Thursday, April 26, 2018

භාග්‍යවතුන් වහන්ස කල්පය යනු කුමක්ද?

භාග්‍යවතුන් වහන්ස කල්පය යනු කුමක්ද?

කල්පය කියන්නේ අතිදීර්ඝ කාල පරිච්ඡේදයකට කියන නමක්. දවසක් එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණිලා විමසා සිටියා ‘ස්වාමිනි කල්පය කියන්නේ කොයිතරම් දීර්ඝ කාලයක්ද? බුදුරජාණන් වහන්සේ වදාළා, පින්වත් භික්ෂුව, කල්පය ඉතාමත් දිගයි. එය කෙතරම් කාලයක්ද, අවුරුදු සිය ගණනක් ය අවුරුදු දහස් ගණනක්ය කියා ගණනින් කිව නො හැකියි.

‘භික්ෂුව, ඒක මේ වගේ දෙයක්. මහා ගල් පර්වතයක් තිබෙනවා. ඒ පර්වතය යොදුනක් දිගයි. යොදුනක් (සැතපුම් හතක්) පළලයි. යොදුනක් උසයි. සිදුරු නැති කුහර නැති ගල් පර්වතයක් . එක්තරා පුරුෂයෙක් අවුරුදු සියයකට වතාවක් සිනිඳු සේලයකින් ඒ ගල් පර්වතය පිස දමනවා. පින්වත් භික්ෂුව, ඔය ක්‍රමයෙන් ඒ මහා ගල්පර්වතය ගෙවිලා අවසන් වෙලා ගියත් කල්පය කියන්නේ එතරම් ඉක්මණින් ගෙවී අවසන් වන දෙයක් නොවේ.

එසේනම් පැහැදිලියි කල්පය කියල කියන්නේ අපට හිතින් හිතාගන්නවත් බැරි තරම් අති දීර්ඝ කාලයක්. බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් සංයුක්ත නිකායේ අනමතග්ග, සංයුක්තය කියන කොටසේ දී වදාළා, යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස යකඩ පවුරකින් වට වූ නගරයක් තිබෙනවා. මේ නගරය සම්පූර්ණයෙන්ම අබ ඇටවලින් පුරවලයි තිබෙන්නේ. එක්තරා පුරුෂයෙක් අවුරුදු සියයකට වතාවක් එයින් එක එක අබ ඇටය බැගින් ඉවත් කරනවා. ඔය උපක්‍රමයෙන්ම ඒ අබ ඇට සියල්ලම අවසන් වීම සඳහා යම් දීර්ඝ කාල පරිච්ඡේදයක් ගතවෙනවා ද? ඊටත් වඩා අති දීර්ඝ කාලයක් කල්පය කියා කියන්නේ.
ඒ වගේම උන්වහන්සේ වදාලා ‘සියක් අවුරුදු ආයුෂ ඇති ශ්‍රාවකයෝ හතර දෙනක් දිනපතා ගෙවුණ කාලය කල්ප ලක්ෂය බැගින් සිහි කරනවා. ඒ අවුරුදු සියය ඇවෑමෙන් ඒ ශ්‍රාවකයන් හතර දෙනාම කළුරිය කරනවා. අවුරුදු සීයක් පුරාම දිනපතා කල්ප ලක්ෂය බැගින් සිහිකරලත් ඒ ශ්‍රාවකයන්ට සසරේ ගෙවී ගිය කල්ප ගණන සම්පූර්ණයෙන්ම සිහිකරල අවසන් කරන්න බැහැ.

බුදුරජාණන් වහන්සේටත්, උතුම් රහතන් වහන්සේලාටත් පුබ්බේ නිවාසානුස්සති ඤාණය තුළින් සසරේ ගතකළ අතීත ජීවිත කල්ප සිය දහස් ගණනකින් ආපස්සට සිහිකරලා බලන්න පුළුවන්කම තිබුණා. උන්වහන්සේගේ දේශනා වල සංවට්ට කල්ප, විවට්ට කල්ප කියා වචන දෙකක් සඳහන් වෙනවා. සංවට්ට කල්පය කියන්නේ ලෝකය විනාශ වීමට ගතවන කාලය යි. විවට්ට කල්පය කියන්නේ ලෝකය විනාශ වීමෙන් පසු නැවත සකස්වීමට ගතවන කාලය යි. ලෝකය විනාශවන හැටි සත්තසුරියුග්ගමන සූත්‍රයේදීත් ලෝකය නැවත සකස් වන හැටි අග්ගඤ්ඤ සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ මැනවින් පෙන්වා දී වදාළා.
චක්කවත්ති සීහනාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළා අනාගතයේ දී මිනිසුන්ගේ ආයුෂ අවුරුදු දහය දක්වා අඩුවුණාට පස්සේ මුව වැද්දෙකුට මුවෙකු දැක්කාම විනාශ කිරීමේ අදහසක් ඇතිවෙන්නේ යම් සේද, ඒ වගේම මවට දරුවන් කෙරෙහිත් දරුවන්ට පියා කෙරෙහිත්, සහෝදරයාට සහෝදරිය කෙරෙහිත්, සහෝදරියට සහෝදරයන් කෙරෙහිත් වෛරී චිත්තය හටගත්නවා. ඔවුන්ගේ අත්වල තියුණු ආයුධ පහළ වෙනවා. සත් දිනක් පුරා ඔවුන් එකිනෙකා කපා කොටාගෙන මැරිලා යනවා. මහ පොළොව ලේ විලක් බවට පත්වෙනවා. අන්න ඒ දින හත හඳුන්වන්නේ ‘සත්ථන්තර කල්පය’ නමින්. ඒ වගේම අප දන්නවා බුදුරජාණන් වහන්සේ ස්ථාන දසයක දී වාර තුන බැගින් ආනන්ද ස්වාමින් වහන්සේට වදාළා ‘ආනන්දය, යම් කෙනෙක් ඡන්ද, චිත්ත, විරිය, වීමංසා කියන සතර සෘර්ධිපාද බහුල වශයෙන් වඩල තියෙනවා නම් ඔහුට කල්පයක් හෝ ඊට වැඩියෙන් වුණත් ජීවත්වෙන්න පුළුවන්. ආනන්දය, තථාගතයන් වහන්සේත් මේ සතර සෘර්ධිපාද බහුල වශයෙන් වඩලයි තිබෙන්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේටත් කල්පයක් හෝ ඊට වැඩියෙන් වුණත් වැඩ සිටින්න පුළුවන්’ කියලා. නමුත් ඒ සෑම අවස්ථාවකම මාරයා විසින් ආනන්ද හිමියන්ගේ සිත වසාගෙන සිටි නිසා උන්වහන්සේට බැරිවුණා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න ‘ස්වාමින් බොහෝ ජනයාට හිතසුව පිණිස භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා. සුගතයන් වහන්ස, කල්පයක් වැඩ සිටින සේක්වා’ කියලා. එතැනදී කල්පය කියා හඳුන්වන්නේ ආයු කල්පය යි. ආයු කල්පය කියන්නේ ඒ ඒ යුග වලදී මිනිසුන්ට තිබෙන පරමායුෂ. බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු සියක් එකසිය විස්සක් වගේ ප්‍රමාණයක්.
ඒ වගේම රහතන් වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනා කිරීමට භාවිතා කළ ගාථාවල ‘බුද්ධෝ හවේ කප්පසතේහි දුල්ලානෝ’ යනුවෙන් සඳහන් වෙනවා. ඒ කියන්නේ කල්ප සියයක් ගතවුණත් බුදුවරුන්ගේ උපත දුර්ලභයි කියන දෙයයි. කල්පයක් කියන්නේ කෙතරම් දීර්ඝ කාලයක්ද කියා අප මුල දී සඳහන් කළා. එබඳු කල්ප සියයකටම බුදුරජාණන් වහන්සේලා හත් නමයි මේ ලෝකයට පහළ වෙලා තිබෙන්නේ. මීට කල්ප අනූ එකකට කලින් විපස්සී බුදුරජාණන් වහන්සේත් පහළ වුණා. ඉන්පස්සේ කල්ප හැටක් යනතෙක් බුදුවරු පහළ වුණේ නැහැ. එබඳු කල්ප හඳුන්වන්නේ ‘බුද්ධ ශූ®න්‍ය කල්ප’ නමිනුයි. ඒ කල්ප හැට ගෙවලා ගිහින් සිඛි, වෙස්සභූ® බුදුරජාණන් වහන්සේලා දෙනම (මීට කල්ප තිස් එකකට පෙර) පහළ වුණා. නැවත කල්ප තිහක් බුද්ධෝත්පාදයක් සිදුවුණේ නැහැ. ඒ කල්ප හත ගෙවිලා ගිහින් මේ මහා භද්‍ර කල්පය තුළ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා සිවුනම ලෝකයේ පහළ වුණා.

බුදුරජාණන් වහන්සේ වදාළා ‘මහණෙනි, කල්පයක් මුළුල්ලේ ඉපදෙමින් මැරෙමින් සසරේ සැරිසරන එක පුද්ගයෙකුගේ ඇටසැකිලි ගොඩ එක් රැස් කරන්නෙක් සිටියොත් ඒ රැස් කරන ඇට ගොඩ විනාශ නොවී තිබුණොත් ඔය විදිහට ඒ මහා ඇටසැකිළිගොඩ මේ වේපුල්ල පර්වතය තරම් විශාල වෙනවා කියලා. යම් කෙනෙකු අතින් මව්, පියා මැරීම, රහතුන් ඝාතනය, සංඝ භේදය, දුෂ්ඨ සිතින් බුදුන් වහන්සේගේ ලේ සෙලවීම කියන මේ ආනන්තරිය පාප කර්මයක් සිදුවුණොත් ඔහුට ඒ ජීවිතය තුළ කිසිදු මාර්ග ඵලයක් සාක්ෂාත් කරන්න බැහැ. හිසින් ගෙනා බරක් බිමින් තබනවා වගේ් මැරුණු ගමන් නිරයේ ඉපදිලා කල්පයක් පුරා දුක් විඳින්න සිදුවෙනවා.

ඇතැම් අය මනුස්ස ලෝකයේ දී නොයෙක් මිත්‍යා දෘෂ්ඨිවලට හසුවෙලා බරපතල විදිහට පව් කර මරණින් මතු නිරයේ ඉපදී කල්ප ගණන් දුක් විඳිනවා. ඇතැම් අය සම්මා දිට්ඨියෙන් යුතුව නොයෙක් පින් කරලා භාවනා කරලා සමාධිය දියුණු කරගෙන මරණින් මතු දෙව්ලොව බඹලොව ඉපදිලා කල්ප ගණන් සැප විඳිනවා. යම්කිසි කෙනෙක් පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන ඒ ධ්‍යානයේ ම නො පිරිහී කළුරිය කෙළොත් ඔහු බ්‍රහ්ම කායික දෙවියන් අතර උපදිනවා. බ්‍රහ්මකායික දෙවියන්ගේ ආයුෂ කල්පය යි. යම් කෙනෙක් දෙවෙනි ධ්‍යානය උපදවාගෙන ඒ ධ්‍යානයන් නො පිරිහි කළුරිය කළොත් ඔහු ආභස්සර දෙව්ලොව උපදිනවා. ආභස්සර දෙවියන්ගේ ආයුෂ කල්ප දෙකයි. යම් කෙනෙක් තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන ඒ ධ්‍යානයෙන් නො පිරිහි කළුරිය කළොත් ඔහු සුභකිණ්හ දෙව්ලොව උපදිනවා. සුභකිණ්හ දෙවියන්ගේ ආයුෂ කල්ප හතරයි. කවුරුහරි කෙනෙක් හතරවෙනි ධ්‍යානය උපදවාගෙන ඒ ධ්‍යානයෙන් නො පිරිහි කළුරිය කළොත් ඔහු වේහප්ඵල දෙවියන් අතර උපදිනවා. වේහප්ඵල දෙවියන්ගේ ආයුෂ කල්ප පන්සියයි. බුදුරජාණන් වහන්සේ වදාළා පෘථග්ජන අය ඒ ඒ ලෝකවල ආයුෂ අවසන් වුණාට පස්සේ ඒ ලෝක වලින් චුතවෙලා නිරයේ උපදින්න පුළුවන්. තිරිසන් ලෝකයේ පේ‍්‍රත ලෝකයේ උපදින්නත් පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ඒ ඒ ලෝකවල ආයුෂ ඇතිතාක් ඉඳල ඒ ලෝකවලදීම පිරිනිවන් පානවා කියා.

