුක ඇතිවීමේ හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය වන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට අප‍්‍රමාදීව කටයුතු කරන ලෙසයි.
අක්ඛණෙ අසමයො” යනුවෙන් මෙම අක්ඛණ සුත‍්‍රයෙන් කියවෙන අනවකාශ අකාලය වන්නේ ඉහත දක්වන ලද උපත් අටයි මනා ඉÁද්‍රිය ශක්තියෙන් හා ඤාණශක්තියෙන් හෙබි උසස් උපත ක්‍ෂණ සම්පත්තිය වන අතර බුද්ධෝත්පාද කාලයක ධර්මය පවතින සමාජ පරිසරයකම ඉපදීම ධර්මාවබෝධය සුදුසුවේ. “ බ‍්‍රහ්මචරියවාසාය” එනම් උසස් වූ හැසිරීම් රටාවෙන් යුත් ජීවිතයක් පවත්වාගෙන යෑමයි.
මෙම අෂ්ට දුෂ්ටක්‍ෂයන්ගේ සයවැනි කරුණින් පෙන්වා දෙන අන්දමට බුද්ධෝත්පාද කාලයක පිරිපුන් මිනිස් උපතක් මිථ්‍යා දෘෂ්ටික පවුලක මිථ්‍යාදෘෂ්ඨකයෙකු ව උපත ලැබීම ද අභාග්‍යයකි.
එම සුත‍්‍රයට අනුව මිථ්‍යා දෘෂ්ටිය, දුන්දේ විපාක නැත. මහා යාගයෙහි විපාක නැත. අමුත්තන්ට පිළියෙල කළ සත්කාරයෙහි විපාක නැත. යහපත් අයහපත් කර්මයන්ගේ විපාක නැත.
පරලොව සිටියහුට මෙලොවක් නැත. මෙලොව සිටියහුට පරලොවක් නැත. මව නැත. පියා නැත. ( මවුපියන්ට කළ යහපත් අයහපත් කටයුතුවල පළ විපාක නැති බව ) ඕපපාතික සත්වයෝ නැත. උසස් මහණ බමුණෝ ලෝකයෙහි නැත. ආදි වශයෙන් විපරීත අදහස්වලින් යුක්තව ජීවිතය ගත කිරීම මිථ්‍යා දෘෂ්ටියයි.
මෙය ද මනා අභාග්‍යවන්ත තත්Àවයක් වන්නේ සත්ත්වයා ජීවිතයේ මුහුණ දෙන යථාර්ථය වටහා ගැනීමට සුදුසු අවකාශයක් නොලැබෙන බාධාකර ධර්මයකි. ලෝකයේ බුදුවරයෙකු පහළ වී සසර දුකින් මිදීමට ධර්ම මාර්ගය පැහැදිව දේශනා කළ ද අවිද්‍යා අන්‍ධකාරයෙන් අතරමංව සිටින පුද්ගලයාහට එයින් ප‍්‍රතිඵල ලබා ගැනීම ඉතා දුෂ්කර වූවක් බව මෙයින් පෙනේ.
කාමභෝගි ජීවිතයට උසස් කොට සළකා කුසලාකුසල ධර්මයන් වටහා ගැනීමට නොහැකිව කටයුතු කිරීම ස්තී‍්‍ර-පුරුෂ භේදයකින් ජාති ආගම් කුල භේදයකින් හෝ ගිහි පැවිදි භේදයකින් තොරව පවත්නා තත්ත්වයකි. මෙයට පැහැදිලිම මග පෙන්වීම මෙම අක්ඛණ සුත‍්‍රයෙන් සිදුවේ.
ජීවිතය නම් තණ අග පිණිබිදුවක් වැනිය. පෙන පිඩක් බදුය. ක්‍ෂණයක් තුළ උප්පාද ඨිති භංග ධර්මයන්ට යටත්ව පවති. විවිධාකාර කටයුතුවලට වඩ වඩාත් කාලය ගෙවමින් සිටින අප අත්‍යවශ්‍යම කටයුතු වන විමුක්තිය පිණිස පවතින ධර්මයන්ගෙන් ක‍්‍රමයෙන් ඈත්වෙමින් සිටීම ඉතාම දුක්ඛදායකය. අක්ඛණ සුත‍්‍රයේ ආරම්භයේ එන “ ඛණකිච්චො ලොකො ඛණකිච්චො ලොකොති භික්ඛවෙ, අස්සුතවා පුථජ්ජනො භාසති, නොච ඛො සො ජනාති ඛණං වා අක්ඛණංවා.”
මහණෙනි ඇසූ පිරූ තැන් නැති ප‍්‍රථග්ජන පුද්ගලයා ක්‍ෂණ කෘත්‍ය ඇත්තේය, ක්‍ෂණ කෘත්‍ය ඇත්තේ යැයි කියයි. මොහු ක්‍ෂණය හෝ අක්‍ෂණය හෙවත් අවකාශය හෝ අනවකාශය හෝ නොදනියි.” යනුවෙන් අපගේ ජීවිතයට ලබාදෙන මග පෙන්වීම ඉතා උසස් ය. මංමුලාව යන පුද්ගලයාට මග කියාදීමකි අන්ධකාරයේ ජීවත්වන අයට ආලෝකය පිණිස කටයුතු කිරීමකි.
යම් පුද්ගලයෙක් උතුම් මිනිස් ආත්මභාවය ලැබ මැනවින් දෙසූ ශී‍්‍ර සද්ධර්මයෙහි අවකාශය නොලබත්ද ඔහු අවකාශය හෙවත් ක්‍ෂණය ඉක්මවයි. ධර්ම මාර්ගයට අන්තරායකර වූ බොහෝ අනවකාශයන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
ලෝකයේ බුදුවරයෙකුගේ පහළවීම ඉතාමත් දුර්ලභ කරුණකි. මිනිසත් බව ලැබීම ද ඉතා දුර්ලභය. බුදුරදුන් විසින් මැනවින් දෙසූ ශී‍්‍ර සද්ධර්මය පවතින සමාජයක් හමුවීම ද දුර්ලභය. මේ සියලු දුර්ලභ කරුණු ලබාගත් මිනිසා එයින් ඵල නෙළා ගැනීමට වෑයම් කළ යුතුව ඇත.