Thursday, April 26, 2018

"අයසාච මලං සමුට්ඨිතං තදුට්ඨාය තමෙව මාදති"

"අයසාච මලං සමුට්ඨිතං 
තදුට්ඨාය තමෙව මාදති"

යකඩයෙන්ම හටගත් මලකඩ ඒ යකඩය පුරාම පැතිරී ගොස් එය විනාශ කර දමන බව එම ගාථා පදවලින් පැහැදිලි වෙනවා. එමෙන් සමහර උදවිය තමන්, තමන්ගේ ජීවිතයට මලකඩක් වී තමන් ම විනාශයට පත්වෙනවා.

අපේ ජීවිතවල මල බැඳෙන, මල අල්ලන කරුණු කීපයක් ඉහත සඳහන් කළ ගාථාවලින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා.

මෙහි සඳහන් පළමු ගාථාවෙන් පෙන්වාදෙන්නේ නිතර නිතර භාවිතා නොකිරීමෙන් යම් යම් කරුණු අමතකව යනවා, එය හරියට අපේ මතක ශක්තියට මල බැඳුනා හා සමානයි. මන්තර, ගාථා, ශ්ලෝක කවි ආදිය වරක් දෙවරක් කියවූවට ඒවා මතක තබා ගැනීම අපහසුයි. එම නිසා එම මන්තර ගාථා ආදිය නිතර නිතර භාවිතා කළ යුතුයි. ළමා කාලයේ දී අපි භාවිතා කළ කවි, ගාථා ආදිය තවමත් අපට මතක තිබෙන්නේ ඒවා නිතර නිතර භාවිතා කරන නිසයි. ඇතැම් දේවල් අමතකව ඇත්තේ නිතර ඒවා භාවිතා නොකිරීම හේතුවෙනි. කවි, ගාථා, පිරිත් සූත්‍ර ආදිය නිතර නිතර භාවිතා නොකිරීමෙන් ඒවා සියල්ල අමතකව යනවා.

බුද්ධ කාලයේ වැඩ සිටිය හාමුදුරුවන් වහන්සේ නමක් තමයි. ලාලුදායි තෙරුන්වහන්සේ, දිනක් මුන්වහන්සේ සැරියුත් මුගලන් දෙනමගෙන් බණ අසා උන්වහන්සේලාගේ ගුණ කියමින් යන පිරිසක් මුණ ගැසුනා. ඒ අයට මේ හාමුදුරුවෝ කියනවා. සැරියුත්, මුගලන් දෙනටම විතරක් නොවෙයි මටත් හොඳට බණ කියන්න පුළුවන් කියල. ඒ මිනිස්සුත් හිතුවා එහෙනම් මේ හාමුදුරුවොත් දක්ෂ ධර්ම කථිකයෙක් වෙන්න ඇති මුන්වහන්සේටත් බණ කියන්න ආරාධනා කරන්න ඕනෑ කියලා. මේ විදියට සිතා මේ අය ලාලුදායි හාමුදුරුවන් වහන්සේට බණ දේශනාවක් සඳහා ආරාධනා කළා. මේ හාමුදුරුවන් වහන්සේත් ඒ නියමිත දවසේ ධර්ම ශාලාවේ පනවා තිබූ ආසනයට වැඩම කර බණ දේශනා කරන්න පටන් ගත්තා. නමුත් ගාථා එකක් වත් මතක නැතිව වැඩ සිටිය, මිනිසුන් කළබල වුණා. මේ හාමුදුරුවෝ කියනවා. පින්වතුනි! මම හෙට බණ කියන්නමි අද බැහැ කියලා. පසු දිනත් එසේම බණ කියන්න ගොස් ගාථා අමතකව බණ කියන්න නොහැකි වුණා. මෙහෙම කීපවරක්ම ලාලුදායි හාමුදුරුවන්ට බණ කියන්න බැරි වුණ පුවත බුදුරජාණන් වහන්සේටත් දැන ගන්න ලැබුණා. එතනදී බුදුරජාණන් වහන්සේ ඉහත දැක් වූ ගාථා දේශනා කරමින් නිතර නිතර භාවිතා නොකිරීම නිසා උන්වහන්සේට බණ දේශනා කරන්න නොහැකි වුනු බව වදාළා. එමෙන්ම, පින්වතුනි තවත් අපේ ජීවිතවලට බැඳෙන මලකඩ වර්ග කීපයකුත් එම ගාථාවලින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ අනුව තවත් මල බැඳෙන දෙයක් වන්නේ, තම ගෙදර දොර වල අපිරිසුදු කමයි. එය සිදුවන්නේ උනන්දුව උත්සාහය අඩුවීමයි. නිවෙස් හා අවට පරිසරය පිරිසුදු නොවීමෙන් ඒ සැමට මල බැඳුනා හා සමාන වෙයි. එයට ප්‍රධාන හේතුව ඒ ගෙවල්වල සිටින අයගේ උනන්දුව අඩුවීමයි. ඊළඟට පෙන්වා ඇත්තේ, තම ශරීර වර්ණය රැක ගැනීමට යමෙක් කම්මැලි වීම ශරීරය මලබැඳීමක් වීමයි. දිනපතා දත් මැදීම, මුහුණ සේදීම, ස්නානය කිරීම අත්‍යවශ්‍යයි. යම්කෙනෙක් ඒ සඳහා අලසකමක් කම්මැලිබවක් දක්වන්නේ නම් එය ඔහුගේ සිරුරට මලකඩ එකතු කර ගත්තා හා සමාන වේ. මීළඟට දක්වා ඇත්තේ, යමක් ආරක්ෂා කරගන්නාට පමාවීම මල කඩක් වන බවයි. යම් යම් ආරක්ෂා කරගත යුතු දේවල් රැක ගැනීමට ප්‍රමාදවීමෙන් ඒවා විනාශ වීමට අහිමි වීමට හේතුවෙයි. එයත් මල බැඳීමක් හා සමාන වෙයි.

දෙවෙනි ගාථාවෙන් පෙන්වා දී ඇත්තේ දුසිරිතෙහි යෙදීම ස්ත්‍රීන්ට මලකඩක් වන බවයි. යම් ස්ත්‍රියක් වැරදි ක්‍රියාවල යෙදෙමින් දුෂ්චරිතවත් ජීවිතයක් ගත කරයි ද, ඇය සමාජයෙන් පිළිකුල් කරයි. ඒ නිසාම ඇගේ ජීවිතයට කිලුටක්, මල බැඳීමක් සිදුවේ. එබැවින් කාන්තා පක්ෂය හැකිතාක් දුරට සුචරිතවත් වීමට සිතට ගත යුතුයි. යමක් යමෙකුට දීමට නොහැකිවීම මසුරු කමයි. ලෝභ කමයි. එයත් විශාල මලකඩක්, මසුරුකම් අතහැර දීමනාව පුරුදු පුහුණු කළ යුතුයි. එය දෙලොවම යහපතට හේතුවෙයි.

මෙම ගාථාවලින් පෙන්වා දී ඇති මලකඩ වර්ග අතහැර නිර්මල ජීවිත ගත කිරීමට අදිටන් කර ගනිමු.Image may contain: 1 person, text

‍

පින්වතුනේ බුදු කෙනෙක් ගැන අල්පමාත්‍රයක් හරි සිතේ ප්‍රසාදයක් ඇති කර ගත්තොත් ඒක පුංචි දෙයක් නෙවෙයි එය අපේ ජීවිතයට ලොකු ජයග්‍රහණයක්. පින්වතුනි ඒකට තිරිසන් සතුන්ටත් කලාතුරකින් වාසනාව ලැබෙනවා. හැබැයි පුදුමයි සමහරු මිනිසුන් වෙලත් ඒ වාසනාව නෑ.ඉතින් බුදු රජාණන් වහන්සේ දැකලා සිතේ සතුටක් ඇති කර ගත් දියකාවෙක් ගැන කතාවක් තමයි දැන් කියලා දෙන්නේ.

පින්වතුනි මේ සිද්ධිය සිද්ධ වුණේ කල්ප අනූදෙකකට කලින් ඒ කාලේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා හිටියා " තිස්ස" නමින්. ඉතින් තිස්ස නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය අහලා දෙව් මිනිසුන් කෙළෙස් ගිනි නිවා ගත්තා. ගත වෙලා ගිය සුන්දර කාල පරිච්ඡේදයක්. ඒ තිස්ස නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු.