ඒ වගේම තථාගතයන් වහන්සේ වදාළා ‘පින්වත් මහණෙනි ආරම්භක කෙළවරක් දැකගත නොහැකි මේ සසරේ ඔබ විසින් කල්ප ගණන් අනේක දුක් අනුභව කරල තිබෙනවා. අතිදීර්ඝ කාලයක් මුළුල්ලේ ඔබ විසින් තියුණු දුක්විඳල තිබෙනවා. එම නිසා පින්වත් මහණෙනි සියලු සංස්කාරයන් කෙරෙහි අවබෝධයෙන්ම කලකිරෙන්නමයි වටින්නේ. නො ඇලෙන්නමයි වටින්නේ. නිදහස් වෙන්නමයි වටින්නේ.

පින්වත් මහණෙනි, කරුණු හතරක් අවබෝධ කර ගැනීමට නොහැකිවීම නිසා ඔබත්, මමත් මේසා දීර්ඝ සසරේ සැරිසරමින් ආවා. ඒ ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව ආර්ය විමුක්තිය යන මේ සතරයි. මේ කරුණු හතර අවබෝධ කර ගැනීමෙන් සාක්ෂාත් කිරීමෙන් භව තෘෂ්ණාව මුලින්ම ඉදිරිලා යනවා. භව රැහැන් සිඳිලා යනවා. නැවත භවයක් හට ගන්නේ නැහැ. ඒ නිසා අපත් කල්ප ගණන් දුක් විඳිමින් පැමිණි සසර ගමන නිමා කිරීමට බුදුරජාණන් වහන්සේ වදාළා ධර්මයම පිහිට පිළිසරණ කර ගනිමු.

ධර්මාවබෝධයම වේවා..!!!
Image may contain: 1 person, outdoor, text and nature

බුදු රුවින් නිරූපිත මුද්‍රා

බුදු රුවින් නිරූපිත මුද්‍රා

මුද්‍රා භාවිතය ඉතිහාසයේ ආරම්භ වූයේ කෙදිනක දැයි හරිහැටි කිව නොහැකිය. මිනිසා නොදියුණු දඩයම් යුගයේ හස්ත මුද්‍රාව භාවිත වූ බවට සැක කළ හැකිය. සතෙකු දඩයම් කර ගැනීමෙදී, සතාට නො දැනෙන්නට අදහස් හුවමාරු කර ගැනීම අවශ්‍ය විය. එහිදී හස්ත මුද්‍රාව උපයෝගී කර ගන්නට ඇත.අපේ ජාතක කතාවලත් භාරත මුද්‍රාවේත් අදහස් හුවමාරු කර ගත් බවට සාධක ඇත. මහෟෂධ පණ්ඩිතයෝ අමරා දේවිය සමග අදහස් හුවමාරු කර ගත්තේත් හස්ථ මුද්‍රාවෙනි.නාට්‍ය කලාවේ එන සතර අභිනය වලින් එකක් නම් ආංගික අභිනයයි. එනම් අඟ පසඟ යොදා ගනිමින් අදහස් ප‍්‍රකාශ කිරීමයි. මේ අනුව අතීතයේ පටන් ම අදහස් ප‍්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙස හස්ත මුද්‍රාව යොදා ගෙන ඇති බව පෙනේ.ලාංඡනය, සංඥාව, වලංගු බව හඟවන සළකුණ, මෙ ආදි විවිධාර්ථ මුද්‍රා යන්නෙහි අන්තර්ගතව ඇත. රාජකීය ලාංඡනය හඟවන්නේ රාජ්‍ය මුද්‍රාවෙනි.ලියකියවිලිවල වලංගු බාවය සනාථ කිරීමට ද අත්සන සහිත මුද්‍රාව අවශ්‍යමය.
සංකේතබුද්ධ ප‍්‍රතිමා බිහි වන්නට පෙර විවිධ සංකේත මගින් බුදුරුව නිරූපණය කරනු ලැබීය. ධර්ම චක‍්‍රය, බෝ පත, ස්තූපය, සිරිපතුල, ඒ අතර වැදගත් සංකේතය.සංඝයා හැඳින්වීමට ලකුණක් ලෙස පැරණි සෙල් ලිපිවල වටාපත යොදා ගෙන ඇත.

සෞභාග්‍යයේ සංකේතය ලෙස හක්ගෙඩිය යොදාගෙන ඇති බව අනුරාධපුරයේ මුරගලින් ඔප්පු වේ.ඡත‍්‍රය රාජකීය බව හැඟවීමේ ලකුණයි. පක්ෂීන් හා සිව් පා සතුන් ද සංකේත ලෙස යොදාගෙන ඇති බවට සාධක පවතී.
ප‍්‍රතිමා මුද්‍රාප‍්‍රතිමා කලාව නිර්මාණයත් සමගම දෙ අත් සහ ඇඟිලි යොදා ගනිමින් සංකේතාත්මකව අදහස් දැක්වීම මුල්කරගෙන විවිධ මුද්‍රා නිර්මාණය විය. ප‍්‍රථම වරට මෙම මුද්‍රා යොදා ගනු ලැබුවේ බුද්ධ ප‍්‍රතිමා වලය. පසුව වෙනත් ආගම් වලද ප‍්‍රතිමා නිර්මාණයේදී මුද්‍රා යොදා ගන්නා ලදී.දේව රූප නිර්මාණයේදී මුද්‍රා දැක්වීම අත්සන ඇඟිලි පමණක් යොදා ගනු නොලැබිණි. අතට ගත් ආයුධයක් හෝ වෙනත් උපකරණයක් සංකේත ලෙස යොදා ගත්හ. එහෙත් බුද්ධ ප‍්‍රතිමාවල මුද්‍රා සඳහා වෙනත් සංකේත යොදාගෙන නැත.බුදුපිළිම වල සංකේත යොදා ගත්තේ බුදුරදුන්ගේ ධර්මදේශනා විලාසය දැක්වීමටයි. ඒ අතර පිළිගත් සම්මත මුද්‍රා දහතුනක් ඇත.එනම්

1. ධ්‍යාන මුද්‍රාව
2. ධර්ම චක‍්‍ර මුද්‍රාව
3. අභය මුද්‍රාව
4. විතර්ක මුද්‍රාව
5. භූමි ස්පර්ශ මුද්‍රාව
6. වරද මුද්‍රාව
7. කටක මුද්‍රාව
8. ගජ හස්ත මුද්‍රාව
9. කර්තරී හස්ත මුද්‍රාව
10. අඤ්ජලී හස්ත මුද්‍රාව
11. කටක විලම්බීත හස්ත මුද්‍රාව.
12. ලෝල හස්ත මුද්‍රාව
13. ශුචි හස්ත මුද්‍රාව

මීට අතිරේකව ඥාණ මුද්‍රාව අභිශේත මුද්‍රාව, වජ‍්‍රහුංකාර මුද්‍රාව වශයෙන් තවත් මුද්‍රා කිහිපයක්ම ඇති බව විචාරකයෝ පවසති. උගතුන් අතර ඒ පිළිබඳ පවතින මතද විවිධය. ඇතැම් මුද්‍රා ලංකාවේ බුද්ධ ප‍්‍රතිමාවල දක්නට නැත.එබැවින් ප‍්‍රකට මුද්‍රා කිහිපයක් පිළිබඳව පමණක් අපි විමසා බලමු.

ධ්‍යාන මුද්‍රාවසමාධි පිළිම වල දක්නට ඇති ලක්ෂණයකි ධ්‍යාන මුද්‍රාව. පාදයන් නමාගෙන දකුණු පතුල උඩට හරවා වම් කලවය මතත් වම් පතුල උඩට හරවා දකුණු කලවය මතත් සිටින සේ උඩුකය සෘජුව තබා හිඳගෙන, වම් අල්ල උඩ දකුණු අල්ල පිහිටුවා සිටීම මෙම මුද්‍රාවේ විශේෂත්වයයි. සමාධි පිළිමය ඊට නිදසුනකි. ලංකාවේ බොහෝ විහාරස්ථානවල මෙම මුද්‍රාව දැකිය හැකිය.

ධර්ම චක‍්‍ර මුද්‍රාවවම් අතේ මැදගිල්ල උඩ දකුණු අතේ මහපට ඇඟිල්ල හා දබරඟිල්ල එකට එක්කොට තැබීම ධර්ම චක‍්‍ර මුද්‍රාවයි. බරණැස ඉසිපතනාරාමයේදී පස් වග මහණුන් උදෙසා කළ ප‍්‍රථම ධර්ම දේශනාව, (දම්සක් පැවතුම් සූත‍්‍රය) මින් සංකේතවත් කරන බව පොදු පිළිගැනීම වේ.

අභය මුද්‍රාවවැල මිට ළඟින් අත නවා උඩට ඔසවා අල්ල ඉදිරියට පා ඇත්තේ අභය මුද්‍රාවයි. බිය නැති බව, අන් හට අභය දෙන බව විශ්වාසය, ඒකාන්ත බව, සහතික වීම ආදි අදහස් අභය මුද්‍රාවෙන් ප‍්‍රකට කරන බව උගතුන්ගේ පිළිගැනීම වේ. අවුකන බුදු පිළිමය අභය මුද්‍රා සහිත පිළිමයකි.

විතර්ක මුද්‍රාවබුදුරදුන්ගේ දේශනා විලාසයක් පෙන්නුම් කරන මෙම මුද්‍රාව විශෙෂ්යක් නොමැතිව හිටි පිළිමවලත්, ඉඳි පිළිමවලත්, දක්නට ඇත.වැලමිට ළඟින් උඩට නැමූ අතේ මහපට ඇඟිල්ලත් දබර ගිල්ලත් එකට ළංකොට මදක් නැමූ ස්වභාවය දක්වයි. අතේ ඉතිරි ඇගිලි දිග හැරී ඇත. අල්ල ඉදිරියට පෙනේ. සියලු සත්වයන්ට ආරක්‍ෂාව හා ආශීර්වාදය ලබාදීම මින් සංකේත කරයි.
භූමි ස්පර්ශ මුද්‍රාවබුදුරදුන්ගේ මාර විජය අවස්ථාවක් පෙන්නුම් කරයි. මාරයා තමාට සාක්ෂි වශයෙන් දස බිම්බරක් මර සෙනග සිටිතැයි කී විට, බුදුන් වහන්සේ මහ පොළොවට අත දිගුකොට මේ මහ පොළොව මට සාක්ෂියි කී විට මහ පොළොව සෙළවී එය සහතික කළ බව දැක්වෙයි.වැඩසිටින බුදුන්ගේ වම් අත දිග හැර පද්මාසනයේ පා මත අත තබා දකුණු අත නැමූ පාදයේ දණ හිස ළඟින් පහළට දිගු කරගෙන සිටීම භූමි ස්පර්ශ මුද්‍රාවයි. පුරණලද පාරමිතා බලය මින් ප‍්‍රකට කරයි.

