අනඳ හිමියන් විමතියට පත්වීම
චුන්ද කර්මාර පුත්‍රයාගේ දානය පිළිබඳ සඳහන් කිරීමෙන් පසුව මහාපරිනිබ්බාන සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ සල් උයනෙහි සල්ගස් දෙකක් අතර සයනයට පෙර බොහෝ තොරතුරු එම සූත්‍රයේ සඳහන් වී ඇත. ඒ තොරතුරු අතර බුදුරජාණන් වහන්සේ සහ ආනන්ද තෙරුන් සමඟ සම්බන්ධ තොරතුරුවලට ප්‍රමුඛස්ථානයක් දී ඇති බව ඉතා පැහැදිලි ය.
ඒ අතරේ තථාගතයන් වහන්සේට කළ හැකි උතුම්ම පූජාව, තථාගතයන් වහන්සේ බැහැ දැකීමට දෙවි දේවතාවන් පැමිණීම ,පහන් සංවේගය දනවන ස්ථාන හතර, ස්ත්‍රීන් සම්බන්ධයෙන් භික්ෂූන් පිළිපැදිය යුතු ආකාරයද තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය සම්බන්ධයෙන් පිළිපැදිය යුතු ආකාරය, ස්තූපවලින් පිදුම් ලැබීමට සුදුස්සෝ, ආනන්ද හාමුදුරුවන් අස්වසාලීම, ආනන්ද හිමියන්ගේ ගුණ තථාගතයන් වහන්සේ පැහැදිලි කිරීම, කුසිනාරාවේ යටගිය අසිරිය ආදී බොහෝ කරුණු තිබේ.
එම නිසා මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වන අන්දමට, ඒ පිළිවෙල අනුව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා සුදුසු වන්නේ ය.
තථාගතයන් වහන්සේට කළ හැකි උතුම්ම පූජාව
“ආනන්දය යම් භික්ෂු, භික්ෂුණී, උපාසක ,උපාසිකා කෙනෙක් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදී නිවැරදි පිළිවෙතෙහි යෙදී වසත්නම් ඔහු තථාගතයන් වහන්සේට සත්කාර ගරුකාර බහුමාන පූජා අපචායනය කරති. එබැවින් ආනන්ද මෙහිලා ධර්මානුධර්ම ප්‍රතිපදා වෙහි යෙදෙමු. නිවැරදි පිළිවෙතෙහි යෙදෙමු. කියාම ඔබ සැම හික්මිය යුතු ය.
(දීඝ නිකාය – මහා පරිනිබ්බාන සුත්ත – පි. 218)
ඉක්බිති ආනන්ද හාමුදුරුවන් ඇමතූ බුදුරජාණන් වහන්සේ අපි හිරණ්‍යවතී ගඟෙන් එගොඩ කුසිනාරාවෙහි මල්ලයන්ගේ උපවර්තන සල් උයනට යමු යැයි වදාළ සේක. එහෙමයි හිමියනි, යැයි ආනන්ද හාමුදුරුවෝ පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ විශාල භික්ෂු පිරිවරක් සහිතව හිරණ්‍යවතී ගඟින් එතෙරව කුසිනාරාවේ උපවර්තන සල් උයනට සැපත්ව ආනන්ද හිමියන් අමතා මෙසේ වදාළහ.
“ආනන්දය, මේ යුගල සල් රුක් අතර උතුරට හිසලා ඇඳක් පිළියෙල කරන්න.මට ක්ලාන්ත ගතියයි. මම සැතපෙන්නම්.
“එහෙමයි හිමියනි, යැයි පැවසූ ආනන්ද හිමියෝ එලෙස ඇඳක් පිළියෙළ කළෝය. එසඳ භාග්‍යවතුන් වහන්සේ සතියෙන් හා අවදිබවෙන් යුක්තව එක් පාදයක් අනික් පාදය මත තබා දකුණු ඇලයෙන් සිංහසෙය්‍යාවෙන් සැතපුන සේක.
“ආනන්ද, මේ යුගල සල් රුක් අකලට පිපිණු මලින් මුළුමනින් ම වැසී ගොස් ය. තථාගතයාණන්ට පුජා පිණිස එම මල් තථාගතයන්ගේ සිරුර මත වැටී ඉසිරී පැතිරී යයි. දිව්‍ය මදාරා මල් අහසින් වැටේ. එම මල් තථාගතයාණන්ට පුජා පිණිස උන්වහන්සේ ගේ සිරුරෙහි වැටී ඉතිරී පැතිරී යයි. දිව්‍ය සඳුන් කුඩු අහසින් වැටේ. එම සඳුන් කුඩු උන්වහන්සේට පූජා පිණිස උන්වහන්සේගේ සිරුරෙහි වැටී ඉසිරී පැතිරී යයි. තථාගතයාණන්ට පූජා පිණිස අහස් කුස දිව්‍ය තූර්යභාණ්ඩ වැයේ. සංගීත ගැයේ. එහෙත් මේ කිසිවකින් තථාගතයාණන් සත්කාර කරනු ලැබුණේ ගරුකරනු ලැබුණේ බුහුමන් කරණු ලැබුණේ පූජා කරණු ලැබුණේ නොවන සේක. යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් උපාසිකාවක් හෝ ධර්මානුධර්මයන්හි නියැළී යහමඟට යොමුවී අර්ථධර්මයන් පිළිපදිමින් වෙසෙයි ද, හෙතෙම තථාගතයාණන්ට උතුම්ම පූජාවෙන් සත්කාර කරන්නේ වෙයි. එහෙයින් ආනන්ද, අපි ධර්මානුධර්මයන්හි නියැළී යහමගට යොමුවී වෙසෙන්නමො වෙමුයි ඔබ සැම ශික්ෂණය විය යුතුය.”