මේ කාලයේ දී පින්වතුනි එක්තරා විලක් තිබුණා හරිම ලස්සනයි නොයෙක් ජලජ පුෂ්පයන්ගෙන් පිරිලා තිබුණා ඒ වගේම ජලයේ ජීවත් වන නොයෙක් මසුන් ඇතුළු සතුන්ගේ හොඳ වාසස්ථානයක් වෙලා තිබුණා. ඒ වගේම ආහාර සොයා එන පක්ෂීන් ඇතුළු සතුන්ගේ ප්‍රියතම ස්ථානයක් වුණා. පින්වතුනි එක්තරා දවසක බුදු රජාණන් වහන්සේ මේ විල දෙසට අහසින් වඩිනවා විලේ හිටපු දියකාවෙක් දැක්කා. මේ දියකාවට හරි පුදුමයි.මීට කලින් අහසින් යන සතුන් ඕන තරම් දැකල තියෙනවා. නමුත් මේ තැනැත්තා එහෙම නෙවෙයි හරිම වෙනස් කලබලයෙන් අත් තටු සලමින් ඉගිලෙන කෙනෙක් නෙවෙයි. කුඩා ශරීරයක් ඇති කෙනෙකුත් නෙවෙයි. නපුරු පෙනුමක් ඇති කෙනෙකුත් නෙවෙයි. කාටවත් හිරිහැරයක් ඇති කෙනෙකුත් නෙවෙයි. හරිම ලස්සනයි බබලනවා.තමන්ට උදව් කරන්න එන කරුණාවන්ත කෙනෙක් විය යුතුයි කියලා මේ දියකාවට හිතුනා. ඉතින් පින්වත්නි හරිම ආශ්චර්යක් වෙන කවදාවත් නැති විදියට මේ සතාගේ සිත බුදු රජාණන් වහන්සේ නිසා ප්‍රීතියට පත් වෙලා. මේ දියකාවා පීනගෙන ගිහිල්ලා තමාගේ තුඩින් නෙලුම් මලක් කඩා ගෙන ගිහින් බුදු රජාණන් වහන්සේට යොමු කෙරුවා පූජා කෙරුවා. බලන්න පින්වතුනි බුද්ධ පූජාවක අසිරිය කෙතරම්ද? ඊටපස්සේ මේ දියකාවා මරණින් මත්තෙහි ඒ පිනෙන් දෙව්ලොව ඉපදුනා. ගෞතම බුද්ධ ශාසනය තෙක් අපායේ ගියේ නෑ. මෙයින් හැත්තෑතුන් වන කල්පයේ මනුස්ස ලෝකයේ සක්විති රජ වුණා. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේදී දඹදිව ඉපදිලා මහණ වෙලා උතුම් අරහත්වයට පත් වුණා. ඒ තමයි" නළිනකෙසරිය" මහ රහතන්වහන්සේ. පින්වතුනේ උන්වහන්සේ තම අතීත සංසාරයේ කරපු පින්කම් පිළිබඳව විමසන විට තමයි මේ දියකාවෙක් වෙලා කරපු පින්කම දැක්කේ.ඉතින් පින්වතුනි අපි මෙහිදී කල්පනා කර බැලිය යුත්තේ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය කොතරම්ද? ඒ භාග්‍යවතුන් වහන්සේ මගේ නේද කියලා කියන්නට උපතින්ම අප ලද වාසනාව කෙතරම්ද? අනේ මේ පැහැදීම ස්ථීර කර ගන්නට ඇත්නම් (සෝතාපන්න වීමට) කෙතරම් අගනේද? එයට අපිට ඇති බාධක මොනවාද? කියලයි. පින්වතුනි අනාගත ලොකය ධර්මයේ හැසිරෙන්නට සුදුසු තැනක් නොවේ.ඉතින් ඒ අනාගත බිය දැකලා අප්‍රමාදීව කුසල් වැඩීමයි කළ යුත්තේ. ඒ සඳහා හැම දෙනාටම ශක්තිය වාසනාව ලැබේවා.

තෙරුවන් සරණයි!
Image may contain: 1 person, text

හටගත් සැණින් දුරුකළ යුතු ක්‍රෝධය...


හටගත් සැණින් දුරුකළ යුතු ක්‍රෝධය...

" රජතුමාගේ සිත ඒ නාටක ස්ත්‍රිය වෙත ඇදී ගියා. ඔබ ඇය කෙරෙහි වෛර බැඳ ගත්තා. ඇයට ඊර්ෂ්‍යා කළා. ඇයට දුකක්, වේදනාවක් දීමට සිතා ඔබ කහඹිලියා ගෙඩි ගෙනැවිත් කුඩු කොට ක්‍රීඩා කරන විලසින් ඇයගේ ඇඟේ තැවරුවා. හොර රහසේ ම ඈ සැතපෙන යහනේ කහඹිලියා තැවරුවා. ඒ නාටක ස්ත්‍රියගේ සිරුරේ කහඹිලියා කුඩු වැදුණ විගස කසන්නට පටන් ගත්තා."

බුදුරජාණන් වහන්සේ අපගේ සිත දියෙන් ගොඩ දැමූ මාළුවෙකුට උපමා කළා. ඒ සිත නිරන්තරයෙන් අරමුණුවල ඇලෙමින් සහ ගැටෙමින් පවතින නිසයි.

එවන් ස්වභාවයෙන් යුතු අපේ සිත් තුළ විවිධාකාර සිතිවිලි හට ගනී. කුසලයත්, අකුසලයත් හට ගනී. කුසල් සිතක් හටගත් විට අපි පින් රැස් කර ගනිමින් බොහෝ යහපත් දේ කරමු. අකුසල් හට ගත් විට අයහපත් දේ කරමින් බෙහෝ පව් රැස් කරමු. මේ සංසාර ගමනේ අප කුසල්, අකුසල් දෙකම සිදුකර ඇත. කුසලයේ විපාක ලෙස සැපත්, අකුසල් විපාක ලෙස දුකත් උරුම වේ. ඒ ආකාරයට කළ අකුසල විපාක ඉස්මතු වී බොහෝ දුක් විඳි කුමාරිකාවක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි යුගයේ ජීවත් වුණා.

දිනක් අනුරුද්ධ මහරහතන් වහන්සේ පන්සියයක් භික්ෂුන්වහන්සේ සමඟ කිඹුල්වත් නුවරට වැඩම කළ සේක. උන්වහන්සේගේ වැඩම කිරීම ගිහි කළ ඥාති පිරිසට ආරංචි වුණා. සියලු දෙනා උන්වහන්සේ වන්දනා කිරීමට පැමිණියා. නමුත් ඒ පිරිස අතරේ අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ ගිහි කල නැගණිය සිටියේ නැහැ. අනුරුද්ධ මහරහතන් වහන්සේ විමසනවා,

”පින්වත් ඤාතිවරුනි, අපේ රෝහිණී නැගෙණිය කෝ? ඇය වෙන නගරයකට ගිහින්වත් ද?”

”ස්වාමිනි, ඇය නිවසේම යි සිටින්නේ. ඇයට ඔබ වහන්සේ වන්දනා කිරීමට පැමිණීමට අපහසුයි. ස්වාමිනි, ඇය දරුණු කුෂ්ඨ රෝගයකින් දුක් විඳිනවා. මුළු ශරීරය පුරා ම එය පැතිරී ගොස් මහත් වේදනාවකින් ඇය පෙළෙනවා. මුලු දවස පුරාම ඇය නිවසේ ම යි වාසය කරන්නේ”.

”ඥාතිවරුනි, ඇය මා අසළට කැඳවාගෙන එන්න”.

එවිට රෝහිණී කුමාරිය මුළු ශරීරයම රෙද්දකින් වසාගෙන තෙරුන් වහන්සේ වෙත පැමිණියේ ය. වන්දනා කොට අනුරුද්ධ මහරහතන් වහන්සේ ඉදිරියේ හඬන්නට වුණි.

”අනේ ස්වාමිනි, මට හරිම අපහසුයි. මේ කුෂ්ඨ රෝගය නිසා මුළු ඇඟම දනවා. කසනවා. කිසි පහසුවක් නැහැ. එළියට බසින්න අපහසුයි.”

”නැගෙණියනි, ඔබ මේ සඳහා පින් කිරීමට උත්සාහ කළ යුතුයි නේද?”

”ස්වාමිනි, මම මොන වගේ පින්කමක් ද කළ යුත්තේ?”

”නැගෙණියෙනි, ඔබ පළඳින කන කර ආභරණ තිබෙනවා ද?’’

”රන් කහවණු දස දහසක් පමණ වටින ආභරණ මා සතුව තිබෙනවා.”

”එසේනම් ඔබ ඒ ආභරණ විකුණන්න. සංඝයා උදෙසා ආසන ශාලාවක් කරන්න. මේ කාලය තුළ මමත් මේ නගරයේ ම වැඩ වාසය කරමින් ඔබට උදව් කරන්නම්. ඔබ දෙමහල් ශාලාවක් කරවන්න. එහි උඩුමහල තැනූ පසු ඔබ උඩුමහලට ගොස් නිතර බිම අමදින්න. සංඝයා උදෙසා අසුන් පනවන්න. නිතර පැන් කළ තබන්න. උපස්ථාන කරන්න.”

”එසේය ස්වාමිනි”, කියා රෝහිණී කුමරිය තම ආභරණ විකුණා දෙමහල් ශාලාවක් ඉදි කරවූවා. එහි යට මහලට නිතර නිතර ගොස් බිම ඇමදුවා. ආසන පැනෙව්වා. භික්ෂුන් වහන්සේලා ඒ ආසනවල වැඩ සිටියා. ඇය තම ශ්‍රමය යොදා ඒ ශාලාව අමදින විට සමේ රෝගය මැළ වී ගියා. ආසන ශාලාව නිමවා බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට ආරාධනා කොට ශාලාවෙහි වඩාහිඳුවා දන් පැන් පූජා කළා. බුදුරජාණන් වහන්සේ අනුරුද්ධයන් වහන්සේ දෙස බලා,

”අනුරුද්ධය, මේ කවරෙකුගේ දානයක් ද?”