වරද මුද්‍රාවදකුණත පහත් කොට ඉදිරියට දිග හැර අත්ල උඩුඅතට හරවා ඇගිලි දිග හැර තිබීම වරද මුද්‍රාවයි. බුදුරදුන්ගේ ආශ්චර්යමත් මනුෂ්‍යත්වය මින් ප‍්‍රකට කෙරේ.

තෙරුවන් සරණයි...!!
Image may contain: 1 person, text

සැපතත් සතුටත් ඇත්තේ වෛරය නැති තැනයි.

සැපතත් සතුටත් ඇත්තේ වෛරය නැති තැනයි.

මේ ලෝකයෙහි විවිධ සත්ව තල තිබේ. බුදුරදුන් වදාළේ සත්තාවාස හෙවත් විවිධ ස්වභාවයෙන් යුතු සත්ව තල නවයක් තිබෙන බවයි. සමහර සත්ව ලෝක අයත් වන්නේ ‘ඒකත්ත කායා ඒකත්ත සඤ්ඤී’ යන වර්ගයටයි. එතකොට ඔවුන් සිරුරු වශයෙන් ඒකාකාරී වන අතර, මානසික වශයෙනුත් එක ම ස්වභාවයෙන් යුක්ත යි. ඒ ලෝක අයිති වන්නේ ආභස්සර බඹ ලොවට යි. ඔවුහු අප්‍රමාණ සතුටක් භුක්ති විඳිති. ඊට හේතුව ගැටීම්කාරී පරිසරයට ඉඩ තබන විවිධත්වය එහි නො තිබීමයි.

මිනිස් ලොව ඊට හාත්පසින් වෙනස් ය. මිනිසුන් අයිති වන්නේ, දුක – සැප මිශ්‍රව විඳින ‘නානාත්ත කායා නානත්ත සඤ්ඤී’ වර්ගයටයි. මිනිසුන්ගේ සිරුරු ස්වභාවයෙන්ම වෙනස් වන අතර, ඔවුන්ගේ මානසික ස්වභාව ද විවිධත්වයෙන් යුක්ත යි. මේ නිසා ඔවුන්ගෙන් බොහෝ දෙනා ඉතා සුළු කරුණකදී පවා කණ්ඩායම් වලට බෙදෙමින් අරගල කරන්නට පෙළඹෙති.

තම අදහස් ඉටු නොවන විට, මතවාද වලට අනුන් එරෙහිවන විට ප්‍රතිවාදී චරිත ස්වභාව ඇති කර ගනිමින් ඔවුහු තම මතය ඉස්මතු කිරීම පිණිස අදහස් ඉටු කර ගැනීම පිණිස එකිනෙකාට හානි කර ගනිති. තම සිත්වල වෛරය සනිටුහන් කර ගනිති. ඉන්පසු එකිනෙකාට අභූත චෝදනා කිරීම්, නින්දා කිරීම්, අණවින, කොඩිවින කිරීම් ආදියෙන් ඔවුහු එකිනෙකා මැඬලීමට උත්සාහ කරති. බොහෝ කල් පවතින්නට හේතු වන වෛර හටගන්නේ, මෙවැනි පසුබිම් තුළිනි.

සේරිවාණිජ ජාතකයෙහි එකට සිටි මිතුරන් දෙදෙනකු වෙනස් වූ අයුරු මැනැවින් පෙනී යයි. ඒ මිතුරන් දෙදෙනාගෙන් කෙනෙක් දැහැමි මනසින් යුක්ත යි. අනෙකා පාපී ආශාවන්ගෙන් යුක්තයි. මේ මානසික විවිධත්වය නිසා ඔවුහු දෙපැත්තකට වෙන් වූහ. අර පාපී මිතුරාගේ වෙළෙඳාම අධාර්මික විය. අසරණ මිත්තණියක් රවටා, ඇයගේ මිණිබිරියට රන් බඳුනකට වළල්ලක් දීමට පොරොන්දු විය.

තමා පසුව එන බව පවසා ගිය අතර, මේ කිසිවක් නොදන්නා දැහැමි මිතුරා ද එතැනට පැමිණියේ ය. එම රන් තැටිය ඔහුට පෙන් වූ විට ඔහු අවංකවම එම තැටියේ වටිනාකම පවසා තමා සතු සියලු දේ මිත්තණියට දී රන් තැටිය රැගෙන ගියේය.

පාපී මිතුරා නැවත වංචාවෙන් රන් තැටිය ගැනීමට පැමිණිමුත් එහි රන් තැටිය නොතිබිණි. රන් තැටියට ආශාව නිසා හටගත් ද්වේශයෙන් යුතුව ඔහු මිතුරා සොයා දිව ගියේය. එහෙත් ප්‍රමාද වැඩිය. මිතුරා ගං ඉවුරෙන් එගොඩට යමින් සිටියි. මේ පවිටු පුද්ගලයා දෑතට වැලි ගෙන ගං ඉවුරෙහි දණගසා තම සිතෙහි වෛරී සංස්කාරයක් පිහිටුවා ගත්තේ ය.

මේ තුළින් සසර ගමනට අලුත් වෛරයක් ආරම්භ වී, තමන් මහත් විනාශයක් කරා රැගෙන යන බව ඔහු දැන නොසිටියේ ය. අර පවිටු මිතුරා මිය ගියේ ගඟෙන් එතෙර වන තමාගේ මිතුරාගේ ඡායාව දෙස බලමිනි. “හොඳයි! නුඹ පලයන්….. හැබැයි මේ අතෙහි මිට මොළවා ගත් වැලි කැට ගණනින් මා නුඹ පසුපස පැමිණෙනවා.

මගේ රන් තැටිය පැහැරගත් වාඩුව පිරිමසා ගන්නවා” යැයි වෛරයෙන් පැවසීය. සැබැවින්ම එය සත්‍යයක් ම විය. අනෙක් මිතුරා වූයේ වෙන කිසිවෙකු නොව අපගේ බෝසතාණෝ ය. ඉතින් ඒ බෝසතුන් ගුත්තිල නම් සංගීත ආචාර්යවරයාව ඉපද සිටි විට අර පවිටු මිතුරා මූසිල නමින් ශිෂ්‍යයකුගේ වේශයෙන් පැමිණියේ ය. තම ගුරුවරයාට දියහැකි සියලු වධ හිංසා දුන්නේ, ගුරුවරයාගේ වරදක් නිසා නොව, සසරේදී වැඩුණු ඔහුගේ වෛරය නිසාය. බෝසතාණෝ සියල්ල ඉවසාගෙන සිටියහ.

මෙලෙස බොහෝ කලක් පසුපසින් පැමිණි මෙම වෛරය බෝසතාණන් වහන්සේ බුදුවන ආත්මයෙහි පවා මුණ ගැසුණේය. දේවත්ත වෙසින් පැමිණි මොහු හානිකර ගත්තේ තමාට පමණක් නොවේ. දේවදත්ත බොහෝ දෙනෙකුට නිවන් මඟ අහිමි කළේය. ශ්‍රද්ධාවට හානි පැමිණ වූයේ ය. මෙයින් සිදුවූයේ වෛරය පිරිමසා ගැනීමකි. මෙය කෙළවර වූයේ ආනන්තර්ය පාප කර්ම රැස් කර ගැනීමෙනි.

කෙනෙක් පාරමී පුරමින් ඉවසන ගුණ පුහුණු කරමින් පැමිණෙද්දී, ඔහු පසුපසින් පැමිණ වධ දෙන්නට තරම් තවෙකෙක් පෙළඹුණේ සිතෙහි හටගත් වෛරයෙන් සැකසුණු අවාසනාවන්ත සංස්කාරයක් නිසා නොවේද? ඕනෑම කෙනකුට ප්‍රතිවාදීන් බිහිවීම ස්වභාවිකය.

අනුන්ගේ වෛරයෙන් ලැබෙන බැටකෑමට, බුදුරදුන්ට පවා සිදුවිය. එයයි සසරේ හැටි. නමුත් වෛරය ඉස්මතුවීමට ඉඩ නොදී එයින් බේරෙන්නට හැකිනම් එය කෙනකුට මහත් සැපතක් ලබා දෙයි. වෛරයට ඉඩ නොතබා ඉවසීමෙන්, සිත දියුණු කර එයින් ගැලවී සිටීමට, බුදුරදුන්ගේ උපදෙස් අපට මහත් ලෙස උපකාර වෙයි. විශේෂයෙන් කකචූපම සූත්‍රය වැනි දෙසුම් කියවීම වැදගත් ය. මහායානය නමින් අමුතු ශාසන ප්‍රභේදයක් බිහිවූයේ ද වෛර පිරිමසා ගන්නට යෑම නිසා ය. එක්තරා භික්ෂූන් පිරිසක් විනය ශික්ෂාපද සැහැල්ලුවට ගෙන සම්මත කරගත් කරුණු දහයක් මුල් කර ගැනීම නිසා දෙවන ධර්ම සංගායනාව සිදුවිය. එහිදී රහතන් වහන්සේ පිරිසක් ධර්ම විනය නොවෙනස්ව පවත්වා ගැනීමේ චේතනාවෙන් සංගායනාවක් කළහ.

නමුත් මෙය තේරුම් නොගෙන විනය සැහැල්ලුවට ගත් ඒ සඟ පිරිස, වෛර බැඳ ගත්තේ සංගායනා කළ භික්ෂූන් වහන්සේ කෙරෙහි ය. එවිට ඔවුන් කරන ලද්දේ ඒ භික්ෂූන්ගේ අවබෝධය හෙළා දැකීම පිණිස ධර්මයේ සැක උපදවන ප්‍රශ්න නගා මාර්ගඵල පිරිහෙන බවට පුළුල් මතයක් ප්‍රචාරය කිරීම යි.

ඔවුන්ගේ අදහස වූයේ තම මතයට එරෙහි වූ නිර්මල සංඝයාට එරෙහි වීම මිස, නිර්මල බුදු සසුනට ගෞරව කිරීම නොවේ. මේ තත්ත්වය කොතරම් බරපතල විදිහට වර්ධනය වූයේද යත්, තුන්වන ධර්ම සංගායනාව වනවිට භික්ෂූන් විසින් ගොඩ නගන ලද අභූත මතිමතාන්තර ඉස්මතු වී පෙනෙන්නේ ‘කථාවත්ථුපකරණය’ කියවන විට ය.

තුන්වන ධර්ම සංගායනාවෙන්ද ඔවුන්ගේ මතවලට යළි පහර වැදිණි. එවිට ඔවුන් කරන ලද්දේ ගෞතම ශාසනයේ පිළිවෙත් පුරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරෙන දහම් රටාව බැහැර කොට, පාරමී බෝසත් සංකල්පයක් ඉස්මතු කොට මහායානය බිහි කිරීම යි. සැබෑ දෙවි දේවතාවන් බැහැර කොට, බෝසත් සංකල්ප බිහි කිරීම යි. මේ නිසා බොහෝ පිරිසකට ගෞතම ශාසනය අහිමි විය. මෙය ද වෛරයේ ප්‍රතිඵලයක් විනා වෙන කුමක්ද?