(මහා පරිනිර්වාණ සූත්‍රය – පරිවර්තනය සනත් නානායක්කාර පි. 73-(1999) බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය)
මේ අවස්ථාවේ දී එක්තරා සිදුවීමක් පිළිබඳ මහාපරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙයි. තථාගතයන් වහන්සේ බැහැදැකීම සඳහා දේවතාවන්ගේ පැමිණීම සිදුවෙමින් පැවතුණි. උපවාන හිමියෝ දීර්ඝ කාලයක් තිස්සේ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක ව සිටි ළඟින් ම සිටි ඉතා සමීපව හැසුරුණු භික්ෂූන් වහන්සේ නමකි. එසේ වුවද භාග්‍යවතුන් වහන්සේගේ අවසන් මොහොතේ උපවාන හිමියන් අමතා මෙසේ වදාළහ.
“උපවාන භික්ෂුව පසෙකට වෙන්න ඉදිරියෙහි සිටගෙන ඉන්න එපා. යැයි කියා එම භික්ෂුව එතැනින් ඉවත් කළ සේක.”
මේ සිදුවීම දුුටු ආනන්ද හිමියන් භාග්‍යවතුන් වහන්සේ අමතමින් මෙසේ සඳහන් කළ සේක.
“භාග්‍යවතුන් වහන්ස, මේ උපවාන ස්ථවිරයෝ දිගු කලක් ඔබ වහන්සේගේ උපස්ථායකව සිටි ,ළඟින් සිටි සමීපව හැසිරුණු අයෙකි. නමුත් භාග්‍යවතුන් වහන්සේ මේ අවසන් මොහොතෙහි භික්ෂුව පසෙකට වන්න”. ඉදිරියේ සිටගෙන ඉන්න එපා” යැයි කියා එම භික්ෂුව ඉවත් කළ සේක. මෙසේ කිරීමට හේතුව කුමක්ද,හිමියනි කියා ආනන්ද හාමුදුරුවෝ කීහ.
“ආනන්ද දස දහස් ලෝක ධාතුවල දේවතාවෝ තථාගතයාණන් දැකීමට රැස්වී සිටිති. මේ මුළු කුසිනාරාවෙහි ම මල්ලයන්ගේ උපවර්තන සල් උයනෙහිම හාත්පස දොළොස් යොදුනක් දක්වා ම සෑම තැනකම මහේශාක්‍ය දේවතාවන් නොසිටින, කෙස් ගහක් ඇනීමට තරම්වත් තැනක් නැත. මෙසේ රැස්වුණු දේවතාවෝ තථාගතයන් වහන්සේ දැකීමට අපි දුර සිට පැමිණියෙමු.සම්මා සම්බුදු තථාගතයන් වහන්සේලා ලොව උපදින්නේ කලාතුරකිනි. අද රාත්‍රියේ අවසන් යාමයේ තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන්නේ ය. මේ මහා බලවත් භික්ෂුව තථාගතයන් වහන්සේගේ ඉදිරියෙහි සිට ගෙන උන්වහන්සේ වසාගෙන සිටී. මේ අන්තිම මොහොතේ තථාගතයන් වහන්සේ දැක ගැනීමට අපට ලැබෙන්නේ නැතැයි උද්ඝෝෂණය කරති, යැයි භාග්‍යවතුන් වහන්සේ කීහ.
ආනන්ද, පෘථීවිය ගැන සිතන දේවතාවෝ අහසෙහි වෙති. ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පානා සේක. සුගතයාණන් වහන්සේ පිරිනිවන් පානා සේක. ලොවැ ඇස අතුරුදන්වනු ඇතැයි ඔව්හු හිසකෙස් කඩා ඇදගෙන දෑත් උඩ විසි කරමින් හඬා වැළපෙති. ඇද වැටෙති. කැරකෙති. පෙරළෙති. පෘථිවිය ගැන සිතන දේවතාවෝ පෘථීවියෙහිම වෙති. ඔවුහු ද වීතරාගී වූ යම් දේවතාවෝ වෙත්ද ඔව්හු සතිසම්පජානයෙන් යුතුව “සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ”.නිත්‍ය බවක් කොයින් ලැබිය හැකිදැයි කියා ඉවසා සිටිති.
(මහා පරිනිර්වාණ සූත්‍රය පි. 73-74)
පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