”ස්වාමිනි, මේ මාගේ නැගෙණිය වන රෝහිණි විසින් පූජා කරන දානයක්. ඇය සමේ රෝගයකින් බොහෝ සේ පීඩා විඳිමින් සිටින්නේ”

”පින්වත් අනුරුද්ධ නැගෙණියට එන්න කියන්න.”

එවිට රෝහිණී කුමරිය ශාස්තෘන් වහන්සේ අසළට පැමිණ වැඳ නමස්කාර කොට එකත්පස සිටියා.

”රෝහිණි, ඔබ දන්නවා ද? මෙසේ සමේ රෝගයක් හට ගත්තේ ඇයි? කියා.

”අනේ නැහැ ස්වාමිනි, එහෙම හේතුවක් සොයා ගන්නට නැහැ. ආහාර පානාදියෙන් වස විෂක් වුණෙත් නැහැ. වෙනත් විශේෂ ආහාරයක් ගත්තෙත් නැහැ. හේතුවක් නැතිව කැසීමට පටන් ගෙන මුළු ශරීරය පුරා පැතිරුණා. බෙහෙත් කළ ද ගුණයක් නම් ලැබුණේ නැහැ. ඒ නිසා මෙයට හේතුවක් මම නො දනිමි.”

”රෝහිණි, ඔබගේ රෝගයට හේතුවක් තිබෙනවා. පෙර ආත්මයක ඔබේ සිතේ හටගත් ක්‍රෝධය යි එයට හේතුව. පෙර ආත්මයක දී ඔබ බරණැස් රජුගේ අග්‍ර මහේෂිකාව වී සිටියා. එදා එරට ඉතා රූපවත් නාට්‍යාංගනාවක් සිටියා. රජතුමාගේ සිත ඒ නාටක ස්ත්‍රිය වෙත ඇදී ගියා. ඔබ ඇය කෙරෙහි වෛර බැඳ ගත්තා. ඇයට ඊර්ෂ්‍යා කළා. ඇයට දුකක්, වේදනාවක් දීමට සිතා ඔබ කහඹිලියා ගෙඩි ගෙනැවිත් කුඩු කොට ක්‍රීඩා කරන විලසින් ඇයගේ ඇඟේ තැවරුවා. හොර රහසේ ම ඈ සැතපෙන යහනේ කහඹිලියා තැවරුවා. ඒ නාටක ස්ත්‍රියගේ සිරුරේ කහඹිලියා කුඩු වැදුණ විගස කසන්නට පටන් ගත්තා. මුළු සිරුර පුරා පළු දැම්මා. ඇය හඬ හඬා ගොස් යහනේ වැතිරුණා. යහනේ තවරා තිබු කහඹිලියා නිසා ඇයගේ අසනීපය තව තවත් වැඩිවුණා. ඈ බොහෝ සේ දුක් වින්ඳා.”

”රෝහිණි, එදා අගමෙහෙසිය වශයෙන් සිට ඔබ, කළ දේ ඔබට බොහෝ විපාක ගෙන දෙමින් බොහෝ දුක් වින්ඳා. එහි අවසන් විපාකය යි මෙසේ විඳින්නේ. මෙය ඔබ විසින් ම කරගත් දෙයක්. එනිසා අද පටන් අල්පමාත්‍ර වූ ක්‍රෝධයක් ඉරිසියාවක් හෝ වෛරයක් හටගත් විගස එය වහා දුරු කිරීමට වීර්යය කරන්නැයි” අවවාද කරමින් බුදුරජාණන් වහන්සේ ඉතා මධුර ස්වරයෙන් මේ ගාථාව වදාළා.

කෝධං ජහේ විප්පජභෙය්‍ය මානං
සඤ්ඤෝජනං සබ්බමතික්කමෙය්‍ය
තං නාමරූපස්මිං අසජ්ජමානං
අකිඤ්චනං නානුපතන්ති දුක්ඛා

ක්‍රෝධය දුරු කරන්නට ඕනෑ. විශේෂයෙන් මානය දුරුකළ යුතු දෙයක්. සංසාර බන්ධන සියල්ලම ඉක්මවා යන්නට ඕන. නාමරූප දෙකේ නො ඇලෙන, නිකෙලෙස් පුද්ගලයා පිටුපසින් දුක හඹාගෙන එන්නේ නැහැ.

ඒ මොහොතේ ක්‍රෝධ නො කිරීම, නිහතමානීව සිටීම, මෙත්සිත පැතිරවීම ආදියෙහි වටිනාකම සියලුදෙනාටම වැටහුණා. මේ කෙලෙස් බන්ධන නිසා සංසාරයෙහි නොයෙක් දුක් විඳින්නට සිදුවන බව තේරුණා. කිසිවකට නො ඇලී, නො බැඳී සිටීමේ වටිනාකම තේරුණා. දේශනාව අවසානයේ බොහෝ දෙනෙක් සෝවාන් ආදී මාර්ගඵලයන් ලබා ගත්තා. රෝහිණී කුමාරියත් සෝවාන් ඵලයට පත්වුණා. ඒ මොහොතේ ම ඇයගේ ශරීරයේ සියලු රෝග කැළැල් නැතිවුණා. රන්වන් පාටින් දිළිසුණා. ඇය දිගටම මෛත්‍රී භාවනාව පුරුදු කළා. දයාව, කරුණාව පැතිරුවා. මිනිස් ලොවින් චුත වී තව්තිසා දෙව්ලොව උපන්නා.

එනිසා බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට අපගේ සිතට අකුසල් ඇතුලුවීමට නොදී ඉතා හොඳින් ආරක්ෂිතව සංවිධානය කළ නගරයක් වගේ ආරක්ෂා කරගත යුතුයි. සිත කිලුටු වුණොත් කිලුටු සිතින් කියන, කරන දේ කරත්තේ බැඳි ගොනා පසුපස එන රෝදය වගේ ඒ පුද්ගලයාගේ පසු පස්සේ එනවා. ඒ වගේම පිරිසුදු වූ කුසල් සිතින් කරන කියන දේ තමා හැර නො යන සෙවනැල්ල සේ පසුපසින් පැමිණ ජීවිතයට සැපය, යහපත සැනසිල්ල සලසා දෙනවා.

ඒ නිසා අකුසල්වලින් සිත වළකාගෙන ජීවිතය සැපවත් කරන උතුම් කුසල් නිතර නිතර රැස් කිරීම අප හැම දෙනා විසින් නො පමාව කළයුතු වෙනවා.

පොල්ගහවෙල 
මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
Image may contain: 10 people, text

බුදු රදුන්ගේ ශ්‍රී දේහයට ගිනි අවුළවන්න මල්ල රජදරුවන්ට නොහැකි වුණේ ඇයි?

බුදු රදුන්ගේ ශ්‍රී දේහයට ගිනි අවුළවන්න මල්ල රජදරුවන්ට නොහැකි වුණේ ඇයි?
.