ඉතින් ඔබ තේරුම් ගන්න ධර්මය යනු මෙය යි. ඉවසීම ධර්මය යි. කරුණාව ධර්මය යි. වෛර නොකිරීම ධර්මය යි. ද්වේෂ නොකිරීම ධර්මය යි. පලි නොගැනීම ධර්මය යි. එකට එක නො කිරීම, ධර්මය යි. මෙත්සිත පැතිරවීම ධර්මය යි. මේවා නැති තැන උදේ සිට සවස් වනතුරු කොතරම් බණ දේශනා කළද, එතැන ඇත්තේ ප්‍රයෝජනයට නොගන්නා වචන සමූහයක් පමණකි. එනිසා වෛර සිතට ඉඩ නොදී, ඒ නිමිත්ත අමතක කොට, මෙත් සිත වඩන්නට හැකිනම් එය මහත් ලාභයකි. සතුට ලැබෙන්නේ, මෙත් සිතෙන් මිස, වෛරයෙන් නොවේ. එනිසා ධර්මය සිහි කරන තැනැත්තා, ජය පරාජය පසෙකලා මෙත් සිත වඩයි. වෛර නොකිරීම සැපතකි!

ධර්මාවබෝධයම වේවා..!!
Image may contain: 1 person, text

ලස්සනව ඉපදීම සඳහා බලපාන කර්මය

ලස්සනව ඉපදීම සඳහා බලපාන කර්මය
******************************************

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි තෝදෙය්‍ය බමුණාගේ පුත් වූ සුභ තරුණයා මිනිසුන් වශයෙන් උපන් සියලු දෙනා අතර ඇති විශේෂ කාරණයක් වන පුද්ගල විවිධත්වයට (මිනිසුන් අතර උස් - පහත් භාවයට) කරුණු විමසීය.

“කො නු බො, හො ගොතම, හෙතු කො පච්චයො යෙන මනුස්සානංයෙච සතං මනුස්සභුතානං දිස්සන්ති හිනප්පණිතතා”?

එයට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ මේ විවිධත්වය සඳහා බලපාන සෘජු සාධකය වන්නේ කර්මය බවයි. එය පුද්ගලයාට දායාද වශයෙන්, උපන් ස්ථාන වශයෙන්, පිළිසරණ වශයෙන් හේතු වී උස් - පහත් වශයෙන් විවිධත්වය සඳහා බලපෑම් ඇති කරන බවයි.

“කම්මස්සකා, මාණව, සත්තා කම්මදායාදා කම්මයොනි කම්මබන්ධු කම්මප්පටිසරණං කම්මං සත්තෙ විභජති යදිදං - හීනප්පණීතතායාතී”

යමෙක් ලස්සන නම් ඒ සඳහා හේතු සාධකය වන්නේ ඔහු පෙර කරන ලද තරහ නොගැනීම හෙවන් අද්වේශය නැමති කුසල කර්මයයි. එම කාරණය , ධර්මයේ විස්තර වන අයුරු මෙතැන් සිට විමසා බලමු.

# සුරූපී වීමට හෙවත් ලස්සනව ඉපදීම සඳහා බලපාන කර්මය #

ඉධ පන, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා අක්කොධනො හොති අනුපායාසම්බහුලො, බහුම්පි වුත්තො සමානො නාභිසජ්ජති න කුප්පති න ඛ්‍යාපජ්ජති න පතිටඨියති න කොපඤ්ච දොසඤ්ච අප්පච චයඤ්ච පාතුකරොති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස හෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති. නො වෙ කායස්ස හෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සවෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති පාසාදිකො හොති. පාසාදිකසංවත් තනිකා එසා, මාණව, පටිපදා යදිදං - අක්කොධනො හොති අනුපායාසම්බහුලො, බහුම්පි චුත්තො සමානො නාභිසජ්ජති න කුප්පති න බයාපජ්ජති න පතිට්ඨීයති න කොපඤ්ච දොසඤ්ච අප්පචයඤ්ච පාතුකරොති.

මානවයක, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වේෂය බහුලකොට නැත්තේ වෙයි ද, බොහෝ දෙයක් කීවේ නමුත් නො කිපෙන සුළු වෙයිද, නොගැටෙයි ද, විරුද්ධ බවට නොපැමිණෙයි ද, කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ නොකරයි ද, මෙසේ ඔහු හෝ ඇය අන්‍යයන් සමඟ සුහදව සිටීමේ විපාක වශයෙන්, ශරීරයේ බිඳීමෙන් හෙටත් මරණින් පසු යහපත් ගතිපැවතුම් ඇති සැපතින් ආඪ්‍ය වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් සුරූපී තැනැත්තෙක් බවට පත් වෙයි. මෙය සුරූපී බව ඇතිවීම සදහා බලපාන ප්‍රතිපදාවයි..

ඉතින් ඔබත් නුවණින් කරුණු විමසා බලන්න ,,අද කාලයේ බොහෝ දෙනෙක් තම රූපය ලස්සන කරගැනීමට කොපමණ වෙහෙසක් දරනවාද?
විශාල මුදලක් වියදම් කරමින් මෙන්ම තම වටිනා කාලය නාස්ති කරමින් ලබා ගන්නා ලස්සන තාවකාලික බව ඔබ පැහැදිලිව දැකගත හැක.
එම ලස්සන බාහිර හේතු නිසා ඉතා ඉක්මණින් වෙන්ව් වීමකට ලක්වෙයි.
නමුත් කුසල කර්මයේ විපාක වශයෙන් ලැබෙන සුරූපී බව ඉක්මණින් විනාශ නොවන බවත් අමතර වෙහෙසකින් තොරව ලැබෙන බවත් පැහැදිලි වේ..
සෑම හටගත් දෙයක්ම හේතුව නැති වීමෙන් විනාශ වන්නේය .සුරූපී බවද සැමදාම එකලෙස නොපවතින බව ඔබ නුවණින් වටහා ගත යුතුය.

ඉතින් ඔබත් අසිරිමත් අවබෝධ ඥාණයක් වූ සර්වතඥාණයෙන් නිරවුල්ව අවබෝද කලාවූ ඉහත ප්‍රතිපදාව අනුගමනය කර නිවන් දක්නා ජාති දක්වා උපදින සෑම ජාතියකම සුරූපීව ඉපදීමට හැකිබව ඉතා විශ්වාස යෙන් යුතුව මතක් කර සිටිමු.

# අවලස්සනව ඉපදීම සඳහා බලපාන කර්ම #

යමෙක් අවලස්සන නම් ඒ සඳහා හේතු සාධකය වන්නේ ඔහු පෙර කරන ලද තරහ ගැනීම හෙවත් ද්වේශය නැමති අකුසල කර්මයයි. එම කාරණය ධර්මයේ විස්තර වන අයුරු මෙතැන් සිට විමසා බලමු.

ඉධ, මාණව, එකච්වො ඉත්ථි වා පුරිසො වා කොධනො හොති උපායාසම්බහුලො, අප්පම්පි චුත්තො සමානො අභිසජ්ජති කුප්පති ඛ්‍යාපප්ජති පතිට්ඨියති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤච පාතුකරොති. සො තෙන කම්මෙන ඒවං සමත්තෙන ඒවං සමාදින්තෙන කායස්ස හෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති, කො වෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති, දුක්ඛණ්ණො හොති, දුක්ඛණ්ණසංවත්තනිකා එසා, මාණව, පටිපදා යදිදං කොධනො හොති උපායාසම්බහුලො, අප්පම්පි චුත්තො සමානො අභිසජ්ජති කුප්පති බයාපජ්ජති පතිටඨියති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති.

මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වේෂය බහුලකොට ඇත්තේ සුළු දෙයකට වුව ද, නිතර නිතර කිපෙන සුළු වෙයි ද, ගැටෙයි ද, විරුද්ධ බවට පැමිණෙයි ද, කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහළ කරයිද, මෙසේ ඔහු හෝ ඇය නිතර කිපී අන්‍යයන් සමඟ නිතර ගැටුම් ඇතිකර ගැනීමේ විපාක වශයෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගතිපැවතුම් ඇති විවසව පතිතවන්නා වූ නරකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ තම විරූපී ශරීර ඇත්තෙක් බවට පත්වෙයි. මෙය විරූපීවීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.

ඔබත් නුවණින් කරුණු විමසා බලන්න.අද සමාජයේ කෙතරම් පිරිසක් තරහව හෙවත් ද්වේශය නැමති මනෝ භාවයෙන් පෙලෙන බව ඔබට දැක ,දැන ,,අත්විද ඇතිබව ඔබම මෙනෙහි කර බලන්න.රූපලාවන්‍ය කටයුතුවලට බොහෝ මහන්සි වී මුදල් වියදම් කරත් ,තමන්ට ඇතිවන ද්වේශ සහගත සිතුවිලි පාලනය කර ගැනීමට බොහෝ දෙනෙක් අපොහොසත් වෙති.

⭐⭐️⭐️️⭐️⭐⭐️⭐⭐️️️⭐️⭐⭐️⭐️️⭐️⭐⭐️️⭐️

ඔබත් කෝපයෙන් ද්වේශයෙන් අන් අය සමග ගැටුම් ඇතිකර ගන්න යනවාද?

එම කෝපය තුල හටගන්නා වූ කර්ම විපාකය විදිය යුතුවන්නේ ඔබමය එබැවින් ද්වේශයෙන් වැලකී මෛත්‍රී සිතුවිලි වලින් සිත පුරවා ගෙන විරූපී බවින් මිදී නිවන් දක්නා ජාතිදක්වා සුරූපී ශරීර ඇතිව ඉපදිමට අවශ්‍ය ප්‍රතිපදාව අනුගමනය කරන්න....

මහරැඹෑවැවේ පාලිත හිමි
Image may contain: 1 person, text
පින්වතුනි, බුදුරජාණන්වහන්සේ සසර දුකයි, ජීවිතය දුකයි කියලා කියන්නේ, කන්න මොකුත් නැතුව බඩගිනි හැදෙන දුක නිසා නොවේ. වතුර ටිකක් නැතුව පිපාසය නිසා එන දුක නිසා නොවේ. කන් කැක්කුමක්, දත් කැක්කුමක්, බඩේ කැක්කුමක් නිසා එන දුක නිසා නොවේ. කෙටියෙන්ම කියනවානම් මේ මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් විඳින කිසිම දුකක් සසර තියෙන දුක් වලට සාපේක්‍ෂව, ‘දුකයි’ යන ගණයට යන්නේ නෑ.

මම ඕකට පොඩි කතාවක් ඔය පින්වතුන්ට කියන්නම්. පින්වතුනි බුදුරජාණන්වහන්සේ වැඩ ඉන්න කාලේ විශාලා මහනුවර රජකම් කළේ ලිච්ඡවී රජවරුයි. එතැන සමූහ ආණ්ඩුවක් තිබුණා. හත්දහස් හතක් රජවරු හිටියා. එක ප්‍රදේශයක රජකම් කළා අම්බසක්කර කියලා රජකෙනෙක්. මේ අම්බසක්කර රජ්ජුරුවන්ගේ රාජ්‍ය ප්‍රදේශයේ නගර මධ්‍යයේ බොහෝ වෙළඳසැල් තිබුණා. එක වෙළඳසැලක් තියෙනවා, මේ වෙළෙඳසැල් හිමියා හරිම දැහැමියි, හරිම ගුණයහපත්. කිසිම වෙලාවක කිසිම කෙනෙකුගේ හිත රිදෙන වචනයක් කතා කරන කෙනෙක් නොවේ. හැමෝ කෙරෙහිම ප්‍රිය වූ මනාප වූ ගතියකින් තමයි කටයුතු කරන්නේ.
මේ වෙළඳසැල ඉස්සරහා මඩ වගුරක් තියෙනවා. වෙළඳසැලේ ඉන්න වෙළඳ මහත්තයට පේනවා බොහෝ දෙනෙක් හොඳට ඇඳ පැළඳගෙන එනවා, අනේ මේ මඩ විසිවෙලා මඩ තැවරිලා ඇඳුම් පැළඳුම් ජරා වෙනවා. සමහර අය මඩ වලේ ලිස්සලා වැටෙනවා. ඉතින් මෙයා මොකද කරන්නේ, ගෙදර ඉඳලා උදේ ආපනශාලාවට එද්දී, මග තිබුණා ගවයෙක්ගේ ඔළුවක්. හරකෙක් මැරිලා සුදුපාට වුන ඔළු කට්ටක්. ඒ ඔළු කට්ට ගෙනැල්ලා මඩ වල මැද්දට දැම්මා, මේක පාගාගෙන මනුෂ්‍යයන්ට එතෙර වෙන්න පුළුවන්නේ කියලා. ඉතින් මනුෂ්‍යයෝ බොහෝ දෙනෙක් ඇඳුම්වල මඩ තැවරෙන්නේ නැතුව, ගව හිසට අඩිය තියලා එතෙරට යනවා.