ලොව පහළ වූ සියලුම බුදුවරුන් අතරෙන් අල්ප ආයුෂ ප්‍රමාණයක් වැළැඳූ බුදුවරයකු වන්නේ ලොව්තුරා අමා මෑණී අප ගෞතම බුදු පියාණන් වහන්සේය. ගිහිගෙයින් නික්මී දුෂ්කර ක්‍රියා කොට, පසුව මැදුම් පිළිවෙත අනුගමනය කළ උන්වහන්සේ ලෝ සතුන් දුකින් මුදා ගැනීමේ අරමුණින් සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. සම්මා සම්බුද්ධත්වයට පත් වූ ගෞතම බුදු රදහු අසූ වැනි වියට එළැඹෙන තුරුම භික්‍ෂු ශාසනය ව්‍යාප්ත කරමින් දුක් සයුරේ ගිලුණු ලෝක සත්ත්වයා දුකින් මුදාලූහ.
ලක්‍ෂ සංඛ්‍යාත දෙව්, බඹුන්, මිනිසුන්, සත්ත්වයන් සසර දුකින් මුදාලූ අප තථාගතයාණන් වහන්සේගේ අවසන් කාලවකවානුව එළැඹියේ අසූ වැනි වියට වැඩමවීමත් සමඟයි. දිනක් බේළුව නම් වූ ග්‍රාමයේ වස් සමාදන් වූ බුදු රදුන්ට “ලෝහිතපක්ඛන්දිඛා” නම් වූ දරුණු රෝගය වැලඳිණි. අසීමාන්විත වූ සමාපත්ති බලයෙන් එම දරුණු රෝගය තාවකාලිකව යටපත් කරගත් උන්වහන්සේ වස් පවාරණය කොට බේළුව ගමේ සිට සැවැත්නුවර දෙව්රම් වෙහෙර බලා වැඩම කළ සේක. එහි වැඩම කළ බුදු පියාණෝ උන්වහන්සේගේ අනුගාමික භික්‍ෂුන් වහන්සේ රැස් කොට “මහණෙනි, තව නොබෝ දිනකින් මාගේ පරිනිර්වාණය සිදු වන්නේය” යනුවෙන් වදාළහ. එයින් හටගත් අධික සිත් තැවුලෙන් අනුගාමික භික්‍ෂුහු උන්වහන්සේගේ ශ්‍රී පාද ගෞරවයෙන් වන්දනාමාන කළෝය. ඉන්පසු විසාලා මහනුවර චාපාල නම් වූ චෛත්‍යස්ථානයට වැඩම කළ බුදු පියාණෝ ආයු සංස්කාර අතහැර භික්‍ෂුන් වහන්සේට ධර්මය දේශනා කොට අදින් තුන් මසකට පසුව තමන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන බව දන්වා සිටියහ.
විසාලා මහනුවරින් නික්මී භණ්ඩ ග්‍රාම, හස්ති ග්‍රාම, අම්බ ග්‍රාම, ජම්බු ග්‍රාම, භෝග ග්‍රාම නමැති ගම්වලට වැඩම කළ උන්වහන්සේ ග්‍රාමීය ජනයාට ධර්මය දේශනා කරමින් පාවා නමැති නුවරට වැඩම කළහ. පාවා නුවරට වැඩම කළ බුදුන් වහන්සේ සඳහා චුන්ද කර්මාර පුත්‍රයා විසින් පිළිගන්වන ලද දානය වැළැඳීමෙන් පසුව යටපත්ව තිබූ ලෝහිත පක්ඛන්දිඛා රෝගය යළිත් ඉස්මතු විය. සිය පරිනිර්වාණ සමය එළැඹී ඇති බව බුදු ඇසින් දැක ගත් උන්වහන්සේ සිය අනුගාමික භික්‍ෂුන් සමඟ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ට අයත් උපවත්තන සල් උයනට වැඩම කොට අනඳ තෙරුන් ලවා සල් වෘක්‍ෂ දෙකක් මධ්‍යයේ උතුරට හිස දමා ඇඳක් සකස් කර ගත්හ. උතුරු ප්‍රදේශයට හිස පිහිටන සේ සිංහ සෙය්‍යාවෙන් ඇඳෙහි සැතැපුණු උන්වහන්සේ යළි නොනැඟිටීමටද අදිටන් කර ගත්හ.
දහස් සංඛ්‍යාත සංඝයාද තථාගතයාණන් වහන්සේ සැතැපී වැඩ සිටින ඇඳ වටා රැස් වී ‍ෙදාහොත් මුදුන් තබා වැඩ සිටි අතර දහස් සංඛ්‍යාත දෙවි දේවතාවෝද අවසන් වරට බුදු රදුන් වන්දනාමාන කිරීම සඳහා පැමිණියහ. දිව්‍ය මලින්, දිව්‍ය ගන්ධයෙන් උපවත්තන සල් උයන සුවඳවත් කළ දෙව් බඹුහු බුදුරදුන් වන්දනාමාන කළහ. එදින රාත්‍රියෙහි පූර්ව යාමයේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ මල්ල රජ දරුවන්ට සහ දහස් සංඛ්‍යාත ජනයාට ධර්මය දේශනා කළ අතර මැදියම් රාත්‍රියේ සුභද්‍ර නමැති පරිබ්‍රාජකයා දමනය කොට ඔහු පැවිදි මඟට ඇතුළත් කරගත්හ. අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ ආශීර්වාදයෙන් පැවිදි දිවියට සම්ප්‍රාප්ත වූ අවසන් භික්‍ෂුව වන්නේ සුභද්‍ර භික්‍ෂුවයි. අනතුරුව බුදු හිමියෝ රැස්ව සිටි සංඝයා වෙත හැරී “හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වො වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ” යනුවෙන් දේශනා කළහ. “මහණෙනි, මම දැන් ඔබ සැම අමතමි. සියලු සංස්කාර ධර්මයන් අනියත බැවින් අප්‍රමාදීව කටයුතු කරන්න” යනු එහි සිංහල තේරුමයි. සිය අනුගාමික සංඝයාට අවසන් අවවාදය දුන් උන්වහන්සේ ධ්‍යානයන්ට සමවැදී ඉන් මිදී අලුයම් කාලයේදී අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පරිනිර්වාණයට පත් වූ සේක. එකෙනෙහිම මහා ගිගුරුම් හඬක් නැඟී අකල් වර්ෂාවක් ඇද හැලුණු අතර පොළෝ ගර්භය දෙදරවමින් මහා භූමිකම්පාවක්ද හටගත් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
දහස් සංඛ්‍යාත සංඝයාගේද, දෙව් බඹුන්ගේද, ජනයාගේද, සත්ත්වයන්ගේද සෝ තැවුල් මැද මහා පරිනිර්වාණයට පත් වූ බුදුරදුන් නමින් සොබා දහමද කම්පා විය. පිරිනිවන වූ දින සිට පුරා දින සතක් තථාගත ශ්‍රී දේහය මල්ල රජ දරුවන් විසින් අප්‍රමාණ පූජාවට පත් කරනු ලැබූ අතර සත් වැනි දින බුදුන්ගේ ශ්‍රී දේහය මකුටබන්ධන නමැති චෛත්‍ය පිහිටා ඇති ස්ථානයේ තැන්පත් කෙරිණ.
ආනන්ද හිමියන්ගේ උපදෙස් පරිදි මල්ල රජදරුවන් විසින් තථාගත ශ්‍රී දේහය අලුත් චීවරයකින් වෙළන ලදී. අනතුරුව නැවැතත් චීවරය මතු පිටින් කපු පටලයක් වෙලූහ. නැවැතත් අලුත් චීවරයකින් ශ්‍රී දේහය වෙලූ අතර මේ අයුරින් චීවර පන්සියයක්ද, කපු පටල පන්සියයක්ද බුදු පියාණන්ගේ ශ්‍රී දේහය වටා එතූ අතර අනතුරුව තථාගත ශ්‍රී දේහය රන් දෙණක තැන්පත් කරන ලදී. ශ්‍රී දේහය තැන්පත් කළ රන් දෙණ මතුපිටින් තවත් රන් දෙණක් තැන්පත් කොට නේකවිධ සුවඳ දරවලින් චිතකයක් සාදා රන් දෙණ එම චිතකයේ තැන්පත් කළහ.
දස දහස් පිරිවරින් සමන්විත සංඝයා වහන්සේද, දෙවි දේවතාවන්ද, ජනයාද බලා සිටියදී මල්ල රජ දරුවෝ සිවු දෙනෙක් ස්නානය කොට පිරිසුදු වී සුදු වස්ත්‍ර හැඳ චිතකය දැල්වීමට උත්සාහ කළහ. එහෙත් කෙතෙක් වෙහෙසුණද තථාගත ශ්‍රී දේහයට ගිනි නොඇවිළිණි. ඉන් පසු මල්ල රජදරුවෝ අට දෙනෙක් ස්නානය කොට පිරිසුදු වී සුදුවතින් සැරසී ශ්‍රී දේහයට ගිනි ඇවිළීමට උත්සාහ ගත්හ. එහෙත් කිසිදු පලක් නොවූ අතර චිතකය නොදැල්විණි. අනතුරුව මල්ල රජදරුවන් දහසය දෙනකු, තිස් දෙදෙනකු ආදී වශයෙන් චිතකය දැල්වීමට උත්සාහ කළද චිතකය නොදැල්විණි. මෙයින් අතිශය විස්මයට පත් වූ මල්ල රජදරුවෝ දිවැස්බලයෙන් පිරිපුන් භික්‍ෂුන් වහන්සේ අතර අගතැන්පත් අනුරුද්ධ මහතෙරුන්ගෙන් මේ පිළිබඳ විමසූහ.
“ස්වාමීනී, චිතකය නොඇවිළීමට හේතුව කුමක්ද?”
“රජදරුවනි, එයට හේතුවක් පවතී. දෙවියන්ගේ කැමැත්ත ඔය නොවේ.” අනුරුද්ධ මහ තෙරහු පැවැසූහ.
“දෙවියන්ගේ කැමැත්ත කිමෙක්ද ස්වාමීනි?” මල්ල රජදරුවන් උන්වහන්සේගෙන් විචාළහ.
“රජ දරුවනි, කාශ්‍යප මහ රහතන් වහන්සේ පාවා නුවර සිට පන්සියයක් භික්‍ෂුන්ද සමඟ තථාගතයන් වහන්සේගේ සිරිපා වන්දනා කිරීම සඳහා කුසිනාරා නුවර බලා වැඩම කරමින් සිටිති. උන්වහන්සේ වැඩම වූ පසු තථාගත ශ්‍රී දේහය දැල්වේවා යනු දෙවියන්ගේ ප්‍රාර්ථනයයි.” උන්වහන්සේ පැවැසූහ.
එය එසේම වේවා යනුවෙන් පවසා නිහඬ වූ මල්ල රජදරුවන් කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන භික්‍ෂුන් පන්සිය නම වැඩම කරන තුරු බලා සිටියහ. පන්සියයක් භික්‍ෂුන් පිරිවරා භාග්‍යවතුන් වහන්සේගේ චිතකය පිහිටි තැනට වැඩමවූ කාශ්‍යප මහ රහතන් වහන්සේ මහා පාංශුකූල චීවරය ඒකාංශ කොට පොරවා ‍ෙදාහොත් මුදුන් තබා බුදු රදුන්ගේ ශ්‍රී දේහය වන්දනා කළහ. තථාගත ශ්‍රී දේහය ඇති දෙණ වටා තෙවරක් වැඩම කළ උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ හිස හා පත්ල දිවැසින් දැක මෙනෙහි කොට සිරිපා පිහිටි පස වැඳ වැටී අභිඤ්ඤා පාදක චතුර්ථ ධ්‍යානයට සම වැදුණහ. ධ්‍යානයෙන් මිදී උන්වහන්සේ “මාගේ ශාස්තෘෘන් වහන්සේගේ උතුම් සිරිපා යුවළ තථාගත ශ්‍රී දේහය ඔතා ඇති කපු පුළුන් පටල පන්සියයද, චීවර පන්සියයද, රන් දෙණද, සුවඳ දර සෑයද දෙබා කරමින් මාගේ හිස මත්තෙහි පිහිටන සේක්වා!” යනුවෙන් ප්‍රාර්ථනා කළහ.
එකෙනෙහිම තථාගතයාණන් වහන්සේගේ ශ්‍රී දේහය ඔතා තිබූ කපු පුළුන් පටල පන්සියයද, චීවර පන්සියයද, රන් දෙණද, සඳුන් දර සෑයද දෙබෑ කරමින් උන්වහන්සේගේ සිරිපා කමල කාශ්‍යප මහරහතන් වහන්සේගේ හිස මත්තෙහි නළලත මත පිහිටවුණු සේක. කාශ්‍යප මහ රහතන් වහන්සේ තථාගත ශ්‍රී පාද යුගල දෝතින් ගෙන සිය නළල මස්තකයෙහි රුවා ‍ෙදාහොත් මුදුන් තබා වන්දනාමාන කළ අතර රැස්ව සිටි දහසක් දෙව් බඹුහු, මිනිස්සු විමතියෙන් සාදුකාර දීමට පටන් ගත්තෝය. කාශ්‍යප හිමි සමඟ වැඩම කළ පන්සියයක් සංඝයා වහන්සේද බුදු සිරිපා වන්දනා කිරීමෙන් පසු කිසිවකුගේත් මැදිහත්වීමකින් තොරව බුදු සිරුර රන් දෙණ තුළ තැන්පත් විය. කපු පුළුන් පටල හා චීවර යථා පරිදි එතී ගිය අතර දෙබෑ වූ සඳුන් දර සෑයද යථා පරිදි පිහිටුවිණි. එකල්හිම කිසිවකුගේත් බලපෑමකින් තොරව සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ චිතකයට ඉබේ ගිනි ඇවිළිණි. දහස් සංඛ්‍යාත පිරිවර අතර සාදුකාරය මැද බුදු රදුන්ගේ චිතකය දැවිනි.
උන්වහන්සේ පිරිනිවන්පෑමට පෙර එක් අධිෂ්ඨානයක් සිදු කළහ. එනම් ලොව පහළ වූ බුදුවරුන් අතර අවම ආයුෂ ප්‍රමාණයක් වැළඳූ බුදුන් වන්නේ ගෞතම බුදුන්වහන්සේ බැවින් මතු පහළ වන සත්ත්වයන්ට උන්වහන්සේ දැක බලා ගැනීමට නොහැකි වන බැවින් උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී දේහය දැවී ලලාට ධාතුව, අකු ධාතු දෙනම, සතර දළදා සහ අස්ථි ධාතු නොදැවී මතු පහළ වන සත්ත්වයන්ට වන්දනාමාන කිරීමට පවත්වා යන අධිෂ්ඨානයයි. උන්වහන්සේගේ අදිටන අනුව ශ්‍රී දේහයේ සිවිය, සම්, මස්, නහර යන සියල්ලම දැවී අළු හෝ දැලි පමණටවත් නොමැතිව විනාශ වී ගියහ. තථාගත ශ්‍රී දේහය ඔතන ලද පන්සියයක් චීවර අතරෙන් පළමුව ඔතන ලද චීවරය හා අවසන ඔතන ලද චීවරය පමණක් ඉතිරි වී අනෙක් චීවර සියල්ලම හා කපු පුළුන් පටල සියල්ලද දැවී ගොස් තිබිණි. රත්රන් දෙණද නොදැවුණු අතර උන්වහන්සේගේ පෙර කී ධාතුන් වහන්සේ නොදැවුණු චීවරයේ කොටස් වශයෙන් දෙණ තුළ ඉතිරි වූහ.
ධාතුන් වහන්සේ ඉතිරි වන පමණට තථාගත ශ්‍රී දේහය දැල්වෙද්දී ගුවනින් ජල දහරාවක් පතිත වී චිතකය නිවා දැමිණි. එකෙනෙහිම චිතකයට සිවුදෙසින් පිහිටි සල් වෘක්‍ෂයන්හි අතු මතින්ද දිය දහරා පැමිණ චිතකය නිවාලීමට සහාය දැක්වූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
ඉන් අනතුරුව මල්ල රජදරුවෝ සියලු සුවඳ රැගත් සුවඳ කුඩු දැමූ දිය පැන් දහරක් චිතකයට දමා ධාතු සහිත රන් දෙණ මනාව සරසන ලද හස්ති රාජයකුගේ පිට මත තබා විශාල පෙරහරකින් ඇතුළු නුවරට වැඩම කළහ. අලංකාරවත්ව සරසන ලද රන් මණ්ඩපයක රන් දෙණ තැන්පත් කරමින් පුරා සතියක් ඉමහත් පුද පූජා කරමින් බුදු හිමිගේ ධාතුන් වහන්සේ වන්දනාමාන කළහ.
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අදිටනින් ඉතිරි වූ උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ එවක පටන් බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ අතර බුදුන් නොදුටු බොදුනුවන් හටද එතුළින් ජීවමාන බුදුරදුන් දැක බලා ගැනීමට අවස්ථාව සැලැසී තිබේ.
Image may contain: text
යමෙක් පැහැදුනු සිතින් බුදුන් දහම් සඟුන් සරණ කොට පිහිට කොට වාසය කරයි නම් ඒ අය අපායට නො යන බව මෙසේ දක්වා ඇත.
”යේ කේචි බුද්ධං සරණං ගතාසේ න තේ ගමිස්සන්ති අපායං පහාය මානුසං දේහං දේවකායං පරිපුරෙස්සන්ති”
මෙයින් දක්වා තිබෙන්නේ බුදුන් සරණ යන අය අපායට නො යන බව ය. ඒ වගේ ම තමයි ධර්මය ද සංඝයා ද යමෙක් පිහිට කොට සරණ කොට වාසය කරයි නම් ඒ අයද සුගති පරායනය වේ. එසේ ම එක තිරිසන් සතෙකුට දානයක් දෙන ලද්දේ නම් ආත්ම සියයක් ආයුෂ, වර්ණ, සැප, බල, ප‍්‍රඥාවන් ගෙන දේ. එසේම මසුන් මරණ අනුන්ට පීඩාකර ජීවත් වන දුස්සීල පුහුදුන් පුද්ගලයෙකුට දානයක් දෙන ලද්දේ නම් ආත්ම භාව දාහක් ආයුෂ, වර්ණ, සැප, බල, ප‍්‍රඥාවන්් ගෙන දේ. එසේම ඇති අගුණ වහන ස්වභාව නැති, නැති ගුණ පෙන්වන ස්වභාව නැති, අනුන් නො පෙළා දැහැමෙන් සෙමෙන් කෘෂි වෙළඳ ආදී කර්මාන්ත වල යෙදී ජීවත් වන පුුහුදුන් සිල්වතෙකුට දුන් දානයේ විපාක ආත්ම භාව ලක්ෂයක් ආයු, වර්ණ, සැප, බල, ප‍්‍රඥාවන් ගෙන දේ. තව ද කර්ම ඵල විශ්වාස කරන කර්ම වාදී, කිරිය වාදී කාමයන් කෙරෙහි වීතරාගී සිත් ඇති ලෞකික පඤ්ච අභිඤ්ඤාවන් ඇති බාහිර තාපසයෙකුට දෙන දානයේ විපාක ආත්ම භාව කෝටි ලක්ෂයක් ආයුෂ, වර්ණ, සැප, බල, ප‍්‍රඥාවන් දෙන්නා හ.
තිසරණ ගත උපාසක කෙනෙකුට දෙන දානයේ විපාක මෙපමණය කියා කිව නො හැකි ය. අසංඛෙය්‍ය අප්පමෙය්‍ය වශයෙන් මජක්‍ධිම නිකා අටුවාවේ දක්වා ඇත. එයට වඩා පංච සීලයෙහි පිහිටියෙකුට දෙන දාන මහත් ඵලවේ. ඊටත් වඩා දස සීලයක පිහිටියෙකුට දෙන දාන මහත් ඵල වේ. ඊටත් වඩා වත්ත සම්පන්න භික්ෂුවකට දෙන දානය මහත් ඵලය. එයටද වඩා අරඹන ලද විදර්ශනා ඇති භික්ෂුවකට දෙන ලද දානය මහත් ඵල වේ. සෝවාන් උතුමෙකුට දෙන දානයට ද වඩා අරඹන ලද විදර්ශනා ඇති උතුමෙකුට දෙන දානය මහත් ඵල වන බව දක්ඛිණාවිභඕග අටුවාවේ දක්වා ඇත.
තව ද වේලාම සුත‍්‍රයට අනුව සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක සකෘදාගාමි කෙනෙකුට ද සකෘදාගාමි සියදෙනෙකුට දෙන දානයට වඩා එක් අනාගාමී උතුමෙකුට දෙන දානය ද අනාගාමී උතුමන් සියදෙනෙකුට දෙන දානයට වඩා එක් රහතන් වහන්සේ නමකට දෙන දානය ද රහතන් වහන්සේලා සියක් නමකට දෙන දානයට වඩා එක් පසේබුදු කෙනෙකුට දෙන දානයේ විපාක සතසහස්ස ගුණයෙන් වැඩි වන්නා හ. ඒ වාගේ ම පසේබුදුන් සියයකට දෙන දානයට වඩා එක් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට දෙන දානය මහත් ඵල මහානිසංස වේ. එයටත් වඩා බුද්ධ ප‍්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දානය මහත් ඵල මහානිසංස වන්නා හ. එයට ද වඩා සතර දිගින් වඩිනා මහා සංඝයා උදෙසා විහාරයක් කරවන්නේ නම් එය මහත්ඵල මහානිසංස වන්නා හ. එයටද වඩා යමෙක් ප‍්‍රසන්න සිතින් බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත‍්‍රය සරණ යා නම් මහත්ඵල වේ.
එයටද වඩා යමෙක් පැහැදුනු සිතින් තිසරණ සහිත පන්සිල් සමාදන් වන්නේ නම් මහත්ඵල මහානිසංස වන්නා හ. එයටද වඩා යමෙක් සුවඳක් ආඝ‍්‍රාණය කරන තරම් සුළු කාලයක් නමුදු මෙත් සිත පතුරවන්නේ නම් එය මහත්ඵල මහානිසංස වන බව දත යුතු ය. මෙයට ද වඩා අසුරු ක්‍ෂණයක් තරම් කාලයක් නමුදු අනිත්‍ය සංඥාව වඩයි නම් මහත් ඵල මහානිසංස වන බව වේලාම සුත‍්‍රයේ දක්වා ඇත. Image may contain: 3 people