මේ ආපනශාලා හිමියාගේ ඥාති පුත්‍රයෙක් හිටියා, සහෝදරියකගේ පුතෙක්, බෑණා කෙනෙක්. මෙයා ලොකුයි. පසුකාලේදි සූදුවට ඇබ්බැහි වෙලා, තියෙන දේවලුත් විනාශ කරලා, හොරු කණ්ඩායමකට එකතු වෙලා. දැන් මුදල් නැති නිසා හොරකමේ යන්නගත්තා. ආපනශාලාවේ ඉන්න ආපනශාලා හිමියා, මාමා, මේ මොකුත් දන්නේ නෑ. එයා බොහෝම දැහැමි කෙනෙක්. අර ඥාති පුත්‍රයා, මොකද කරන්නේ, හොරකමේ ගිහිල්ලා,ගෙවල් බිඳලා, බඩුමුට්ටු ගෙනැල්ලා, මෙයාට හම්බවෙන කොටස හංගන්නේ මාමාගේම ගෙදර පැත්තක යි. මාමා මේ මොකුත් දන්නේ නෑ.

ඉතින් දවසක් ඔය වගේ හොරකමේ ගියහම, රාජපුරුෂයන්ට අහුවෙනවා. ඔක්කොම හොරු පැනලා යනවා, ආපනශාලා හිමියාගේ ඥාති පුත්‍රයා හසුවෙනවා. බඩුත් එක්ක හසුවෙලා ගහනකොට තියෙන අනිත් බඩුත් පෙන්නනවා අර ගෙදරට එක්කගෙන ඇවිල්ලා. පෙන්නුවහම රාජපුරුෂයෝ හිතනවා මේ ආපනශාලා හිමියාත් මේකට අනුග්‍රහය දක්වලා තියෙනවා කියලා එයාවත් අල්ලාගෙන යනවා. රජ්ජුරුවෝ මොකද කරන්නේ, ආපනශාලා හිමියාගේ හිසගසා මරලා දමන්න නියම කරනවා. එයාගේ ඥාති පුත්‍රයා බලවත් වැරදිකාරයා නිසා එකවර මරන්නේ නෑ. හොඳට කෝටුවක් උල්කරලා, උලතියන්න, උල උඩ ඉන්දවන්න නියමකළා. ඒ කියපු විදිහට රාජපුරුෂයෝ ආපනශාලා හිමියාගේ හිසගසා දැම්මා. එයා මැරුණා. එයාගේ ඥාති පුත්‍රයාව සොහොනට ගෙනිහිල්ලා උල තිබ්බා. උලේ කට්ට බේරලා තියෙන්නේ, දවසින් දවස, ටිකෙන් ටික, ශරීරය පසාරු කරගෙන යන්න. එතකොට කෘරවූ, කටුක වූ, තියුණු වූ, දුක් වේදනාවන් විඳිනවා. විඳලා තමයි මැරෙන්නේ.

මේ විදිහට උල උඩ තිබ්බහම, උල උඩ ඉන්න මේ මනුෂ්‍යයා හැම වෙලාවේම හිතනවා, ‘අනේ මාව මැරෙන්නේ නෑනේ. අනේ මාව මැරෙන්නේ නෑනේ. මේ දුක ඉවරයක් වෙන්න ඉක්මනට මැරෙනවානම්. මේ දුක විඳ විඳ ඉන්න බෑ තවත්. අනේ මාව මැරෙනවා නම්’ කියලා හිතින් මරණය ප්‍රර්ථනා කරනවා.
අර ආපනශාලා හිමියා බොහොම දැහැමි කෙනෙක්නේ. එයා මැරිලා ගිහිල්ලා විමාන දෙවියෙක් වෙලා උපන්නා. අර මිනිස්සුන්ට මඩ පෑගෙන්නේ නැති වෙන්න මඩ වලට ගව හිසක් දාපු එකේ කුසලයට එයාට දිව්‍යමය අජානීය වෘෂභයෙක් පහළ වුණා. උඩින් යන්න පුළුවන්, ඍද්ධියෙන් යන්න පුළුවන්, වෘෂභ වාහනයකින් තමයි දැන් එයා යන්නේ. හැබැයි එයා තරුණකාලේ යාළුවොත් එක්ක නාන්න ගිහිල්ලා, හොරකමටත් නොවෙයි, කෙළි පිණිස සෙල්ලමට යාළුවන්ගේ ඇඳුම් හංගලා තියෙනවා. දෙවියෙක් වෙලා හොඳ දිව්‍ය වාහනයකුත් තියෙනවා නමුත්, ඒකේ අකුසලයට ඇඳුම් නෑ, නිර්වස්ත්‍රයි. අර ලෝවැඩ සගරාවේ තියෙන්නේ

කෙළියට කඩක් සගවා යහළුවකුගෙනේ
හෙළිකොට නැවත දුන් මිනිසෙකුට මෙතෙකිනේ
විළිවැස්මක් නො ලදිය දෙවි වෙලත් අනේ
කෙළි යටවත් නො කරව් සොරකමක් දැනේ

කියලා. එතකොට මෙන්න මේ ඒ දෙවියා තමයි. ඇදුම් නෑ.

ඉතින් මේ ඥාති පුත්‍රයා උල උඩ ඉඳගෙන මරණය නිතරම ප්‍රාර්ථනා කරන බව අර දෙවියාට තේරෙනවා. දෙවියාට මෙයාගේ හිත කියන්න පුළුවන්. මෙයා මොකද කරන්නේ, දවස දවස ගානේ ඇවිල්ලා, ඥාති පුත්‍රයා ලඟට ඇවිල්ලා, “දරුවා මැරෙන්න හිතන්න එපා. ජීවත්වෙන්න හිතන්න. අනේ මාව ජිවත් වෙන්නේ නෑ නේ, මම කොහොමද ජිවත් වෙන්නේ කියලා හිතන්න. ජිවත්වීම ප්‍රර්ථනා කරන්න. ඔබගේ මරණයට වඩා ජීවත්වීමම ඔබට දාහෙන් සම්පතක්. ඔබට ලාභයක්ම යි. ඒ නිසා උල උඩ හරි කමක් නෑ ජිවත් වෙන්න උත්සාහවත් වෙන්න” කියා කියා යනවා.

ඔය කාලයේ රජවරුන්ගේ සිරිතක් තිබුණා අප්‍රකට වේශයෙන් වෙස්වලාගෙන නගරයේ ඇවිදිනවා. රජ්ජුරුවන්ට හෝ රජයට හෝ මිනිස්සු දොස් කියනවාද, මොනවා හරි අලුත් අදහස් තියෙනවාද, යෝජනා තියෙනවාද කියලා බලන්න. ඉතින් මේ අම්බසක්කර රජ්ජුරුවොත් දවසක් රාත්‍රී කාලයේදි වෙස්වලාගෙන යනවා. ඔය සොහොන අයිනෙන් තමයි යන්නේ. යනකොට ශබ්දයක් ඇහෙනවා, මේ අර උල තිබ්බ හොරා ඉන්න තැන - “මැරෙන්න එපා ඔබ ජිවත් වෙන්න. මැරෙන්න හිතන්න එපා ජිවත් වෙන්න හිතන්න. මරණයට වඩා ඔබගේ ජිවත්වීම ශ්‍රේෂ්ඨයි කියලා”. රජ්ජුරුවෝ හෙමින් එතැනට ගිහිල්ලා අහනවා ඔබ කවුද? “මම අහවල් දිව්‍ය විමානේ ඉන්න දෙවියෙක්” කියනවා. රජ්ජුරුවෝ “පෙනෙන්න එන්න” කියනවා. “මට ඇදුම් නෑ, පෙනෙන්න එන්න බෑ නේ” කියලා ඒ දෙවියෝ කියනවා. “කමක් නෑ එන්න” කියලා රජ්ජුරුවෝ කියනවා. ඊට පස්සේ ඒ දෙවියෝ තමන්ව පෙන්නනවා.

ඊට පස්සේ රජ්ජුරුවෝ “මේ උල උඩ ඉන්න කෙනා ඔයාගේ හතුරෙක්ද” කියලා අහනවා. “උල උඩ ඉන්න මනුස්සයා මෙච්චර දුක් විඳිද්දී තව මැරෙන්න එපා ජීවත්වෙන්න කියන්නේ එයා දුක් විඳිනවා බලන්න එච්චර ඔයා කැමතිද? එයා එක්ක මෙච්චර වෛරද ඔයා?” කියලා අහනවා. ඊට පස්සේ කියනවා, “නෑ මේ උල උඩ ඉන්න කෙනාට මම ගොඩක් ආදරෙයි. මේ මගේ ඥාති දරුවෙක්. එයාට ආදරේ හින්දාමයි මැරෙන්න එපා ජීවත්වෙන්න” කියලා කියන්නේ. “ඒකට හේතුව මොකක්ද” කියලා රජ්ජුරුවෝ අහනවා. “මගෙන් ඒක මෙතැනදී අහන්න එපා. මෙයාගේ පණ බොහොම යන්තමින් තියෙන්නේ. පැත්තකට ගිහිල්ලා අහන්න මගෙන්” කියනවා. ටිකක් අහකට ගියහම කියනවා “මෙයා බැරිවෙලා මැරුණොත්, ගිහිල්ලා උපදින්නේ අවීචිමහ නරකයේ.ඒ අවීචිමහ නරකයේ විඳින දුකට සාපේක්‍ෂව, උල උඩ ඉන්නවා කියන්නේ දිව්‍ය ලෝකයක ඉන්නවා වගෙයි” කියලා.

මේ කතාව ගොඩක් දිගට තියෙනවා.මම මෙතෙන්දි කියන්න ගත්තේ පින්වතුනි එක දෙයක් දකින්න, කෙනෙක්ගේ පිටිපස්ස පැත්තෙන් පසාරුකරගෙන ශරීරය විනිවිද යන්න උලක් ඇන්නොත් මොනතරම් වේදනාවක් එයිද? ඒ වගේ වේදනාවක් කවුරුවත් විඳලා තියෙයිද? නෑ. එතකොට අපායට සාපේක්‍ෂව, අපායේ දුකට සාපේක්ෂව, අර තරම් වේදනාවකුත් දිව්‍ය ලෝකයක බඳුයි කියනවා.
ඒ උල උඩ ඉන්න මනුෂ්‍යයාත් ඉන්නේ සුගතියකයි. ඒක හොදට මතක තබාගන්න. උල උඩ ඉන්න මනුෂ්‍යයාත් ඉන්නේ සුගතියකයි. ඒකට කියන්නේ තවම සුගති කියලා, යහපත් ගතියක් කියලා. එතකොට දුගතිය කියන එක මොනතරම් ඇත්ද කියන කාරණාව මේ මොහොතදි පොඩ්ඩක් අනුමානෙට සිහිපත් කරගන්න.