තිදොර සංවරයෙන් සසරේ සැනසුම ලද ඛුජ්ජුත්තරාව

තිදොර සංවරයෙන් සසරේ සැනසුම ලද ඛුජ්ජුත්තරාව
දොළොස් වසරක් තිස්සේ දුර්භික්ෂය පවතිනවා යැයි කීවද “ සංධාන “ ගෘහපතියා, සිය නිවසේ පසේ බුදුවරුන් දහස් නමකට දුන් දන් වැට නතර නොකර එළෙසම පවත්වාගෙන ගියේය. බරණැස් නුවර ඇති වු මහා දුර්භික්‍ෂ දොළොස් වසරක් පුරා පවතින බවත් එම කාලයට සෑහෙන තරම් ආහාර පාන නොමැති අය වෙනත් නගරයකට යා යුතු බවටත් බරණැස් රජු විසින් අණබෙර පතුරුවා හැරියද “ සංධාන “ ගෘහපතියා සහ පිිරිවර ජනයාට දොළොස් වසරකට සෑහෙන තරම් භාවබෝග සම්පත් තිබූ නිසා නගරය හැර දමා නොයන්නට තීරණය කළ අතරම දිනපතා පසේ බුදුවරුන් දහස් නමකට නොවරදවාම දන් දුන්නේය.
මෙසේ දානය සඳහා ගෘහපති නිවසට වැඩි පසේ බුදුවරුන් අතර එක් රෝගී පසේ බුදුවරයෙක්ද වූහ. දිනක් උන් වහන්සේ දානය සඳහා නොවැඩි සේක. දන් පිළිගන්වන අතරේ සංධාන ගෘහපතියාගේ දියණිය ඒ බව දුටුවාය. “ පියාණනි.. අද දානය සඳහා එක් පසේ බුදුවරයෙක් වැඩම කර නැත. “
“ ඒ කවර පසේ බුදුවරයාණන් වහන්සේද ? දියණිය ..” “ පියාණෙනි ! පිට කුදු ගසාගෙන මේ අයුරින් ගමන් කරන පසේ බුදුරදුන් දානයට පැමිණ නැත...යි කියමිනක් ගෘහපති දියණිය හාස්‍යය පහළ වන අයුරින් එකී රෝගී පසේ බුදුවරයාණන් වහන්සේගේ ගමන් විලාශය රඟ දක්වමින් රැස්ව හුන් පිරිසට පෙන්වූවාය. එම සිද්ධිය එතැනින් අවසන් විය. පසේ බුදුවරයාණන් සරදමට ලක් කළද, ගෘහපති දියණිය ඉතා ශ්‍රද්ධාවෙන් එදින දන් වැටෙහි කටයුතු කළාය. එදා දානයට වැඩම කළ පසේ බුදුවරුන් අතර වාත රෝගයකින් පෙළෙන පසේ බුදුවරයෙක්ද සිටි සේක. උන් වහන්සේ දන් වළඳන පාත්‍රය අතින් ගත් විට වාත රෝගය හේතුවෙන් අත වෙවුලන නිසා පාත්‍රයද සැලී දානය බිමටද වැටේ. එනිසාම දන් වැළදීම උන් වහන්සේට අසීරු බව දුටු ගෘහපති දියණිය, උන් වහන්සේ ඉදිරිපිට පැදුරක් එළා පාත්‍රය එහි තබා වළදන ලෙස උන් වහන්සේට කියා සිටියාය. ඉන් පසු උන් වහන්සේ අපහසුවකින් තොරව දන් වළඳන බව දුටු ඇයගේ සිතෙහි දැඩි සතුටක් ඇති වූවාය. ඒ සතුටු සිතින්ම පසේ බුදුවරයාණන් නැමදූ ඇය මෙසේ ප්‍රාර්ථනා කළාය.
“ මවිසින් කරන ලද මේ කුසල කර්මයේ මහිමයෙන් මා දැන උගන්නා සෑම දෙයම අමතක නොවී මගේ මතකයේ රැඳේවා උතුම් ස්මරණ ශක්තිය මට ලැබේවා..”
මේ ප්‍රාර්ථනයෙන් පසු බොහෝ කලක් නොයෙක් භවයන්හි උපත ලබා සසර මඟගෙවූ ඒ සංධාන ගෘහපති දියණිය , අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමයෙහි “ භද්‍රාවතී නුවර “ භද්‍රවතී සිටු නිවසේ දාසියක කුසින් මෙලොව එළිය දුටුවාය. නමුත් පෙර කරන ලද කර්ම විපාක නිරන්තරයෙන්ම පසු පස හඹා එන්නේ පෙර බවයකදී . සංධානක ගෘහපතියාගේ දියණියකව සිටි සමයේ , රෝගී පසේ බුදුවරයාණන්ගේ ශරීරයේ හැඩය කුදු යැයි හාස්‍යයට ලක් කිරීමේ හේතුවෙන් ඇය උපතින්ම කුදු බවට පත් වූයේ .. එනිසාම ඛුජ්ජුත්තරා නමින් හැඳින්වූවාය. “ භද්‍රාවතී “ සිටු නිවසේ ඛුජ්ජුත්තරා වැඩෙන අතරේ භද්‍රවතී නගරයෙහි අභිවාතක නම් රෝගය බෝ විය. මේ රෝගයෙන් බේරෙන්නට මැදුරේ බිත්ති සිදුරු කර පැන යන භද්‍රාවති සිටුතුමාත්, දේවියත්, “ සාමාවතී” නම් දියණියත් නුවරින් පැන යන්නේ ඔවුන්ගේ යහළු “ ඝෝෂක” නම් සිටුවරයා සොයා යන්නට තීරණය කළෝය. නමුත් මහත් වෙහෙසට පත් සිටුවරයා හා දේවිය කුසගින්න අධික හෙයින් පමණයට වැඩි ආහාර ගැනීමෙන් මිය ගියේය. පසුව අසරණව සිටි සාමාවතී ඝෝෂක සිටුවරයා විසින් හඳුනාගෙන දු තනතුරෙහි තබා ඇති දැඩි කළේය. වැඩිවියට පත් සාමාවතී දිනක් උදේන රජු විසින් දකිනු ලැබ, ඔහුගේ අග මෙහෙසිය බවට පත් කර ගන්නා ලදින් කුඩා කල සිට සිටු ගෙදර සිටි ඛුජ්ජුත්තරා ද සාමාවතී බිසව සමගින්ම උදේන රජ මාලිගයට පැමිණ සාමාවතීගේ හිතවත්ම උපස්ථායිකාව බවට පත් වූවා.
එතැන් සිට සාමාවතී බිසවට අවශ්‍ය මල් මිලදී ගැනීමට “ සුමන “ නම් මාලාකරු ළඟට දිනපතා යන්නේ ඛුජ්ජුත්තරාය. දිනක් මෙසේ මල් ගෙන යාමට පැමිණි ඛුජ්ජුත්තරාට මල් නොලැබුණි. එදා සුමන මල්කරුගේ ගෙදර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා දානයකි. එනිසා මල් නොවිකුණන බවත් දානය අවසානයේ මල් ඉතිරි වී ඇත්නම් ඒවා රැගෙන යා හැකි බවත් මල්කරු පැවසීය. කෙසේ හෝ මල් ටිකක් රැගෙන යන්නට සිතූ ඇය දානය අවසන් වන තුරු රැඳී සිටින්නට තීරණය කළාය. මහා කරුණා නිධාන වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සුමන මල් කරුගේ නිවසට වැඩම කොට දන් වළඳා අනුමෙවෙනී බණ වදාරන්නේ අසා සංධාන ගෘහපතියාගේ දියණියකව සිටි සමයේ පසේ බුදුවරයාණන් හට දන් වැළඳීමට උදව් කොට කරන ලද ප්‍රාර්ථනාව නිසා ලද ස්මෘති ඤාණයෙන් යුත් ඛුජ්ජුත්තරා , බුදු හිමි දෙසූ සියලු ධර්මයන් මතක යේ රඳවාගෙන අවබෝධ කොට ගත්තී .