බුදුරජාණන්වහන්සේ සසර දුකයි කියන්නේ, අපට මොහොතකට ඇතිවෙන බඩගින්න හින්දා නොවෙයි. කන්න බොන්න දෙයක් නැතිව ඇති දුප්පත්කම නිසා නොවෙයි. අඳින්න ඇඳුමක් නැතිකම නිසා නොවෙයි. සීත උෂ්ණ නිසා එන දුක නිසා නොවෙයි. එහෙම නැත්නම් කවුරුහරි බැනපු හින්දා නොවෙයි. කවුරු හරි ගහපු නිසා නොවෙයි. මේවා නොවෙයි පින්වතුනි, සසර දුක කියලා කියන්නේ. මේවා ඔක්කොම ‘සුගතියක තියෙන අපහසුකම්’ යන ගණයට යන්නේ. ඒද සුගතියක්. කෙනෙක් උපන් දවසෙම ඉඳලා උපන්ගෙයි ඉඳලම අතපය හතරම කොරවෙලා, මලමූත්‍ර ගොඩේ වැතිරිලා, මැරෙනකල්ම, අවුරුදු සීයක් ජිවත් වුනත් එයා ඉන්නේ සුගතියක කියලා මතක තබා ගන්න. ඉතින් දුගතිය කියන එක කොහොමද කියන එක හිතාගන්න.

සමහර ප්‍රේත නිකායයන් තියෙනවාලු, හරියට ගහක බෙනයක් ඇතුළේ හටගන්නා ගිනිදැල් වගේ. අභ්‍යන්තර ඇතිවෙන ගින්න, කුසගින්න, කියන එක දරාගන්න බෑ. නමුත් ඒ කුසගින්න නිවාගන්න සෙම, සොටු ටිකක්වත් නෑ. එහෙම අවුරුදු කෝටි ගණන් තියෙන ආත්මභාවයන් තියෙනවා. ඉතින් මේවා පින්වතුනි, භවයෙන් වැහිලා නිසා අපට පෙනෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන්වහන්සේලා ලෝකයේ පහළ වෙන්නේ සසර එබඳු දුකක් තියෙන නිසා යි, සසරගත ඉන්න සත්ත්‍වයෝ එබඳු දුකක් විඳින නිසායි.
පින්වතුනි, අද අපේ ජීවිතය මෙබඳු වුනාට අපි ඔය කිවුවේ තව ‘අහක ඉන්න නිරිසත්ත්‍වයෙක්’ ගැන නොවෙයි. හෙට දවසේ අපේ ඉරණම ගැන යි. හෙට දවසේ අපේ ජීවිතය ගැන යි. මේ පින්වතුන්ට මේ සසරේ ඉන්නකොට හැමදාම බුද්ධෝත්පාද කාල හම්බවෙන්නේ නෑ. හැමදාම සත්පුරුෂ ඇසුර හම්බවෙන්නේ නෑ. හැමදාම මනුෂ්‍ය ජීවිත ලැබෙන්නේ නෑ. මනුෂ්‍යයෙක් වුනත්, මේ යමක් හිතන්න පුළුවන් මේ වටපිටාව අපට හැමදාම හම්බවෙන්නේ නෑ.
පින්වතුනි, මේ විදිහට ඉපදෙමින් මැරෙමින් යන මේ සසරෙදි යනකොට සත්පුරුෂ කාලවලට වඩා අසත්පුරුෂ කාල වැඩියි. ඒ අසත්පුරුෂ කාලයක, අසත්පුරුෂ අදහස් ඇති පවුලක ඉපදුණොත් පින්වතුනි ‘ඉබේමයි’ අපි ඊට අනුගතව කටයුතු කරන්නේ. එතකොට අරවගේ අපායට යන කර්‍ම කෙරෙනවා කියන එක ඒ තරම් දෙයක් නොවෙයි. ඒ නිසායි මෙතැන තියෙන භය. ඒ නිසා යි මෙතැන අපි සංවේගය ඇතිකර ගන්න ඕනේ කියන කාරණාව මතක් කරනවා.

එබඳු වූ සසරෙන් එතෙර වෙන්න තියෙන එකම උපාය තමයි මේ සද්ධර්‍මය. ඒ නිසයි අපි සද්ධර්‍මය අහලා එතෙර වෙන්න උත්සාහවත් වෙන්න ඕනේ.
අද මේ කන්න බොන්න නැතිකම නිසා එන දුක, ඇඳුම් පැළඳුමක් නැතිකම නිසා එන දුක, ගෙයක් දොරක් නැතිකම නිසා එන දුක, දුකක් නොවෙයි. මේ සසරෙදි ඔයිට වඩා සතර අපායේ අපි දුක් විඳලා තියෙයි. පින්වතුනි, මම දවසක් දැක්කා හරකෙකුට කවුරුහරි කෙනෙක් පිටට කොටලා පිහියකින් හරි මන්නෙකින් හරි. පිටේ පණුවෝ ගහලා සුදුපාටට ඉහඳයෝ. හරකාට මේක එලවගන්න බැහැ. නැට්ටෙන් එහාට මෙහාට වනනවා. කපුටෙක් ඉඳගෙන, පිට උඩ වහගෙන, කොට කොටා පණුවෝ කනවා. එතකොට අර සතාට තුවාලේ වේදනාවයි, පණුවෝ ගහපු වේදනාවයි, දෙකයි. කපුටට මේක තේරෙන්නේ නෑ. කපුටා පණුවෝ කන්නයි කොටන්නේ නමුත් වදින්නේ තුවාලයට යි. ඒ සතා එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා.

මම මේක දිහා සෑහෙන්න වෙලා බලන් හිටියා.මේ ඇස් දෙකෙන්ම දැකපු සිද්ධියක්. ඒ ද පින්වතුනි, හෙට දවසේ අපගේ චරිතය යි, කියන එක මතක තබාගන්න. අද මෙහෙම හිටියට හෙට දවසේදී මේ කියන ඕනෑම පැවැත්මකට පත්වෙන්න පුළුවන්කම, හේතු, ඔඩොක්කුවේ තියාගෙනයි අපි ඉඳගෙන ඉන්නේ.
අපි හිතාගෙන ඉන්නේ අතේ පයේ මොකුත් නැතුව හිස් අතින් අපි ඉඳගෙන ඉන්නේ කියලා නේද? නෑ. ඒ ඒ සත්ත්‍ව නිකායන්වල, ඉපදිලා විඳින්න තියෙන දුක් ඔඩොක්කුවේ තියාගෙනයි ඔය ඉඳගෙන ඉන්නේ කියලා මේ පින්වතුන් දන්නවාද? දන්නේ නෑ.

ඒ හින්දා, මම මේ කරන දේශනාව කරන්න ඉස්සෙල්ලා, මේ ටික මම මුලින් ම මතක් කරනවා.බොහොම ආදරයෙන්, උවමනාවෙන් අහලා මේ බණ ටික තේරුම් ගන්න උත්සාහවත් වෙන්න.

ඒ වගේම ඊයේ දවස, අද දවස කියන ටිකට විතරක් තීරණය වෙන්න එපා. සීමා වෙන්න එපා. දහම කියන එක, මේ සසර දුකින් අවසන් වෙන තුරුම මේ කලණ උත්සාහය අතහරින්න එපා කියන එක මතක් කරනවා.

පින්වතුනි, අපි කවුරුවත් මේ ලෝකයට ආවේ කාගෙන්වත් අහලා නොවෙයි. අපි මේ ලෝකෙන් යන්නේ කාටවත් කියලා නොවෙයි. වෙන කවුරුවත් කරපු දේකට අපි මේ ලෝකයට ආවේවත්, මේ ලෝකයට ගෙනාවේවත් නෑ. වෙන කවුරුවත් කරපු දේවල්, වෙන කවුරුවත් කරන දේවල් අරගෙන මේ ලෝකයෙන් යන්නේත් නෑ.

අපි යම් හොඳ හෝ නරක හෝ කියන ධර්‍මයක් උරුම කරගෙනද ආවේ, අපි යන්නේත් හොඳ හෝ නරක හෝ කියන ධර්‍මතාවයක්ම උරුමකරගෙන යි. කෙනෙකුට පුළුවන් නම් හොඳ සහ නරක කියන දෙකම අයින්කරලා, මේ දුක් සහගත පැවැත්ම මෙතැනම නතර කරන්න, ඒක තමයි බොහෝම ශ්‍රේෂ්ඨ.
හැබැයි ඒකෙදි ‘හිතලා’ හොඳ අයින්කරන්න යන්න ඕනේ නෑ. නරක අයින්කරන්න හොඳ කරමින්, හොඳ ද අතහැරෙන වැඩපිළිවෙලක ඉන්න, හොඳ කරන ගමන්. මොකද අපේ කට්ටිය කියපු ගමන්ම කරන්නේ ඒකනේ. ඒකපහසුයි. නරක කරන්න ලේසි යි, හොඳ කරන එක අපහසුයි. ඒක නේ කියපු ගමන්ම නතර කරන්නේ. “ආ…හොඳත් නරකත් දෙකම කරන්න එපා කිව්වා හාමුදුරුවෝ” - මම කියන්නේ හොඳ කරන්න එපා කියන එක නොවෙයි. හොඳ කරන්න. නරක අතහරින්න. හොඳ කරන්න. හොඳ කියන එක අතහැරෙන්න ඕනේ එකක්. අතහැරෙන වැඩ පිළිවෙලක ඉන්න.
එතකොට මම මේ පින්වතුන්ට බොහොම වටිනා දහම් කොටසක් කියලා දෙන්න යි හදන්නේ. ඒක ඉතා ම ගැඹුරුයි.
Image may contain: one or more people and text

ස්වාක්ඛාතෝ’ කියන වචනය හැදිලා තියෙන්නේ ‘සු’+‘අක්ඛාත’ කියන වචන දෙකෙන්. ‘අක්ඛාත’ කියන්නේ ‘පවසන ලද්දේය.

ස්වාක්ඛාතෝ’ කියන වචනය හැදිලා තියෙන්නේ ‘සු’+‘අක්ඛාත’ කියන වචන දෙකෙන්. ‘අක්ඛාත’ කියන්නේ ‘පවසන ලද්දේය..’. ‘



සු’ කියන්නේ ‘මනාකොට..’ ‘මනාකොට පවසන ලද්දේය..’ ඒ වගේ ‘සු’ යන්න දාලා විශේෂයෙන් අපි කියන දේවල් තියෙනවනේ. ගොඩාක් විශේෂ නම් ‘සුවිශේෂ’ කියනවා. ගොඩාක් සිල්වත් නම් ‘සුසිල්වත්’ කියනවා. හොඳ චරිතවත් නම්, ‘සුචරිතවත්’ කියනවා. ‘ස්වාක්ඛාත’ කියන්නෙත් ඒ වගේ වචනයක් තමයි

අනෙක් සෑම භාෂාවකම මිනිස්සුන්ට අපහාස කරන වචන, නින්දා කරන වචන, නරක වචන තියෙනවා. පාළි භාෂාවේ නෑ. බුද්ධ දේශනා එකකවත් එවැනි වචන නෑ. අර්ථ සහිතයි. ඒ හැම වචනයක්ම තියෙන්නේ සරු අර්ථ. ‘මේ වචනය මෙතැනට වැඩක් නෑ’ කියලා අයින් කරන්න කිසිම වචනයක් නෑ. ඒ නිසා අර්ථ සහිතයි.

“සන්දිට්ඨිකෝ.” සන්දිට්ඨිකෝ කියන්නේ මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකි දෙයක් යන්නයි. මේ ජීවිතයේදීම මේ ධර්මය අවබෝධ කළාම, මේ ජීවිතයේදීම සද්ධානුසාරී වෙනවා. ඊළඟට ධම්මානුසාරී වෙනවා. ඊළඟට සෝවාන් වෙනවා. ඊළඟට සකදාගාමී වෙනවා. ඊළඟට අනාගාමී වෙනවා. ඊළඟට අරහත් වෙනවා. මෛත්‍රී බුදු සසුන වෙනකන් ආනන්තරීය පාපකර්ම පවා විය හැකී අති භයානක සසරට ගසා ගෙන යන්න අවශ්‍ය නෑ .
බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙන්න මේ කියන්නා වූ පියවරවල් මේ ජීවිතයේදීම ඇති කරලා දෙන නිසා ඒ ධර්මයට සන්දිට්ඨිකයි කියලා කියනවා

බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය සන්දිට්ඨික නැත්නම් මනුෂ්‍ය ලෝකයේ කවුරුවත් සෝවාන් වෙන්නේ නෑ. එහෙනම් කවුරුවත් සකදාගාමී වෙන්නෙත් නෑ. කවුරුවත් අනාගාමී වෙන්නෙත් නෑ, කවුරුවත් රහත් වෙන්නෙත් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ පළමුවෙනි දේශනාවෙන්ම කෝටී ගණනක් දෙවි, ඹබුන් ද, මිනිස් ලෝකයේ එක් කෙනෙක් ද සෝවාන් වුණා. උන්වහන්සේගේ දෙවැනි දේශනාවෙන් මිනිස් ලෝකයේ සය දෙනෙක් රහත් වුණා. එහෙම වෙන්නේ මේ ධර්මය ස්වාක්ඛාත නිසයි. සන්දිට්ඨික නිසයි. (මේ ජීවිතයේදීම අවබෝධය ඇති කරලා දෙන නිසයි)

අභිධර්ම පිටකය අසූ හාරදහසක් වන ශ්‍රී සද්ධර්මයෙන් ධර්මස්කන්ධ හතලිස් දෙදාහක්ම අයත් වන්නේ අභිධර්ම පිටකයටයි. මෙහි අන්තර්ගත වනුයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කල ශ්‍රී සද්ධර්මයෙහි ගැඹුරු දහම් කොටස් ය. එම දේශනා ප්‍රධාන කොටස් හතකට බෙදා වෙන්කර ඇත.

ඒවා නම්, ධම්‌මසඞ්‌ගණී ප්‍රකරණය, විභඞ්‌ග ප්‍රකරණය, ධාතුකථා ප්‍රකරණය, පුග්‌ගලපඤ්‌ඤත්‌ති ප්‍රකරණය, කථාවත්‌ථු ප්‍රකරණය, යමක ප්‍රකරණය සහ පට්‌ඨාන ප්‍රකරණය යනාදිය යි. “තථාගතප්‌පවෙදිතො ධම්‌මවිනයො, භික්‌ඛවෙ, විවටො විරොචති, නො පටිච්‌ඡන්‌නො.”

මහණනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘත වූයේ බබලයි. වැසුනේ නො බබලයි.

පිංවත් කල්‍යාණ මිතුර එන්න ඇවිත් බලන්න, මේ සුන්දර ගැටලු රහිත , තර්කයන්ට පූර්ණ අවසර ඇති අති උතුම් අකාලික ධර්ම රත්නය සරණ යන්න. පිළිසරණ කොට ගන්න. යමෙක් ඔබට ධර්මය කාරණාවකට කතා කරයිද ඔහුගෙන් ඔබට ලබාගත හැකි දේ බොහෝ ය.

මෙය යාලුවන් අතරේ බෙදා දී දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානය ඔබත් කරගන්න. ධර්ම දානය මේ තරම් උතුම් වන්නේ කල්පයක් පුරාවටම වහින වැස්සේ වැහි බිදු ගණන කියන්න හැකි විශ්මිත නුවණින් හෙබී සාරිපුත්ත මහාරහතන් වහන්සේටද, සතර පද ගාථාවකින් හෝ බණ පදයක් නොඇසුනී නම් නිවන් දැකිය නොහැකි වන නිසාය.

ඔබද මා ද ඒ උතුම් ධර්ම රත්නයේ සරණ යමූ... ....
උතුම් ධර්මයට අපගේ නමස්කාරය වේවා...!!!

සාධු` සාධු` සාධු`
Image may contain: one or more people, people sitting and text
* 10,000 රහතන් වහන්සේලා වැඩසිටි.යාපනය බෞද්ධ උරුම *