සෝවාන් ඵලයට පැමිණියාය. දිනපතා මල් ගෙන යාම සඳහා සාමාවතී බිසව ඇයට අට මස්සක මුදල් දුන්නද ඉන් සතර මස්සක මල් ගෙන ඉතිරි මුදල් සඟවා තබා ගන්නට වෙනදා ඇය පුරුදුව සිටියාය. එහෙත් උතුම් වූ සෝවාන් පලයෙහි පිහිටි බැවින් එදින වංචාවකින් තොරව සියලුම මුදලින් මල් ගෙන ගියාය. එදින මල් වැඩිවෙන්නට හේතුව විමසූ සාමාවතී බිසවට ඛුජ්ජුත්තරාවන් විසින් සියලු පුවත් කියන ලදින් බුදු බණ අසන්නට ඇයටද දැඩි ආශාවක් උපන්නාය. ඇය ඛුජ්ජුත්තරාව නහවා, අලුත් වස්ත්‍ර අන්දවා, ධර්මාසනයක හිඳුවා ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය අපටත් කියා දෙන්නැයි කීවාය.
කරන ලද කුසල කර්මයේ මහිමයෙන් උතුම් වූ ස්මරණ ශක්තිය ඇති ඛුජ්ජුත්තරාවෝද බුදුන් වහන්සේගෙන් උගත් ඒ ධර්මය මිහිරි ලෙස ප්‍රකාශ කළෙන් සාමාවතී ඇතුළු පන්සියයක් කාන්තාවෝ සෝවාන් පලයට පත් වූවාය. ඉන් පසු ඛුජ්ජුත්තරා මෙහෙකාරකමෙන් මුදවා මව් තනතුරෙහිලා සැළකීමට සාමාවතී බිසව කටයුතු කළාය.
මේ අතර උදේන රජුගේ අනෙක් ප්‍රධාන බිසවක වු මාගන්දියා නම් බිසව සාමාවතිය කෙරේ ඊර්ෂ්‍යාවෙන් පසු වුවාය. මාගන්දියා බුදුන් වහන්සේ කෙරෙහි ක්‍රෝධයෙන් පසු වූයෙන් , බුදුන් සරණ ගිය සාමාවතිය කෙරෙහි මහත් වූ වෛර සිතකින් පසු වූවාය. කෙසේ හෝ සාමාවතිය මැරවීමට කිහිපවරක්ම උත්සාහ කළද සාමාවතිය ගේ මෛත්‍රී සිතෙහි බල මහිමයෙන් ඒවා අසාර්ථක වූ අතර , එහෙත් අවසානයේ සිය සුළු පියාගේ මාර්ගයෙන් සාමාවතී බිසවගේ මාලිගයට ගිනි තැබීමට මාගන්දියට හැකි විය. ඒ ගින්නෙන් සාමාවතී බිසව සහ පන්සියයක් කාන්තාවෝ දැවී අළු බවට පත් වුවද කෙසේ හෝ දිවි ගලවා ගැනීමට ඛුජ්ජුත්තරා සමත් වූවාය. ඇය එසේ ගින්නෙන් දිවි බේරා ගත්තේ පෙර කරන ලද කුසල කර්මයක විපාක ලෙසිණැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මෙසේය.
එක් අබුද්ධෝත්පාද කාලයක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රජ කරන සමයෙකි. දිනක් රජු තම බිසෝවරුන්ද සමඟ උයන්කෙළි සඳහා උයනට පැමිණියහ. ඒ අතරේ එක් පසේ බුදුවරයෙන් එම උයනට වැඩ එහි තිබූ පිදුරු කුටියක නවාතැන් ගෙන සිටි සේක. උයන් කෙළියේ යෙදුණු බිසෝවරු පොකුණෙන් දිය නෑමෙන් පසු දැඩි සීතලයෙන් පෙළෙන්නට වූවාය. රජුගේ අග මෙහෙසිය සිය දාසියකට මෙසේ කීවාය.
“මේ සීතල ඉසිලිය නොහැකියි .. අර පිදුරු කුටියට ගිනි තබාපන් . එවිට උණුසුම ලැබේවි. “
ගිනි අවුලන්නට ගිය දාසිය එහි වැඩ සිටි පසේ බුදුන් වහන්සේ දැක, ආපසු විත් එහි හාමුදුරුනමක් වැඩ සිටින බවත් ඒ නිසා ගිනි තැබිය නොහැකි බවත් කීවාය..
“ කවුරු වුණත් ඔහෙ හිටපුදෙන් .. නුඹ ගොස් ගිනි තබාපන් .”
බිසව යළිත් අණ කළ නමුත්, දාසිය ගිනි තැබීමට අකමැති වූයෙන් බිසවම ඊට ගිනි තැබුවාය. කුටිය ගිනිගන්නවා දුටු පසේ බුදුන් වහන්සේ සෘධියෙන් පිටතට පැමිණ පෙළ හර පෑවාය. තමන් ගිනි තැබුවේ පසේ බුදු කෙනෙකුන් වැඩ සිටි කුටියට බව දැනගත් බිසව සහ පිරිස සමාව ගත්තද කුටියට ගිනි තැබීමේ අකුසල කර්මය එළෙසම පැවතිණි. ඉන් බොහෝ කලකට පසු සසර මඟ ගෙවා උදේන රජුගේ අග මෙහෙසිය වී, ගින්නට හසු වි මිය ගිය සාමාවතියව උපන්නේ පසේ බුදුන් වැඩ සිටි කුටියට ගිනි තැබූ බිසවය. රජ බිසවගේ අණින්වත් කුටියට ගිනි තැබීමට අකමැති වූ කුසලයෙන් ඛුජ්ජුත්තරාව උපන් මේ භවයේදී ගින්නෙන් බේරී පලා යාමට දාසියට හැකිවිණි. එසේ පෙර කරන ලද යහපත් හා අයහපත් කර්මයන්හි විපාක විඳිමින් සසර මඟ ගෙවු ඛුජ්ජුත්තරාවෝ ගෞතම සම්බුදුරජාණන් අබියස සැදැහැවත් උපාසිකාවක් බවට පත් වී බහුශ්‍රැත උපාසිකාවන් අතර අග්‍රස්ථානය ලද්දීය. බහුශ්‍රැත උපාසිකාවන් අතර අග්‍රස්ථානය ලබන්නට තරම් පින් කළ ඛුජ්ජුත්තරුා දාසියකව උපදින්නට හේතු කවරේදැයි දම් සභා මණ්ඩපය ට රැස් වූ භික්‍ෂූන් වහන්සේලා අතර කුකුසක් ඇති වූහ. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
“ මහණෙනි! මේ ඛුජ්ජුත්තරාවෝ සසර ගමනේ එක් ආත්ම භාවයක, ධනයෙන්, බලයෙන්, රූපයෙන්, උසස්ව උපන්නේ ඓශ්චර්යයෙන් මත්ව තමන් අබියසට එන සියලු දෙනාට දාස වාදයෙන් අමතන්නට පුරුදුව සිටියාය. ඒ අකුසලයෙන් ඇය මෙසේ දාසියකව උපත ලද්දීය. එසේ හෙයින් සිත, කය, වචනය හික්මවා කටයුතු කිරීමෙන් සසර ගමනේ සැනසුම් ලද හැකි වේ යැයි වදාරා ගෞතම බුදු සසුනේ බහුශ්‍රැත උපාසිකාවන් අතර අග්‍රස්ථානයට පත් ඛුජ්ජුත්තරාවන් පිළිබඳ ගෙනහර පා කතා පුවත අවසන් කළ සේක. Image may contain: 1 person, smiling, text

බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ..

බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ..
දශබලධාරී බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම 12ක් මෙලොවදී විපාක දුන් බව දිනක් හිමාලයේ අනෝතත්ත විල අසලදී 500ක් භික්ෂූන් හමුවේ වදාළ සේක. පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව ඒ මෙසේ ය:
01. සුන්දරී පරිබ්‍රාජිකාවගේ විහාර ස්ථානයට එන-යන ගමන හේතුවෙන් විශාල අපවාදයක් නැගීම. ඊට හේතුව පෙර මුනලීධූර්තක ව සිටියදී සරභු නම් පසේ බුදුරදුන්ට කළ දෝෂාරෝපණය බව දත යුතු ය.
02. පෙර ලොව පහළ වූ සබ්බාභිභූ නම් බුදුරජුන්ගේ නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට කාමභෝගියා කියලා දොස් නඟන්නට යෙදීම. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් විය. මේ සාරාසංඛය්‍ය කල්ප ලක්‍ෂයකටත් පෙර කරන ලද කර්මය බුදුබව ලබාද බඩදරු අම්මාගේ වෙස්ගත් චිංචිමාණවිකාව හේතුවෙන් පහත් වූ අපවාදයකට ලක් විය.
03. පසු කාලයකදී සුන්දරී පරිබ්‍රාජිකාව මරා මල් අසුන ළඟ වළලා බුදු රජුන් ඇය දූෂණය කොට මරා සඟවන ලද්දේ ය යි මහත් දෝෂාරෝපණයක් දින 07ක් තුළ පැවතිණි. දින 07කින් පසු සත්‍ය එළි විය. කෙසේ නමුත් මේ නින්දාවට හේතුව පෙර භීම නම් ඍෂීන් වහන්සේට බැණවැදීම බව දත යුතු.
04. මහ බෝසතාණන් වහන්සේ පෙර වස්තු ලෝභය නිසා තම සොහොයුරා කන්දකින් පහළට තල්ලු කර ගලක් ද පෙරළා මරාදැමුවේ ය. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් වී බුදු වූ ජීවිතයේ ද දෙව්දත් තෙර ගල් පෙරළූ බව දත යුතු.
05. බෝසතුන් දිනක් කුඩා ළමයකු ව සිටියදී පසේබුදු කෙනකු දැක ගලකින් ගැසුවේ ය. ඒ කර්මය හේතුවෙන් මේ ජීවිතයේ තම ජීවිතය නැති කිරීමට දෙව්දතුන් දුනුවායන් යෙදවූ බව දත යුතු.
06. පෙර බෝසතුන් ඇත්ගොව්වකු වී සිටියදී පසේබුදු කෙනකු වඩිනා බව දැක දූෂිත සිතින් මැරීම සඳහා ඇතා මෙහෙයෙව්වේ ය. උන් වහන්සේ ඍද්ධියෙන් වැඩි නමුදු පහත් සිතින් කළ කර්මය නිසා මේ ජීවිතයේතමන් වහන්සේ මැරීම පිණිස මත් වූ නාලාගිරි ඇතු ඉදිරියට ආ බව වදාළහ.
07. දෙව්දත් තෙරුන් තථාගතයන් වහන්සේ කෙරෙහි ගැටුණු සිතින් ගිජුකුළු පව්වේදී මහ ගලක් සක්මන් කරන බුදු හිමිගේ හිසට පෙරළුවේ ය. පෙර පිරූ පාරමී බලයෙන් මහගලක් ඉබේ ම මතු වී ඒ ගල වැටෙන්නට නොදී රඳවාගත් නමුදු ගල්පතුරක් ගැලවී විත් ශ්‍රී පතුලේ ගැටී මාපටඇඟිල්ල තැළී ලේ කැටිගැසිණි. ජීවකතුමා ශ්‍රී පතුල පලා ලේ අස් කළේ ය. මෙසේ ශ්‍රී පතුල පළන ලද්දේ පෙර පෘථිවීශ්වර රජ ව සිටියදී මිනිසකු මරවන ලද පවින් බව දත යුතු.
08. තථාගතයන් වහන්සේගේ හොඳ නොවන හිස ආබාධයට හේතුව පෙර කෙවුල් පවුලක ඉපදී සිටියදී තම ඥාතීන් බොහෝ මාළුන් ගොඩදා තිබෙනවා දැක සතුටු සිනා පහළ කළ පාපය බව දත යුතු. එදා ඒ මසුන් මැරූ සියලු ඥාතීහු මේ ජීවිතයේ ද ඥාතීන් වී ඉපදුණහ. ඒ සැමට ඒ ප්‍රාණඝාත කර්මය විපාකදීම් ලෙස විඩුඪභ කුමරු අතින් මියයන්නට වුණු බව දක්වා ඇත.
09. තුන් ලෝකය පුරා පැතිරුණ දායක උපස්ථායක ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් ඇති තථාගතයන් වහන්සේට දොළොස්වන වස්කාලයේ එක් බත් ඇටයකුදු නොලැබී ගියේ ය. අශ්වයන්ට දෙන යවහාල් වළඳා ජීවත් වන්න විය. මෙසේ වීමට හේතුව පෙර ඵුස්ස බුදු රජාණන් වහන්සේට “ඔබ වහන්සේ මේ ප්‍රණීත ඇල්හාල් වළඳනවාට වඩා හොඳයි යවහාල් වැළඳුවා නම්” කියා දොස් නැඟූ පාපය බව දත යුතු.
10. සුගතයන් වහන්සේට හොඳ නොවන කොන්දේ ආබාධයක් තිබිණි. ධර්ම දේශනා කරන අවස්ථාවල එය හැදුණු විට සැරියුත් හිමිට දම්දෙසුම පවරා විවේක ගැනීමට වැඩි බව ද සඳහන් වෙයි. මෙයට හේතුව පෙර මල්ලව පොර අල්ලන යෝධයකු ව සිටියදී විරුද්ධවාදී මල්ලව පොරකරුවකුගේ කොන්ද කැඩූ පව බව දත යුතු.
11. බුදුරජුන්ට වැලඳුණ ලෝභිතපක්ඛන්දිකා (ලේ අතීසාර) රෝගයට හේතුව පෙර වෛද්‍යවරයකු ව සිටියදී සිටුවරයකුට බෙහෙත් කළ විට ඔහු නියමිත මුදල නොගෙව් අවස්ථාවේ පසු ව විරේක බෙහෙතක් දී ඔහුට ලේත් සමඟ විරේක වන්නට සැලැස්වීම ය. සිටුවරයා බිය වී නියමිත මුදල් ගෙව් කල නැවත සනීප කළ නමුදු ඒ කර්මය විපාක දුන් බව දත යුතු.
12. මහ බෝසතාණන් වහන්සේට බුදු වීම පිණිස සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වුණේ පෙර ජෝතිපාල මාණවක ව සිටියදී ඝටීකාර බමුණා සමඟ කාශ්‍යප බුදු රජාණන් වහන්සේට දොස් කී පාපය නිසා බව දත යුතු.
සත්පුරුෂ පින්වතුනි! බලන්න මහත් වූ නුවණක් ඇති මහත් වූ බලයක් ඇති මහත් වූ යසසක් ඇති මහත් වූ පිරිවර සම්පත්තියක් ඇති, මහත් වූ ගුණ සම්පත්තියක් ඇති මහත් ඍද්ධි බලයක් ඇති තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම සඳහා එන විපාකවලින් බේරී සිටීමට නොහැකි නම්, එතරම් පාරමී ශක්තියක්, ගුණ ශක්තියක්, නුවණක්, පිරිවරක්, ඍද්ධි බලයක් නැති අප ඔබ වැන්නවුන් කෙසේ නම් ගැලවෙන්න ද? එබැවින් පසුතැවිලි වන්නට සිදු වන දෑ නො කරන්න. කිසි දිනක කා හට වත් දුකක් පීඩාවක්, සිත් තැවුලක් ඇති නො කරන්න. කිසිවකුට හිංසාවක් පීඩාවක් දුකක් දොම්නසක් කරදරයක් විපතක් වෙහෙසක් නො කරන්න.
සත්පුරුෂයනි! ඔබ කිසිවකු නොවෙහෙසෙන, මුළු ලොවක් සනසන දෑතක් ඇත්තකු වන්න. එබඳු ම අහිංසාවාදී දෙපා යුග්මයක් ඇත්තකු වන්න. තම දෙනෙතින් අනුන් නො රවටන්න; අනුන් නො රිදවන්න. මුළු ලොවක් සනසන දෙනෙතක් ඇත්තකු වන්න. ඔබ දෙසවන නොමඟට නො යොදන්න; සුමඟට යොදවන්න. කය සංවර කරගන්න. නිතර ම ඔබ කථා කරන වචන නිවැරැදි දැ යි සිතන්න. අනුන් රිදවා දුක් දී තමාට කිසිදු සැපයක් ලැබිය නොහැකි බව සිතන්න. යහපත් වූ සැම සිත් නිවන සනසන වචන ම කථා කරන්න. ඔය සිත නොමඟට නො යොදන්න; සුමඟට යොදන්න. දාන්ත වූ ශාන්ත වූ සංවර වූ සංසිඳුණා වූ සුවපත් වූ මනසක් ඇත්තකු වන්න. කිසිදු කිසිදින පහත් සිතිවිලි නො සිතන්න.සත්පුරුෂයනි! ඔබ ගස් අතර හඳුන් ගසක් වගේ, ඇතුන් අතර ගජමුතු තිබෙන ඇතකු වගේ, මුවන් අතර කස්තුරි තියෙන මුවකු වගේ, පාෂාණ අතර බැබළෙන මැණිකක් වගේ ගුණයෙන් නුවණින් යුත්, අනුන්ට දුක් නොදෙන, සාධු ජනයාගේ ආදර ගෞරවයට ලක් වූ, මානව හිතවාදී, දයානුකම්පිත මිනිසකු වන්න අධිෂ්ඨාන කරගන්න.
ඔබ සැමට තෙරුවන් සරණයි !
No automatic alt text available.