යාපනය ශ්‍රී ලංකාවේ ඉපැරණි බෞද්ධ උරුමය පිළිබඳ තොරතුරු සෙවීමේ දී ඉතා වැදගත් ස්‌ථානයක්‌ ලෙස කන්දරෝඩය පුරාවිද්‍යා ස්‌ථානය හඳුනාගත හැකිය. දෙමළ භාෂාවෙන් කන්දරෝඩෛ වශයෙන් ද, සිංහල ඌරුවට කඳුරුගොඩ වශයෙන් ද මෙම ස්‌ථානය හැඳින්වේ.
මෙම ස්‌ථානය පිළිබඳව ඓතිහාසික මූලාශ්‍ර සපයා ගැනීම දුෂ්කර වේ. මහාවංශය හෝ දීපවංශයේ ද වෙනත් මූලාශ්‍රයක ද මේ නමින් පැරණි විහාරයක්‌ හෝ ස්‌ථානයක්‌ සඳහන් වන්නේ නැත. තත්ත්වය එසේ වන හෙයින් මෙනමින් පැරණි විහාරයක්‌ උතුරු පළාතේ එකල නොපැවතියේය යන මතයට එළඹිය නොහැක. මතුපිට සිටම පැරණි ඉදිකිරීම් සාධක දක්‌නට ලැබෙන හෙයින් මෙහි ප්‍රාරම්භක අවස්‌ථා හා සිදුවීම් ගවේෂණය කල යුතුය.
මහාවංශයට අනුව ක්‍රි. පූ. දෙවන සියවසේ දී දුටුගැමුණු මහ රජතුමා පිළිබඳ ප්‍රවෘත්තියේ එක්‌ තැනෙක පුලිඟු දිවයින යන ස්‌ථානය ගැන කියවෙයි. එය මෙසේය.
මහසෑය තනමින් සිටි දුටුගැමුණු රජතුමා හදිසි රෝගයකින් මරණාසන්නව මහසෑය ද ලෝහ ප්‍රසාදය ද අතර තැනෙක පනවන ලද මරණ මංචකයෙහි සැතපී (ගෝඨාභය) අභය මහ රහතුන් වහන්සේ විසින් සිහිපත් කරන එතුමා විසින් කරනලද පිංකම් වලට ඇහුම්කන් දෙයි. රජතුමා යුද්ධයෙන් පීඩිතව දුප්පත්ව සිටි කාලයේ ඇඹුලක්‌ සහිත තණ බතක්‌ ආහාරය පිණිස පිළියෙල වෙයි. කිසි දිනෙක දන් නොදී නොවැළ» රජු එම තණ බත දන් දීම සඳහා භික්‌ෂූහු ප්‍රාර්ථනා කරයි. ඒ පිළිගැනීම සඳහා භික්‌ෂූහු පස්‌ නමක්‌ වැඩමවති. ඒ අතරින් එක්‌ භික්‌ෂූන් වහන්සේ නමක්‌ වන්නේ තලගුරු වෙහෙරවාසී ධම්මදින්න භික්‌ෂුවය. උන්වහන්සේට දුන් දානය පුලිඟු දිවයිනෙන් වැඩි දස දහසක්‌ භික්‌ෂූන්ට බෙදා දී වැළ» සේක. (මහාවංශය 32 වන පරිච්ඡේදය, 48-56 ගාථා)
මේ අතරින් මහාවංශයේ 32 වන පරිච්ඡේදයේ 51-52 ගාථා අතර පුලිsඟු දිවයින ගැන කියවේ.
මෙම පුලිඟු දිවයින කුමක්‌ද යන්න සොයා බැලිය යුතුය. දිවයිනේ ගොඩබිමෙන් ඔබ්බෙහි සාගරය තුළ පිහිටා ඇති දූපත් නාමාවලි පිරික්‌සීමේ දී ඉහත නාමයට කිසියම් සමානත්වයක්‌ දක්‌වන නාමයක්‌ සොයාගත හැක්‌කේ උතුරු අර්ධද්වීපයට ආසන්නව පිහිටා ඇති දූපත් අතුරිනි. පුංකුඩුතිව් නමින් වර්තමානයේ හඳුන්වන දූපත මෙම නාමයට සමානකමක්‌ දක්‌වයි. එම දූපත යාපනයේ සිට නාගදීපය දෙසට ගමන් කරන මාර්ගයේ දී හමුවෙයි. පුංකුඩුතිව් යන්න සිංහල භාෂාවෙන් පුලිඟු දූපත ලෙස හෝ පුලිඟු දිවයින ලෙස ගත හැකිය.
ඉහත පුංකුඩුතිව් දූපත පුලිඟු දිවයින නමින් එකල හඳුන්වනු ලැබුයේ නම් එම කුඩා දූපතේ දස දහසක්‌ රහතුන් වහන්සේලා වැඩ සිට ඇත් ද යන්න ඊළඟට සොයා බැලිය යුතුය. වර්තමානය වන විට මෙම කුඩා දූපත පුරාවට මතුපිටින් එබඳු සාධකයක්‌ සොයාගත නොහැක. නමුත් තිබී විනාශ වූවා ද යන්න පැහැදිලි නැත. එසේම මෙම දුපතේ වර්තමාන ගොඩබිම් තීරුව හා භූමි ප්‍රමාණය සැලකීමේ දී ද දස දහසකට ප්‍රමාණවත් ජනාවාස සඳහා ඉඩකඩක්‌ දැකිය නොහැක. එසේම භික්‌ෂූන් දස දහසක්‌ දෙනා වහන්සේ සඳහා ප්‍රත්‍ය පහසුව සැපයීම හා අනෙකුත් කටයුතු සඳහා ගිහි ජනතාව ද මෙහි වාසය කළ යුතුය.
නමුත් ඉහත සිදුවීමට පසු කාලීනව මහාවංශය ඇතුළු කිසිදු වංශ කථාවක හෝ වෙනත් මූලාශ්‍රයක පුලිඟු දිවයින යන්න සඳහන් නොවීම හේතුවෙන් මෙහි ගැටලුකාරී තත්ත්වය තවදුරටත් පවතී.
ඉහත සිදුවීමෙන් බොහෝ කලකට පසුව අපට නැවත වරක්‌ ලංකාවේ උතුරු අර්ධද්වීපය පිළිබඳ සටහනක්‌ හමුවෙයි. ඒ වල්ලිපුරම් රන් සන්නසයි. එය අයත් වන්නේ වසභ රජුගේ කාලයටයි. (ක්‍රි.ව. 66-110) එකල එහි සඳහන්ව ඇත්තේ නකදිව යන වචනයයි. නකදිවෙහි පියගුතනිස විහාරය ඉදිකිරීම පිළිබඳ එහි එයි. නකදිව යන්න වර්තමානයේ දෙමල භාෂාවෙන් නයනතිව් හෝ නයිනතිව් ලෙස ද සිංහල භාෂාවෙන් නාගදීපය වශයෙන් ද ව්‍යවහාර වෙයි. එසේම එම සන්නසේ සටහන්ව ඇති 'නකදිව බොජමෙනෙ' යන පාඨය ඉතා විශේෂ වෙයි. ඉන් නාගදීපය පාලනය කරද්දී යන අදහස ගම්‍යමානය. වර්තමාන නාගදීපය මින් අදහස්‌ කළා විය නොහැක. එය ඉතා කුඩා දූපතකි.
ඓතිහාසික මූලාශ්‍රයන් හි එන මෙම නම් දෙකම ගෙන සලකන කල්හි පැහැදිලි කරගත හැකි වන්නේ අදාල යුගයන් හි මෙම නම්වලින් හඳුන්වා ඇත්තේ වර්තමාන උතුරු අර්ධද්වීපයේ යාපනය විය යුතු බවයි. එය තහවුරු කර ගැනීම සඳහා යාපනය යන ව්‍යවහාරයෙහි ඉතිහාසය විමසා බැලීම ද ප්‍රයෝජනවත් වෙයි.
ජයතුංග පරරාජසිංහ නමින් හැඳින්වෙන පාලකයාගේ කාලයේ ලංකාවට පැමිණෙන කවියෙකි. ඔහුගේ නම වීරණාසවන් ය. ඔහු පැමිණෙන්නේ චෝල දේශයේ සිටය. ඔහු සෙංකඩගල පාලනය කළ රජු වෙත කාව්‍යමය ප්‍රශස්‌තියක්‌ ප්‍රබන්ධ කර ගායනා කරයි. ඔහු අත වීණාවකි. ඉතා දක්‌ෂ ලෙස ද මිහිරියාවෙන් ද පරිපුර්ණව ගායනා කළ ප්‍රශස්‌තියෙන් පිනා ගිය රජු ඔහුට ත්‍යාගයක්‌ වශයෙන් ලංකාවේ යාපනය ප්‍රදේශය පවරා දෙනු ලැබෙයි. රජු එම දේශය වීණාධාරී කවියා යන අරුතින් යුතු යාල්පානම් නමින් හඳුන්වයි. යාල් යනු වීණාවයි. පානම් යනු කවියයි. මෙම වචන දෙක එකට බැඳී එතැන් පටන් මෙම ප්‍රදේශය යාල්පානම් බවට පත් වෙයි. ඒ වන විට මෙම ප්‍රදේශය මාණ්‌නත්තිඩල් නමින් හඳුන්වා ඇත. එහි අරුත වැලි ගොඩ යන්නයි.
ඉහත තොරතුරු අනුව මෙම ප්‍රදේශය වරින් වර විවිධ නම්වලින් හඳුන්වා ඇති බව පැහැදිලිය. ඈත ඉතිහාසයේ පුලිඟු දිවයින, අනතුරුව නකදිව, ඉන්පසුව මාණ්‌නත්තිඩල්, යාල්පානම් හෙවත් යාපනය ආදී නම් ඒ අතරින් මතු වී පෙනෙයි.
ඉහත තර්කයට අනුව මහාවංශයේ සඳහන් පුලිඟු දිවයින වත්මනේ හඳුන්වන යාපනය වන කල්හි කන්දරෝඩය ක්‍රි. පූ. දෙවන සියවස දක්‌වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියයි. මහාවංශයේ සඳහන් තොරතුරු කිසියම් ප්‍රමාණයකට අතිශයෝක්‌තියෙන් යුක්‌ත විය හැකිය. නමුත් එය මුළුමනින්ම ප්‍රතික්‌ෂේප කර බැහැර කළ හැකි තත්ත්වයක්‌ නොවේ. කිසියම් ප්‍රමාණයකට ඉන් ලැබෙන පිටුබලය ප්‍රයෝaජනයට ගනිමින් මෙහි ඇති ස්‌මාරක හා ඒවායේ ස්‌වභාවය සැලකිල්ලට ගත් කල එකල පුලිඟු දිවයිනේ ප්‍රධාන විහාරස්‌ථානයක්‌ ලෙස කන්දරෝඩෛ ස්‌ථානය පැවති බව විශ්වාස කළ හැකිය. එය මහාවංශයෙහි සඳහන් දුටුගැමුණු රජ දවසට අයත් තලගුරු වෙහෙර හෝ වසභ රජු දවස ඉදිකෙරුණු පියගුකතිස වෙහෙර (විහාරය) විය හැකිය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උතුරු පළාතේ සිදුකොට ඇති කැණීම් අනුව මහින්දාගමනයට පෙර සිටම මෙම ප්‍රදේශයේ බෞද්ධ භික්‌ෂූන් වහන්සේ වැඩ සිටි බව පැහැදිලිය. මාන්තායි හා කන්දරෝඩෛ පුරාවිද්‍යා ස්‌ථාන වලින් ලැබෙන සාධක අනුව ක්‍රි. පූ. පස්‌වන සියවසට අයත් පාත්‍රා කැබලි හඳුනාගෙන තිබේ. ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ මතය අනුව ඒවා භික්‌ෂූන් විසින් පරිහරණය කරන ලද පාත්‍රා කැබලි වෙයි. ඒ අනුව බුද්ධ කාලයේ සිටම මෙම ප්‍රදේශයේ භික්‌ෂූන් වහන්සේලා වැඩ සිට ඇත.
ජනප්‍රවාදයට අනුව මෙම ස්‌මාරක ස්‌ථානය බුදුන් වහන්සේ විසින් ද පරිහරණය කර ඇත. චූලෝදර, මහෝදර නා රජුන් අතර හට ගැනුණුq අර්බුධය විසඳීම සඳහා ලක්‌ දෙරණට අනාරාධිතව වැඩමවන උන්වහන්සේ එම ගැටුම විසඳාලයි. මෙසේ බුදුන් වහන්සේ වැඩම වන්නේ නාගදීපයටයි. (මහාවංශය - හික්‌කඩුවේ සුමංගල බටුවන්තුඩාව, පළමු පරිච්ඡේදය 45 වන ගාථාවේ සිට 70 ගාථාව දක්‌වා) මණිඅක්‌ත නා රජුගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ ලක්‌දිවට වැඩම කර මෙම භූමියෙහි පූජාසන ස්‌ථාන සමාධි සුවයෙන් ස්‌පර්ශ කරති. (මහාවංශය - පළමු පරිච්ඡේදය 71 ගාථාවේ සිට 84 ගාථාව දක්‌වා)
ඒ අනුව මහාවංශයේ කොතැනක හෝ බුදුන් වහන්සේ මෙම ස්‌ථානයෙහි වැඩසිටි බවක්‌ සඳහන් නොවෙයි. එබැවින් ඉහත ජනප්‍රවාදය හුදු ප්‍රවාදයක්‌ පමණි. නමුත් උතුරු පළාතේ යාපනය එකල නාගදීපය නමින් හැඳින්වූයේ නම් මහාවංශයට අනුව බුදුන් වහන්සේ උතුරු පළාතට වැඩම කොට ඇත.
ජනප්‍රවාදයේ එන තවත් ප්‍රවෘත්තියකට අනුව මෙම ප්‍රදේශයේ විහාරස්‌ථානයක්‌ විය. එහි වැඩ සිටි රහතුන් වහන්සේ හැටනමකට වස කවා මරණයට පත්කරනු ලැබෙයි. ඉන්පසු උන්වහන්සේ කෙරෙහි පැහැද සිටි බෞද්ධ දායකයින් විසින් ඒ සැට නමක්‌ රහතුන් වහන්සේගේ ධාතු නිධන් කොට මෙම ස්‌ථානයේ චෛත්‍ය සැටක්‌ කරවා ඇත.
එයද මූලාශ්‍ර රහිත ප්‍රවාදයකි. එසේම මෙහි ඇති චෛත්‍ය ප්‍රමාණය සැට ඉක්‌මවා යයි.
ක්‍රි. ව. නමය සහ දහය සියවසට අයත් හතරවන කාශ්‍යප රජතුමා (ක්‍රි.ව. 898-915) විසින් මෙම විහාරයට කරන ලද ප්‍රදානයක්‌ පිළිබඳ මෙම ස්‌ථානයේ පිහිටුවා තිබී කැණීම්වලින් සොයාගන්නා ලද අත්තානි කණුවක සඳහන් වෙයි. එම අත්තානි ටැම් ලිපිය මෙම විහාරය ක්‍රි. ව. දහවන සියවස දක්‌වාම ස්‌ථාවරව පැවති බවට කදිම සාක්‌ෂියකි.
මෙම ස්‌ථානය ආශ්‍රිතව කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් මතුකර ගැනුණු සාධක මෙහි ඉතිහාසයට හා මෙය බෞද්ධ විහාරස්‌ථානයක්‌ බවට ප්‍රමාණාත්මක සාධක සපයනු ලැබෙයි.
විවිධ ප්‍රමාණයේ ස්‌ථූප හැටහතරක්‌ පමණ පිහිටි සාධක සහිත මෙම භූමිය මධ්‍යයේ වටදාගෙයක සාධක දැකිය හැකිය. ඊට අමතරව ආරාමගෘහයක නටබුqන් ද මතුපිට පොළොව මට්‌ටමෙන් ඉහළට එසවුණු ගල්කණු සහිතව දක්‌නට ඇත. මෙම භූමිය තවදුරටත් කැණීම් කළහොත් මෙම බෞද්ධාරාමයට අදාළ තවත් සාධක බොහෝමයක්‌ මතුකර ගත හැකිවනු ඇත. පවතින සාධක අනුව ඇතමෙක්‌ මෙය මෙම පළාතේ වැඩ සිටි මහතෙරුන් වහන්සේලාගේ භෂ්මාවශේෂ නිධන් කළ සුසානයක්‌ වශයෙන් සලකනු ලැබෙයි. එම මතය අනුව සලකන කල්හි මෙය උතුරු පළාතේ බෞද්ධ විහාරාරාම පිළිබඳ කදිම උදාහරණයකි. යාපනය අර්ධද්වීපය පුරාවට පිහිටා තිබුණු වෙහෙර විහාරස්‌ථානවල වැඩසිටි භික්‌ෂූන් වහන්සේ සහ උන්වහස්‌සේලා කෙරෙහි පැවති තත්ත්වයන් ද මින් විද්‍යමාන වෙයි.
අනුරාධපුර යුගයේ ලංකාවේ අනෙකුත් ප්‍රදේශයන්ට සමාන තත්ත්වයක උතුරු අර්ධද්වීපය පැවති බවටත් විශාල වශයෙන් බෞද්ධ ජනතාවක්‌ මෙම ප්‍රදේශයේ වාසය කොට ඇති බවටත් මෙම ස්‌මාරක භූමිය දෙස්‌ දෙයි. ක්‍රි. ව දහතුන් වන සියවසේ යාපනය ඇතුළු උතුරේ බොහෝ ප්‍රදේශ හින්දු ආගමික බලපෑමට නතුවීමත් සමග මෙහි බෞද්ධ පරිසරය මැකී යන්නට ඇත.
කෙසේ වෙතත් මෙම විහාරස්‌ථාන වල අයිතිය සිංහල බෞද්ධ උරුමය ලෙස එකහෙළා සැලකීම නුසුදුසුය. බොහෝ දෙමළ බෞද්ධයින් අනුරාධපුර යුගයේ සිටි බවට ශිලාලේඛණ සාධක පවා සොයාගෙන තිබේ. (අභයගිරිය දීඝපාෂාණ දමෙඩගණපති සෙල්ලිපිය) ඒ අනුව බෞද්ධ උරුමය ජාතිභේදයෙන් තොරව සමසේ බෙදා ගැනීම සඳහා මෙම ස්‌මාරකය මහෝපකාරී වනු ඇත.

යාපනය බෞද්ධ උරුමයට

සාධක සපයන කන්දරෝඩය
පී. ජී. වික්‍රමසිංහ
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය -
Image may contain: grass, outdoor and nature